පැරණිම රැකියාව දූෂණයද?

පැරණිම රැකියාව දූෂණයද?

ඇස්. පියසේන (සේනාධීර පියසේන) නම් බහුශ්‍රැත හා පරිණත මාධ්‍ය විශාරදයාණන් සමග ඉතා ළංව ඇසුරු කිරීමට ලැබීම මගේ පරම භාග්‍යයකි. අනූ වියද ඉක්ම මියෙන තෙක්ම පැහැදිලි මතක ශක්තියෙන් යුතුව සිටි ඔහුගේ විවිධ විචිත්‍ර ජීවන අත්දැකීම් උකහා ගැනීමේ දුර්ලභ අවස්ථාව මට හිමි වූ හෙයිනි.පස්වන දශකයේ ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) පළමු නිබන්ධ සම්පාදකවරයා (Script Writer) මෙන්ම කොටස් වශයෙන් ප්‍රචාරය වන පළමු සිංහල ගුවන් විදුලි රහස් පරීක්ෂක නාට්‍ය ( Radio Detective Serial) රචකයා වූයේද ඔහුය. 1956 දේශපාලන පෙරළියෙන් පසු සිංහලෙන් විවාද කිරීමේ විවෘත නිදහස ලද පාර්ලිමේන්තුවේ පළමුවන සිංහල - ඉංග්‍රීසි භාෂා පරිවර්තකයාද ඔහු විය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, සහ බෙංගාලි යන පස් බසෙහිම හසළ ඔහු වූකලී ලංකාව, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන තෙරටෙහිම පුවත්පත, ගුවන්විදුලිය හා රූපවාහිනිය යන තෙවදෑරුම් මාධ්‍ය සමගම වැඩ කිරීමෙන් ලද දශක සතක අත්දැකීම් ඇත්තෙකි. ඔහුගේ ජීවිතයේ සන්ධ්‍යා භාගයේ ලියා පළ කරන ලද ප්‍රශස්ත කෘති කීපයක්ම මා මගේ  'පෙර වදන' ගුවන්විදුලි වැඩසටහනෙන් හඳුන්වා දුන්නේ ඔහු සමග සාරවත් පිළිසඳරක යෙදෙමිනි. ඔහු සතු අනුභූති සම්භාරය මගින් ශ්‍රෝතෘ ජනයාගේ කල්පනාව දල්වා ලීමට එදා මා ලද ඒ අවස්ථාව සිහිපත් කිරීමත් මහත් වූ අස්වැසිල්ලකි. දිගු කලක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ඇස් පියසේන සූරීන් නව වන ජීවන දශකයේ යළි මාතෘ භූමිය වෙත පැමිණ චිර පරිචිත ලේඛන කාර්යයෙහිම නිමග්නව විසීමට  සිතුවේ එහිම තම දේහත්‍යාගය කිරීමේ පරම අභිලාෂයෙනි. ඔහුගේ 'හුදෙකලාවේ ආවර්ජන' නමැති ලිපි සංග්‍රහයෙන් උපුටා FBයේ පළ කරන මේ ලිපිය වනාහි ඔහු විසින් 2013 මැයි මස 10 වන දා 'ලංකාදීප' පුවත්පතේ පළ කරන ලද්දකි. ඇස්. පියසේන සූරීන් එදා එම ප්‍රශස්ත ලිපිය මගින් හෙළි කර ඇත්තේ අද අප මුහුණ පා සිටින නග්න යථාර්ථය නොවේද? මෙරට මෑත සමාජ දේශපාලන ඉතිහාසයේ සැබෑ සුල මුල නොදත් පරපුරකට පියසේන සූරීන්ගේ 'හුදෙකලාවේ ආවර්ජන' කෘතිය ඥාන කෝෂ්ඨාගාරයකි . එහි පිවිසෙන ඔබ එයින් පිට වන්නේ පනස් වසක තරම්

දැනුම් හා අත්දැකුම් සම්භාරයක් උකහා ගත් පැසුණු නිවහල් මනසකිනි.

පැරණිම රැකියාව දූෂණයද?

