අගමැති දුන්නු ගුරු පත්වීම් නිසා අවුලක්

අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ලබාදුන් ගුරු පත්වීම් බඳවා ගැනීමේ ගැසට් නිවේදනයට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අත්තනෝමතික ලෙස පාසල්වලට ස්ථාන ගත කිරීමෙන් බරපතළ වියවුල්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ඊයේ (08) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විද්‍යා පීඨ ගුරුවරු 4286කට ගුරු පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙළ ගැන අදහස් දක්වමින් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහත මේ බව සඳහන් කළේය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ 2015 මැයි මස 08 දිනැති අංක 1914 ගැසට් නිවේදයේ 6.1.1 ට අනුව 2015 වසරේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ගුරු සිසුන් බඳවා ගනු ලැබුවේ 2018 වසර වන විට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පවතින පුරප්පාඩු ගණනය කොට එම පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා බවත්, එහිදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට තෝරා ගැනීමේ ඉසෙඞ් අගය ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව වෙනස් වු බවත්ය.

පුරප්පාඩු පවතින ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉසෙඞ් අගයේ කුසලතා අනුපිළිවෙලට තෝරාගනු ලැබු බවත් මේ තත්ත්වය තුළ පුරප්පාඩු නොමැති පහසුකම් වැඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉහළ ඉසෙඞ් අගයක් ලබාගත් සිසුන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා තෝරාගනු නොලැබුණු බවත් ඒ මහතා පෙන්වාදෙයි.

මේ නිසාම වැඩි ඉසෙඞ් අගයක් ලබාගත් සිසුන්ට බඳවා ගැනීමේදී බරපතල අසාධාරණයක් සිදු වු බවත් මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම ගුරුවරු 4286 දෙනාගෙන් අඩකට වැඩි පිරිසක් ස්ථාන ගත කර ඇත්තේ ජාතික පාසල්වලට වන අතර පාසල් 10174 න් ජාතික පාසල් 353 කට එවැනි පිරිසක් බඳවා ගෙන සෙසු පිරිස ඉතිරි පාසල්වල ස්ථාන ගත කිරීම බරපතළ අසාධාරණයක් බවටත් ජෝසප් ස්ටාලින් මහතා කරුණු දක්වයි.

තමන් ඉල්ලූම් කළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් වෙනුවට ඌව ගුරුවරු බස්නාහිරට ද, උතුරේ ගුරුවරු සබරගමුව හා වතුකරයට ද, උතුරු මැද ගුරුවරු වෙනත් පළාත්වලට ද ලෙස දුෂ්කර ප‍්‍රදේශවල ගුරුවරුන්ට වෙනත් ප‍්‍රදේශවලට පත්වීම් ලබා දී ඇති බවත් මෙම ව්‍යාකූලතාවය නිසා පත්වීම්ලාභීන් දැඩි අපහසුතාවයට පත් වී ඇති අතර, ඊට විසඳුමක් ලබා දී නැති බවත් ඒ මහතා පවසයි.

දුෂ්කර ප‍්‍රදේශවල පුරප්පාඩු පවතිද්දී මෙලෙස පදනම් විරහිතව ස්ථාන ගත කිරීමෙන් දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයට තවදුරටත් පිළියමක් නොලැබේන බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙසේ වියවුල්කාරී ලෙස ගුරුවරු පාසල්වල ස්ථානගත කිරීම නිවැරදි කිරීමට අභියාචනා කි‍්‍රයාවලියක් ඇරඹිය යුතු බවත් එසේ අභියාචනා ක්‍රියාවලියක් වහා ආරම්භ කොට පත්වීම් ස්ථාන ගත කිරීම නිවැරදි කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් ඔහු පවසයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ නවක ගුරුවරු බඳවා ගැනීමේදී එම ගුරුවරු ස්ථානගත කිරීමට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක් නොමැති වීම බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියි.

නවක ගුරුවරු ස්ථාන ගත කිරීමට අදාළව ජාතික ප‍්‍රතිපත්තියක් සකසන ලෙස ලංකා ගුරු සංගමය දිගින් දිගටම අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන අතර, ජනාධිපතිවරයාට මේ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435