අතීතයෙන් වර්තමානයට ලිපිකරු සේවාවෙන් කළමනාකරණයට

ඉංග‍්‍රීසි පාලන සමයේ පරිපාලනය කටයුතු ඉටුකර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලද ලිපිකරු සේවාව එවකට අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීම සදහා කරනු ලැබූ අනූපමේය කාර්ය භාරය ලක් ඉතිහාසය දන්නා සෑම අයෙකුම පැහැදිලිව දන්නා කාරණයකි.

නිදහසින් පසුව වඩාත් පුළුල් රාජ්‍ය සේවාවක් ලෙස දිවයිනපුරා රාජ්‍ය පරිපාලනයේ බහුකාර්ය කටයුතු ඉටුකරමින් රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය අංගයක් වූ අප සේවාව ඉමහත් කැපවීමකින් උද්යෝගයකින් රාජකාරි ඉටුකළ විශිෂ්ඨතම සේවාවක් විය.

නමුත් කණගාටුවට කරුණක් වූයේ නිදහසින් පසු වුවද රාජ්‍ය පාලකයින් වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා කම්කරුවන් මර්ධනය කරමින් අධිරාජ්‍යවාදී ගැති පාලනයක් රට තුළ ඇති කරමින් රාජ්‍ය පාලනය ගෙනයාමට කටයුතු කිරීමය.

මෙම කාර්යයන් නිසා ශ‍්‍රී ලංකාව අවධානම් තත්වයකට පත්වීම අවබෝධ කරගත් වහාම විසදිය යුතු පැනයක් විසදීම සඳහා විටක අප සේවාවේ සිටි ජාති මාමක දේශමාමක බුද්ධිමතුන් විසින් තම සේවාවන් අවාරණය වන පරිදි විවිධ වෘත්තීය සමිති ආරම්භ කරන ලදී.

මෙම කාලයේ ලිපිකරු සේවාව ආවරණය කරමින් ආරම්භ කරන ලද සමස්ත ලංකා ලිපිකරු සංගමය ලිපිකරු සේවාවේ විශිෂ්ඨතම වෘත්තීය සමිතිය වෙමින් මෙතෙක් අප සේවාව භුක්ති විදින වරප‍්‍රසාද අයිතිවාසිකම් බොහොමයක් දිනා ගැනීමට මුල් වී කටයුතු කළ වෘත්තීය සමිතියක් බැව් සේවාවේ අනෙකුත් සියළුම වෘත්තීය සමිති පවා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් මගකට යොමුකරමින් වාමාංශික පක්ෂ සහාය ලබා ගනිමින් 1970 බලයට පත් සමගි පෙරමුණ රජයේ අරමුණ වූයේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමය. එම නිසා විදේශ ආනයන සීමා කිරිම තුලින් කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරිම රජයේ අරමුණ වුවත් පෙර සූදානමකින් තොරව හිටි හැටියේ ගත් මෙම තීරණ නිසා ජනතාව විශේෂයෙන් රාජ්‍ය සේවය පවා ඉතා අසරණ තත්වයකට පත්විය. වෙළදපල භාණ්ඩ හිඟය සලාක ක‍්‍රමය වැනි ක‍්‍රියාවන් නිසා 1977 දී පැවති රජය අන්ත පරාජයකට පත් වී ජේ.ආර්. ජයවර්ධන නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය අසීමිත ජන වරමක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන බලය හිමිකර ගන්නා ලදී.