"පිට පළාත්වල ආරෝග්‍ය ශාලාවල තබා කොළඹ මහාරෝග්‍ය ශාලාවේද බෙහෙත් හිඟය දැන් අන්තිමට බරපතළය. ප්‍රවෘත්ති පත්‍රවල මේ සම්බන්ධයෙන් කොතරම් දේ ,පළ වුවත් ඇමතිවරුන්ට දැන්වුවත් නිලධාරීන්ට කියා සිටියත් ඒ කිසිවක් වැඩක් නැත. ඒවා හරියට බීරි අලින්ට වීණා ගෑම වැනිය. බෙහෙත් වර්ග ආණ්ඩුවේ බෙහෙත් ගබඩාවෙනුත් අනෙක් හැම රජයේ ආයතනයකිනුත් හොර කඩේට යයි. පිට පළාත්වල ආරෝග්‍ය ශාලා හා ඩිස්පැන්සරි අසල පෞද්ගලික ඩිස්පැන්සරි තිබෙන බව කවුරුත් දන්නා කරුණකි.

 "ආරෝග්‍ය ශාලාවල නැති කවර හෝ බෙහෙතක් මේ පෞද්ගලික ඩිස්පැන්සරිවලින් ගත හැකිය. ආණ්ඩුවේ ආරෝග්‍යශාලාවල සහ ඩිස්පැන්සරිවල සිටින සමහර දොස්තර මහත්වරු හෝ අපොතිකරි මහත්වරු "අසවල් පෞද්ගලික ඩිස්පැන්සරියට ගොස් අසවල් බෙහෙත් ගෙන එන්නය" කියා ඒවායේ සිටින ලෙඩුන්ට නියම කරති.

"මේ දූෂණ ක්‍රියා ගැන දෙපාර්තමේන්තුව දන්නා නමුත් ඒවා ගැන විභාග කර වැරදි කාරයන්ට දඬුවම් කිරීමට හෝ ඒ වැරදි නැවැත්වීමට හෝ කිසිම සැලකිල්ලක් නොදක්වන බව අප අත්දැක තිබෙන කරුණකි."

ඉහත සඳහන් වූයේ අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් පවත්වා කරන ලද ප්‍රකාශයක් නොවේ. (ඒවා ඕනෑ තරම් අපට නිතර නිතරඅසන්නට ලැබේ.)

එම ප්‍රකාශය උපුටා ගන්නා ලද්දේ 1953 අය වැය විවාදයේදී මන්ත්‍රීවරියක විසින් කරන ලද එළි දැක්වීමකි. අවුරුදු හැටකට පෙර එම ප්‍රකාශය කරන ලද්දේ අවිස්සාවේල්ල මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මහත්මිය විසිනි. සෞඛ්‍ය ඇමති ඊ. ඒ. නුගවෙල මහතාගේ වැය ශීර්ෂය යටතේ ඇය කථා කළාය.

අල්ලස් ගැනීම කවර දා ඇරඹුණේදැයි අපට කිව නොහැක. උම්මග්ග ජාතකයේ තලතා රාජ මාතාව අල්ලස්කරුවන්ට දුන් නඩු තීන්දු කියැවූවා මතකය.එසේම කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේදී අල්ලස් ගත් රාජපුරුෂයන්ට දුන් දඬුවම් පිළිබඳ කතාද අපි අසා ඇත්තෙමු.

කෙසේ වුවද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ මහා පරිමාණයේ අල්ලස් ගන්නා මෝරුන් මෙන්ම පුංචි පුංචි අල්ලස් ගන්නා හාල් මැස්සන් ගැනද අපට මුලින්ම අසන්නට ලැබුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ සිටය.

අප කුඩා කාලයේ පටන් අල්ලස් ගන්නා නිලධාරීන් පිළිබඳ අපූරු කතන්දර අසන්නට ලැබුණි. ඒ කාලයේ රාජ්‍ය සේවයේ පුංචි පුංචි අල්ලස් ගැනීම අර්ධ "නීත්‍යනුකූල සම්මතයක්" බවට පත් වී තිබුණි. කාර්යාලයේ ප්‍රයෝජනයට ලියුම් කවර 1000ක් සැපයුම්කරුවකුගෙන් ලබා ගන්නා ලිපිකරුවා මෙන්ම ටයිප්රයිටරය ගෙන්වා ගන්නා විධායක නිලධාරියා දක්වා සියලු දෙනාටම යම්කිසි "සන්තෝසමක්" පිරිනැමීම චාරිත්‍රයක් සේ හඳුන්වනු ලැබීය. තරුණියකට විවාහයක් යෝජනා කරන කපුවකු මනමාලයා වර්ණනා කරමින් "කච්චේරියේ හොඳ රස්සාවක්.ලියන මහත්තයට පඩිය පවුම් 8 (රු.80).ඊට වැඩිය පිට වාසි ලැබෙනවා" යනාදී කියමන් නිතර අසන්නට ලැබුණි.

