RV Manpower වංචාවට හසුවු පුද්ගලයින්ට කඩිනමින් සාධාරණය ඉටු කරනවා

RV Manpower වංචාවට හසුවු පුද්ගලයින්ට කඩිනමින් සාධාරණය ඉටු කරනවා

මහරගම RV Manpower ආයතනය විසින් සිදුකරන ලද විදේශ රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයින්ට වෙනුවෙන් කඩිනමින් සාධාරණය ඉටුකිරීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති)  පවසයි.

මෙම වංචාවට හසුවූ පුද්ගලයින් (4/26) දින කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර, විරෝධතාකරුවන්ගෙන් පිරිසකට කාර්යාංශය තුළට පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.

ඒ අනුව ඔවුන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරියට සිය පැමිණිල්ල ඉදිරිපත් කළහ. එහිදී විරෝධතාකරුවන් ඇමතූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය ප්‍රකාශ කළේ, මේ වන විට මෙම ආයතනයට විරුද්ධව කාර්යාංශයට පැමිණිලි 263ක් ලැබී ඇති බවයි. කාර්යාංශය විසින් මීට පෙර මෙම ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුට විරුධද්ව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. එසේම කාර්යාංශය විසින් අදාල රැකියා නියෝජිත ආයතනය 2023 සැප්තැම්බර් 26 වන දින තහනම් කර ඇති බවද විරෝධතාකරුවන් හමුවේ පැවසූ සමරසේකර මහත්මිය, තවදුරටත් ලැබෙන පැමිණිලි ගොනුගත කර කඩිනමින් අධිකරණය හමුවේ නඩු පවරා වින්දිතයින්ට හැකි උපරිම අයුරින් සාධාරණය ඉටු කිරිමට කටයුතු කරන බවද සඳහන් කළාය.

ඉන් සෑහිමකට පත්වූ විරෝධතාකරුවන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමියට ස්තූතිය පළකර සිය විරෝධතාව අවසන් කිරීමට කටයුතු කළහ.

මෙම විදේශ රැකියා වංචාවට හසුවූ තවත් පුද්ගලයින් සිටියි නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.