මෙතැන් සිට අධිරාජ්‍යවාදී රටවල උපදෙස් පිළිපදිමින් පාලන බලය ඇරඹු ජයවර්ධන යුගය පැවති ආනයන නීති ලිහිල් කරමින් නිදහස් වෙළදාම සදහා විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ආරම්භ කරමින් සීමාවකින් තොරව විදේශීය භාණ්ඩ දේශීය වෙළදපොළට ගෙන්වීමට කටයුතු කළ අතර වෙළදපොලේ භාණ්ඩ තිබුණත් වැඩ කරන ජනතාවට ඒවා මිලයට ගැනීමට ශක්තියක් නොවීය. වේගයෙන් ඉහළ යන ජීවන වියදමට අනුව ජීවිතය ගෙනයාම සදහා වැටුප් වැඩිවීමක් ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බැව් වෘත්තීය සමිති නායකයින්ට අවබෝධ වූයෙන් වැඩකරන ජනතාව මුලිකත්වයේ සියළුම වෘත්තීය සමිති එක්වී (ජාතික සේවක සංගමය වැනි වෘත්තීය සමිති කිහිපයක් හැර) ඒකාබද්ධ වෘත්තීය සමිති ක‍්‍රියාකාරී කමිටුව පිහිටුවා ගනිමින් 1980 මාර්තු මසදී සංගම් නියෝජිතයින්ගේ සමුළුවක් කැදවූ අතර කම්කරු නියෝජිතයින් 4000 ක් පමණ එක හඩින් පවසා සිටියේ මසකට රු.300/= ක (දිනකට රු.10/=) වැටුප් වැඩිවීමක් ඉතා කඩිනමින් ලබා ගත යුතු බවය. මෙම ඉල්ලීම කමිටුව විසින් රජයට දැනුම් දුන්නද රජය මෙම ඉල්ලීම් තඹයකට මායිම් නොකරමින් වෘත්තීය සමිති නියෝජිතයින් හමුවීම පවා ප‍්‍රතික්ෂේප කරමින් විධායකයේ කෘර හස්තය වැඩකරන ජනතාව මත හෙළමින් දන්වා සිටියේ ඉල්ලීම් කරන ලද වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් කරනු ලබන විරෝධතා, වර්ජන, උද්ඝෝෂණ රජයට කරනු ලබන ද්‍රෝහිකමක් ලෙසය. 1980 මාර්තු මස සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයට රැස් වූ කම්කරු නියෝජිතයින් විසින් රජයට ඉල්ලීම් 21 ක් ඉදිරිපත් කල අතර එයට මසකට රු.300/= ක වැටුප් වැඩි වීමක්ද ඉල්ලා සිටින ලදී. එදින කම්කරු සමුළුව විසින් 1980 ජූනි 05 වන දින ජාතික විරෝධතා දිනයක් ප‍්‍රකාශයට පත්කරන ලදී. එම විරෝධතා දිනයේද රජයේ අනුග‍්‍රහය ලත් මැර කණ්ඩායමක් පහර දීමට ලක් වූ රජයේ සැපයීම් දෙපාර්තමේන්තුවේ සේවය කළ සෝමපාල සහෝදරයා මිය යන ලදී. සෝමපාල සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට වරුවක වැඩ වැරුමක් කර සහභාගී වූ රත්මලාන දුම්රිය කම්කරුවන් 12 දෙනෙකුගේ වැඩ තහනමට එරෙහිව දුම්රිය කම්කරුවෝ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී. එම වැඩ වර්ජනයට කම්කරු පන්තිය දිනෙන් දින සහයෝගය දීම නිසා වෘත්තීය සමිති ඒකාබද්ධ එකමුතුව විසින් 80 ජූලි මස 17 හා 18 වන දින සිට එම වර්ජනයට සහභාගී වීම නිසා දැවැන්ත වැඩ වර්ජනයක් ඇති විය. සමස්ත ලංකා රජයේ ලිපිකරු සංගමය ඇතුළු සියලූ ලිපිකරු සංගම් එයට සහයෝගය පිණිස සහභාගී විය. රජය විසින් හදිසි නීතිය පනවා වැඩ වර්ජනය මර්ධනය කරන ලදී. එම මර්ධනයට සමස්ත ලංකා රජයේ ලිපිකරු සංගමය ලක්විය.

සටන අත්නොහල වෘත්තීය සමිති විසින් එතැන් සිට දිගින් දිගට කරනු ලැබූ විරෝධතා, උද්ඝෝෂණ හේතුවෙන් 1980.07.16 දින ජයවර්ධන රජය 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලය උපයෝගී කරගනිමින් දිවයින පුරා හදිසි තත්වයක් ප‍්‍රකාශ කරන ලදී.