මහා පරිමාණයෙන් invoice ජාවාරම පටන් ගැනුණේ ඒ කාලයේ සිටය.

දේශපාලන ක්ෂේත්‍රයේ ඉමහත් ආන්දෝලනයකට ලක් වූ අල්ලස් හා දූෂණ පිළිබඳ කතාන්තර හෙළි වූයේ 1943 වර්ෂයේ දීය.රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී වරුන්ට විරුද්ධව පැන නැඟෙන අල්ලස් හා දූෂණ චෝදනා ගැන විභාග කිරීම සඳහා රාජකීය කොමිසම් සභාවක් පත් කරන ලද්දේ 1942 දෙවන ලෝක යුද්ධය සමයේදීය. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් සිටියහ.ඊට අමතරව නියෝජනයක් නො ලද පිරිස් වෙනුවෙන් ආණ්ඩුකාරයා විසින් පත් කෙරෙන මන්ත්‍රීවරු අට දෙනෙක් ද වූහ. මහජන මන්ත්‍රීන් කිහිප දෙනකුට විරුද්ධව චෝදනා ඉදිරිපත් විය. කොමිසම් සභාවේ සභාපතිවරයා වූයේ රාජ්‍ය නීතිඥ ඇල්. ඇම්. ඩී. ද සිල්වා මහතාය.එම කොමිසම් සභාවේ වාර්තාව අනුව මන්ත්‍රීවරු කීපදෙනෙක් වරදකරුවෝ වූහ. නුවරඑළිය, බණ්ඩාරවෙල ,බලංගොඩ සහ ත්‍රිකුණාමලය යන මැතිවරණ කොට්ඨාස හතරේ මන්ත්‍රීවරු වැරදිකරුවන් වූ නිසා මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස් වූහ. ඔවුන් ගේ ප්‍රජා අයිතිය ද වසර 7කට තහනම් කරන ලදී.

එහෙත් බොහෝ දෙනා විස්මයට පත්වුයේ ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද යුරෝපීය මන්ත්‍රීන් 3 දෙනෙකුට විරුද්ධව දෙන ලද තීන්දුවයි.

එකල මන්ත්‍රීවරයෙකුට ලැබුණු වැටුප මාසිකව රුපියල් 500කි.

මේ පත් කරන ලද යුරෝපීය මන්ත්‍රීන් තිදෙනාට මේ වැටුප් වලට අමතරව යුරෝපීයයන් සතු ලංකා වෙළෙඳ සංගමය, ලංකා මහ හෝටල් හිමියන්ගේ සංගමය සහ ලංකා වැවිලිකරුවන්ගේ සංගමය යන ආයතනවලින් මාසිකව රුපියල් 1500ක "පරිත්‍යාගශීලී දීමනාවක්" ගෙවන ලද්දේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ඉහත කී ව්‍යාපාරවල අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහාය.

මේ දීමනා බරපතළ අල්ලස් බවට පැමිණිලි කරන ලද්දේ එවකට නියෝජ්‍ය කථානායක සුසන්තා ද ෆොන්සේකා, නාරම්මල මන්ත්‍රී සිරිපාල සමරක්කොඩි හා හම්බන්තොට මන්ත්‍රී ඩී .ඇම්. රාජපක්ෂ යන මහත්වරුන් විසිනි. එම සුදු මන්ත්‍රීවරුන් තිදෙනාටද මන්ත්‍රී ධුර සහ ප්‍රජා අයිතිය අහිමි වීමත් සමග "සුද්දගෙ වැඩ හරි කෙළින්" යන මහත්මා ගුණයේද"හුළං බැස්සේය".

අද ලංකාවේ මැතිවරණවල දී ඉමහත් අල්ලස් හා දූෂණ සිදුවන බව රහසක් නොවේ. 1978ට පෙර මැතිවරණ අල්ලස් හා දූෂණ පාලනය කිරීමේ සහ අවම කිරීමේ නීතිමය ක්‍රමවේදයක් ව්‍යවස්ථානුකූල විය.1931 ඩොනමෝර් ව්‍යවස්ථාව අනුව ඇති කරන ලද මේ ව්‍යවස්ථානුකූල නිර්දේශය සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ද ක්‍රියාත්මක විය.

