අදෘශ්‍යමාන ඒකාධිපති සහ  එට්‌කා ගිවිසුමේ දේශපාලන තීන්දුව 

එට්‌කා ගිවිසුම රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව වගකීම ගන්නේ කවුද? යහපාලනයේ ප්‍රධානම අංගයක්‌ වන්නේ වගකීම සහ වගවීමයි. මීතොටමුල්ල කුණු කන්ද අහිංසක මිනිසුන්ගේ හිස මත කඩා වැටී දරු පවුල් පිටින් ඝාතනය වු විට අපේ පාලකයින් එකිනෙකාට චෝදනා කර ගත්තා මිස එහි වැරදිකරුවකු නොවීය. එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන්ද වගකීම භාරගත යුතු කිසිවකු හඳුනාගත හැකි නොවනු ඇත.

2003 සිට 2008 දක්‌වා

ඉන්දියාව සමඟ යෝජිත විස්‌තීරණ ආර්ථික ගිවිසුමක්‌ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ වූයේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධූරය සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දැරූ කාලය තුළය. එවක සීපා ලෙස හැඳින්වූ මෙම ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ අධ්‍යයන කණ්‌ඩායමක්‌ පිහිටුවන ලද්දේ 2003 වසරේ අප්‍රේල් මසය.

මෙම ගිවිසුම තුළ, සේවා යටතේ තොරතුරු තාක්‌ෂණය සහ සංචාරක ව්‍යාපාරය පමණක්‌ නොව භාණ්‌ඩ සහ මගී ප්‍රවාහන සේවාවන්, අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, දුම්රිය මාර්ග, බලශක්‌ති ක්‌ෂේත්‍රය, ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, බැංකු සහ මුල්‍ය සේවා ද ඉන්දියානු සමාගම් සහ වෘත්තිකයන් වෙත විවෘත කිරීමට යෝජිතය.

2005 වසරේ සිදු වූ ආණ්‌ඩු මාරුවෙන් පසුව ද මෙම ක්‍රියාදාමය ඉදිරියට ඇදුණි. 2008 වසරේ සාක්‌ සමුළුවේ 15 වන සැසිවාරය කොළඹදී පැවැත්වෙන අතරතුර දෙරටේ නායකයන් විසින් සීපා ගිවිසුමේ රාමු ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබිණි. දේශීය ව්‍යාපාරිකයන්ගේ, ආණ්‌ඩු පක්‌ෂයේ ඇතැම් දේශපාලන කොටස්‌වල සහ ජාතික සංවිධාන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවයට අවසන් මොහොතේa ඇහුම්කන් දුන් එවක ජනාධිපතිතුමා එම ගිවිසුම අත්සන් කිරීමෙන් වැළකී සිටියේය. ඉන් පසුව සීපා ගිවිසුම සඳහා වූ ගමන ටික කලකට ඉතා දුබල විය. නමුත් ඉන්දියානු න්‍යායපත්‍රයට අනුව ක්‍රියා කළ පිරිස මේ ගිවිසුම යළි කරළියට ගෙන ඒමට වෑයම් කරමින් සිටියහ.

2017 වසර අගදී එට්‌කා

වත්මන් ආණ්‌ඩුව පත්වීමත් සමඟ සීපා ගිවිසුම වෙත යන ගමන ඉතා වේගවත් විය. ඊට සමාන්තරව විරෝධතාවයද වේගවත් විය. සීපා ගිවිසුමේ නම එට්‌කා ලෙස වෙනස්‌ කෙරුණි. මෙම ක්‍රියාදාමය ඉදිරියට ඇදෙන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමේ ක්‍රියාදාමය තුළ ඉතා වැදගත් ගුණාංගයන් ලෙස හඳුනාගෙන ඇති විනිවිදභාවය සහ පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්වය යන ගුණාංගයන් සම්පූර්ණයෙන්ම බැහැර කරමිනි. අග්‍රාමාත්‍යතුමා වරෙක මෙම ගිවිසුමට කවුරුන් විරුද්ධ වුවත් තමන් එය අත්සන් කරන බව පැවසීය.

මේ වන විට එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ ඉන්දියානු කණ්‌ඩායම අතර පස්‌වන සාකච්ඡා වටය පවත්වා අවසන්ය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධානියා විසින් පවසා ඇති පරිදි මේ වන විට බොහෝ කාරණා දෙරට අතර සාකච්ඡා කර අවසන් කර ඇති අතර මේ වසර අග වන විට සියලු කටයුතු අවසන් කර එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට කටයුතු යෙදෙනු ඇත.

එසේම මේ වන විට ගිවිසුමේ ඇතැම් අංශයන්ට අදාළ කොටස්‌ වෙන වෙනම ගිවිසුම් කිහිපයක්‌ හරහා ක්‍රියාත්මක කරවීමට උත්සාහයක්‌ පවතින බවද පෙනෙන්නට තිබේ. මේ වසරේ අප්‍රේල් මස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළදී දෙරට අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මේ සඳහා හොඳ නිදර්ශනයකි.