මෙහිදී වඩාත් සටන්කාමී වෙමින් වෘත්තීය සමිති කමිටුව විසින් ජූලි 18 දින සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය 1980.07.20 දින සිට සමස්ත මහා වැඩවර්ජනයක් ලෙස ව්‍යාප්ත කරවීය.

ශ‍්‍රි ලංකා ඉතිහාසය තුල රාජ්‍ය සේවයේ කොදු නාරටිය කඩා දමමින් ලිපිකරු සේවාවේ 2/3 කට පමණ රැුකියාව අහිමි කරමින් රාජ්‍ය හා පුද්ගලික අංශයේ 40000 කට වඩා තමුන්ගේ රැුකියාව අහිමි කරමින් ජයවර්ධන රජය විසින් එතෙක් මෙතෙක් ලක් ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය කෘර ලෙස මර්ධනය කර දැනට 37 වසරක් ගෙවී ගොසිනි. එය ලක් ඉතිහාසයේ වෘත්තීය සමිති රාශියක් එක්ව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා දියත්කළ විශාලතම වර්ජනය වුවත් එය මර්ධනය කරනු ලැබූ ආකාරයත් එයට සාපේක්ෂව පැවති රජයේ අනුගාමිකයින් එකවර ලිපිකරු සේවාවට බදවා ගැනීමත් නිසා සිදුවුයේ ශ‍්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරය යන එන මං නැති තත්වයකට පත් වීමය. මෙය ඉතා භයංකර අන්දමින් සමස්ත ලංකා ලිපිකරු සංගමයට බලපෑමක් ඇතිකරමින් අප වෘත්තීය සමිති නායකයින් පවා අන්ත අසරණ තත්වයට පත් කරනු ලැබූ සිදුවීමක් විය.

නමුත් කිසිදු ලෙසකින් සටන අත්නොහරී සමස්ත ලංකා ලිපිකරු සංගමය රැකියා අහිමි වූ සාමාජිකයින්ද ආරක්ෂා කර ගනිමින් වෘත්තීය සමිතියද රැකගනිමින් එදා කරනු ලැබූ කැපවීම සදා අනුස්මරණිය වන අතර අප ලිපිකරු සංගමය රැකගත් අප නායකයින් ඉතා කෘතවේදීව මේ මොහොතේත් සිහිපත් කරන්නෙමු.

80 වැඩවර්ජනයෙන් පසු විශේෂයෙන් ලිපිකරු සේවාවට ලැබූ සංක‍්‍රාන්ති සමයේදී තම සහෝදර නිලධාරින්ගේ රැුකියා ලබා ගැනීමට කටයුතු කරනු හැර සේවාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම කැප කිරීම අපහසු වූයෙන් එතැන් සිට බලයට පත්වූ සියළුම පාලකයින් සේවාවේ වරප‍්‍රසාද අයිතිවාසිකම් කප්පාදු කිරීමට කටයුතු කලා විනා සේවාවේ උන්නතියට හා ගුණාත්මක භාවය නගා සිටුවීමට කළ කිසිදු දෙයක් නොවීය. එම 06/2006 මගින් වැටුප් වාසිය අහෝසි කරන ලදී. මෙම තත්වය සමනය කිරීම සඳහා කළමනාකරණ සේවාවේ සියලූම සංගම් එකතුව රාජ්‍ය කළමනාකරණ එකමුතු සන්ධානය පිහිටුවා කටයුතු කළත් ඵලදායි ජයග‍්‍රහනයක් ලබා ගැනීමට නොහැකි විය.

