අධ්‍යාපන අමාත්‍යංශය භාවිතයට නුසුදුසු සහල් පාසල් වලට බෙදයි

අධ්‍යාපන අමාත්‍යංශය භාවිතයට නුසුදුසු සහල් පාසල් වලට බෙදයි

2022 වර්ෂයේ පාසල් සිසුන්ට බෙදාදීමට විදේශ ආධාර ලෙස ලැබී ඇති සහල් බෙදා දීමකින් තොරව ගබඩා තුල රදවා තබා ඇති අතර මේ වන විට කල් ඉකුත් වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති එම සහල් තොග කඩිනමින් පලාත් වලට බෙදා හැරීමට කටයුතු කර ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, බොහෝ පලාත් බලධාරීන් කිසිදු සොයා බැලීමකින් තොරව එම සහල් තොග බෙදා හැරීම සදහා මේ වනවිටත් රැගෙන ගොස් ඇති නමුත් බස්නාහිර පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සහල් පරිභෝජනයට සුදුසුද යන්න වෛද්‍ය කණ්ඩායමක් සමග පරීක්ෂා කර ඇති අතර එම පරීක්ෂාවේදී මෙම සහල් කිසිසේත්ම පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වී ඇත. ඒ අනුව එම සහල් පාසල් වෙත බෙදා දීම නවතා දැමීමට බස්නාහිර පලාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත. නමුත් මේ වන විටත් අනෙකුත් පලාත් සහල් බෙදා හැරීමට කටයුතු සූදානම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

බස්නාහිර පලාතේ දරුවන්ට පමණක් නොව මෙරට කිසිදු දරුවකුට හෝ වැඩිහිටියෙකුට එම සහල් සුදුසු නොවන බැවින් එම සහල් තොග පාසල් වලට බෙදීම අත්හිටුවන ලෙස අප අධ්‍යාපන අමාත්‍යංශයෙන් හා පළාත් සභාවලින් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් විදේශ ආධාර ලෙස ලැබුණු මෙම සහල් තොග වසර දෙකකට වැඩි කාලයක් ගබඩාවල තබා තිබූ හේතුව අධ්‍යාපන අමාත්‍යංශය හෙලිකල යුතුය.

තවද මෙසේ නොමිලයේ ලැබුණු සහල් පාසල් සදහා බෙදා, දරුවන්ගේ දිලා ආහාරය සදහා ලබාදෙන මුදල් කපා හැරීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක වන බව පෙනී යයි.

මෙවැනි සිදුවීම් සිදු නොවීමට වග බලාගැනීම අදාල සියලු පාර්ශව වල වගකීම බවත් මතක් කර සිටිමු.