අතුරු තහනමක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

02 ජුලි 2014 – wedabima.lk

 

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට සූතිකාගාරවලට පිවිසීම වළකාලන අතුරු තහනමක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

 

රජයේ රෝහල්වල හෙද නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නාමලේඛනය අත්සන් කිරීමකින් තොරව, සූතිකාගාරවලට පිවිසීමට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට ඉඩ ලබාදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (01දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.

 

මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ නීතිඥ සංජීව කළුආරච්චි මහතා විසින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, ලේකම් නාලක හෙට්ටිආරච්චි, රත්නපුර, පේරාදෙණිය රෝහල්වල හෙද නිලධරීන් වන ඒ. ප්‍රදීප් නන්දදාස, එස්. ඒ. පද්මසිරි සහ එස්. ඩබ්ලිව්. රණසිංහ යන මහත්ම මහත්මීන් විසිනි.

 

1997 සැප්තැම්බර් 12 වැනි දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සූතිකාගාර රාජකාරි සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙසද වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එසේ නොකළහොත් ගැබිනි මාතාවන්ගේ තත්ත්වය අන්තරාදායක වීමට ඉඩ ඇති බවටද පෙත්සම්කරුවන් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.

 

දැනට පේරාදෙණිය, රත්නපුර සහ තවත් රෝහල්වල ඉහත සඳහන් චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරගෙන යෑම නිසා සෞඛ්‍ය සේවයේ බරපතළ ගැටලු උද්ගතවී තිබෙන බවද පෙත්සමේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, රාගම, පේරාදෙණිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂකවරුන්, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සංගමය සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
වැඩිදුරටත් මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ 1997 සැප්තැම්බර් 12 වැනි දින සූතිකාගාර සේවය සම්බන්ධයෙන් නිකුත්කර ඇති චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරමින් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

 

මූලාශ්‍රය – මව්බිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435