වෘත්තීය සමිති 10 කින් සමන්විත කළමනාකරණ සහකාර සේවාවේ ඉරනම මෙසේ ලියවෙද්දී කිසිදු වෘත්තීය සමිතියක් විරෝධතා ව්‍යපාරයක් හෝ දියත් කිරීමට හැකියාවක් නොමැතිව මං මුලාව සිටි අවධියක වසර 30 කට වඩා වෘත්තීය අත්දැකීම් ඇති ඒ හා සමාන වෘත්තිය සමිති ක‍්‍රියාකාරකම් නිපුනත්වයකින් හෙබි උදේනි දිසානායක සහෝදරයා සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමයේ සභාපති තනතුරට පත් වීමෙන් පසු ගත් නිර්භය ක‍්‍රියාමාර්ග කළමනාකරණ සහකාර සේවාව යළිත් කිසියම් පිබිදීමකින් යුතුව අහිමි වී ගිය අයිතිවාසිකම් යලි දිනා ගැනීම වෙනුවෙන් පෙරට ඒමට පටන් ගැන්ම කළමනාකරණ සහකාර සේවාව නැවත අවධිවීමක් බදු විය.

උදේනි දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුතුව කළමනාකරණ සහකාර සේවාවේ වෘත්තීය සමිති 10 ක එකමුතුව එක්සත්ව දියත් කළ 2019 පෙබරවාරි 27 දින සංකේත වැඩ වර්ජනය සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය විරෝධතා පා ගමන 15,000 ක පමන කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සහෝදරත්වය හා එක්ව සටන් කිරීමට ඇති හැකියාව එකමුතුව පාලකයින්ගේ ඇස් අරවන්නක් විය.

එයින් නොනැවතී මාණ්ඩලික නිලධාරින්ට පමණක් රු.50,000/= ක දීමනාව ගෙවීමට එරෙහිව එවැනිම දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් 2019. 09. 23 දින පවත්වා මෙම දීමනාව නවතා දැමීමට කළමනාකරණ සේවා නිලධාරී සංගම්වලට නායකත්වය ලබා දීම තවත් ජයග‍්‍රහණයක් විය.

වසර ගණනාවක් තිස්සේ පාලකයන් ලබා දීමට මැලිවූ සේවා නාමය කළමනාකරණ සේවා නිලධාරී සේවය ලෙස වෙනස් කර ගැනීම භාෂා ප‍්‍රවීණතා සංශෝධනය කිරිම සහ I පන්තියේ නිලධාරීන්ගේ කඩඉම් විභාගය වෙනුවට දින 10 පාඨමාලාව මෑත කාලයේ ලැබූ ජයග‍්‍රහණ වලින් කිහිපයක් වන අතර ඉදිරියේ දී ලබා ගත යුතු අයිතිවාසිකම් විශාල ප‍්‍රමාණයකි. මේවා කිසිකලෙක සටන් කිරීමකින් තොරව පාලකයින් විසින් ලබා නොදෙන බව ඉතිහාසය සාක්ෂි සාක්ෂි දරනු ඇත.

සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරි සංගමයේ පූර්ණ සහයෝගය ලබා දෙමින් වර්තමානයේ බලයට පත්වූ පොදුජන පෙරමුණ රජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් හට අප සේවාවේ නිරාකරණය කර ගත යුතු ගැටළු අයිතිවාසිකම් ඉදිරිපත් කිරිමට සේවාවේ වෘත්තීය සමිති එකමුතුවේ නායකත්වය දරණ උදේනි දිසානායක සහෝදරයාගේ වගකීමක්ද වන බැවින් ඉදිරියටත් සේවාවේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සේවාවේ ප‍්‍රධාන වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරින්ගේ සංගමයේ සභාපතීත්වය දරමින් තවත් දිගුකාලයක් සේවාවේ උන්නතිය වෙනුවෙන් කැපවන්නට අහිමි වී ගිය අයිතිවාසිකම් යලි දිනා ගැනීමට සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරින් සංගමය සේවාවේ කීර්තිමත්ම වෘත්තීය සමිතිය ලෙස ඔසවා තැබීමට උදේනි දිසානායක සහෝදරයාගේ වගකීමක් වන බැවින් අප සැමගේ සහයෝගය සමස්ත ලංකා  කළමනාකරණ සේවා නිලධාරී සංගමය වෙතත් සභාපති උදේනි දිසානායක සහෝදරයා වෙතත් ලබා දෙමු.

සමස්ත ලංකා  කළමනාකරණ සේවා නිලධාරී සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435