මන්ත්‍රී තරගයකට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම (දිනුවත් පැරදුණත්)ඡන්ද වියදම් ලැයිස්තුවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප්‍රතිඵල නිකුත් වීමෙන් සති 3ක් ගත වීමට පෙර ඉදිරිපත් කිරීම අනිවාර්ය විය. එසේ වියදම් කරන මුදල කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 3දෙනෙකුට රුපියලට වැඩි නොවිය යුතු ය. එසේ ඉදිරිපත් කරන ලැයිස්තු නිතරම "සිදුරුවලින් රිංගා" සකස් කරන බව නොරහසකි. එහෙත් ඒවා නීත්‍යනුකූලව පිළිගැනීමේ බලය කොමසාරිස්වරයා සතුය. මැතිවරණවලදී අල්ලස් දූෂණ හා අයුතු බලපෑම් වැනි චෝදනා උඩ 1931 සිට 1980 දක්වා ඡන්ද පෙත්සම් වලින් මන්ත්‍රීවරු 30දෙනෙකු පමණ වරදකරුවෝ වූහ.මේ නිසා එබඳු වැරදි පරෙස්සමෙන් කිරීමට සෑම අපේක්ෂකයෙකුම වග බලා ගත් බව පැහැදිලිය.

එහෙත් 1980න් පසු ක්‍රියාත්මක වූ ඊනියා දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද පෙත්සම් ඉදිරිපත් කිරීම දුෂ්කර නිසා ඉතා අපහසු කර්තව්‍යයක් බවට පත්වූයේය. දැන් ඕනෑම අපේක්ෂකයකුට ලක්ෂ ගණනින් මුදල් වැය කිරීමට බාධාවක් නැත .මැතිවරණ කොමසාරිස්වරයාට වියහියදම් පෙන්වීමට ඔවුන් බැඳී නැත. ඇත්ත වශයෙන්ම ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකයන් පිරිසක් ඇති දිස්ත්‍රික්කයක් සඳහා තරඟ කරන සෑම අපේක්ෂකයෙකුටම "තමන්ගේ මුදලින් හෝ ආධාරකරුවන්ගේ මුදලින් හෝ නැතිනම් පක්ෂයේ මුදලින්" හෝ වියදම් කිරීමට සිදුවීම යථාර්ථයයි. 1978ට පෙර අනිවාර්යවූ මැතිවරණ වියදම් පිළිබඳ නීතිය කොතරම් ශක්තිමත් වී දැයි ඔප්පු වන එක් නිදසුනක් පමණක් මෙහිලා දැක්වීම උචිතය.

1948 මහනුවර අතුරු මැතිවරණයේදී ටී බී ඉලංගරත්න මහතා සිය ප්‍රතිවාදියා වූ ෆ්‍රෙඩ් ඊ. ද සිල්වා මහතා පරදවා ජය ගත්තේය. ද සිල්වා මහතා ගේ චරිතයට අපහාස කරන ලද්දේ යැයි ඉලංගරත්න මහතාට චෝදනා කරමින් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය.චෝදනාව ඔප්පු වූයෙන් ඉලංගරත්න මහතාට අසුන අහිමි විය. එහෙත් නඩු විභාගය අතරතුරදී ෆ්‍රෙඩ් ඊ. ද සිල්වා මහතාගේ සාක්ෂියේ අඩුපාඩුවක් අල්ලා ගැනීමට ඉලංගරත්න මහතාගේ නීතිඥයෝ සමත් වූහ.මැතිවරණ කොමසාරිස් වරයා වෙත ෆ්‍රෙඩ් ඊ. ද සිල්වා මහතා ඉදිරිපත් කළ වියදම් ලැයිස්තුවේ අඩු පාඩුවකි ඒ. ද සිල්වා මහතා ගේ ප්‍රකාශනයේ දෙමළ පරිවර්තනය සඳහා ගෙවන ලද රුපියල් 25ක මුදලක් වියදම් ලැයිස්තුවට අන්තර්ගත නොවූ බව ඔප්පු විය.

ඉලංගරත්න මහතාට අසුන අහිමි වූ අතර ෆ්‍රෙඩ් ඊ. ද සිල්වා මහතාටද තුන් වසරක ප්‍රජා අයිති සීමාවක් පනවන ලදී.

එබඳු මැතිවරණ නීති අදත් තිබුණා නම් !

karunarathna amarasinghe

| කරුණාරත්න අමරසිංහ

(FB පිටුවෙනි)