දේශපාලන තීන්දු සහ ඒකාධිපති රෙජීමය

ආචාර්ය සමන් කැලේගමගේ හදිසි අභාවයෙන් පසුව යෝජිත එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සාකච්ඡා කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස පත්වූ කේ. ඡේ. වීරසිංහ මහතා ඩේලි මිරර් පුවත්පත (අගෝස්‌තු 10) වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඉතා වැදගත් කාරණාවක්‌ සඳහන් කර ඇත. එට්‌කා ගිවිසුමට එළැඹීමට තීරණය කළේ දෙරටේ ඉහළ දේශපාලන නායකත්වය විසින් බව ඔහු ප්‍රකාශ කර තිබුණි. බහුතරයක්‌ ශ්‍රී ලාංකිකයන් හට එට්‌කා ගිවිසුම දේශපාලන තීන්දුවක්‌ මත සිදු වන්නක්‌ බව ඉතා පැහැදිලි කාරණයක්‌ වී තිබුණත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ප්‍රධානියකු විසින් ඒ බව සෘජුව මාධ්‍යයට ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වේ.

2008 දී මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා විසින් ජනතා මතයට ඇහුම්කන් දී එවක සීපා නමින් හැඳින්වූ ගිවිසුමට අත්සන් නොකර සිටීමට දේශපාලන තීන්දුවක්‌ ගනු ලැබීය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ රජය පත්වූ විගසම ඔවුන් විසින් ඒකාධිපති රෙජීමයක්‌ ලෙස හැඳින්වූ මහින්ද රාජපක්‌ෂ රජය විසින් පවා ජනමතයට අනුව නවතා දමා තිබූ වැඩපිළිවෙල යළි වේගවත් ලෙස ආරම්භ කිරීමට දේශපාලන තීන්දුවක්‌ ගත්තේය. පසුගිය ආණ්‌ඩුව ඒකාධිපති ආණ්‌ඩුවක්‌ ලෙස නම් කරමින් බලයට පත් රජය විසින් මහජන විරෝධය අබමල් රේණුවකට හෝ මායිම් නොකරමින් තමන් බලයට පත් විගස ඉන්දියාව සමඟ කටයුතු වේගවත්ව යළි ඇරඹීම තමන් ලද ජන වරම මහ දවාලේ දූෂණය කිරීමකි. එසේම තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිඹුල් කඳුළු හෙළමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට ඇති පරම අයිතිය උදුරා ගත්තේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳව තොරතුරු ලබා දීම නීතියෙන්ම තහනම් කරමිනි. මේවායෙන් මෙරට පොදු ජනතාව අත්විඳින්නේ ඒකාධිපතීත්වයයි. නමුත් ඒකාධිපතියා කවුද යන්න කිසිවකුට පැහැදිලි නැත. ඒකාධිපතියා අදෘෂමානය. කිසියම් රජයක්‌ ඒකාධිපති රෙජීමයක්‌ වන්නේ සිය භාවිතාවෙන් විනා උදේ හවස මයික්‍රපෝන ඉදිරියේ කියවන වචන කට්‌ටලයකින් නොවේ.

වත්මන් එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ප්‍රධානියා විසින් මෙම ගිවිසුම පිළිබඳ තීරණය දෙරටේ ඉහළම දේශපාලන නායකත්වය විසින් ගන්නා ලද තීරණයක්‌ බව ප්‍රකාශ කිරීම වැදගත් වන්නේ මේ සන්දර්භය සලකා බැලීමේදීය. මීට පෙර රටේ නායකත්වයට රටට අහිතකර ගිවිසුම් සඳහා අප එළැඹෙන්නේ නැතැයි වැනි බොරු ප්‍රකාශ මගින් ජනතාව රැවටීමට පැවති හැකියාවද දැන් අහෝසි වන්නේ මෙම ගිවිසුම දේශපාලන තීන්දුවක්‌ බව රජයේ නිලධාරීන් විසින් ප්‍රකාශ කිරීමත් සමඟයි. මේ සත්‍යය නොවළහා පැවසීම පිළිබඳව අප කේ. ඡේ. වීරසිංහ මහතාට ස්‌තුතිවන්ත විය යුතුය.

මීතොටමුල්ල කුණු සහ එට්‌කා

නමුත් මේ ප්‍රකාශය තුළ තවත් බලවත් අර්බුදයක්‌ ගැබ්ව ඇත. මෙය දේශපාලන තීන්දුවක්‌ බව ප්‍රකාශ කිරීම මඟින් වීරසිංහ මහතා තමා ප්‍රධානීත්වය දරන එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ වගකීම සීමා කරගැනේ. එසේ ප්‍රකාශ කිරීම මඟින් ගම්‍ය වන්නේ ගිවිසුම රටට හිතකරද අහිතකරද යන්න සලකා බැලීම එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමට අදාළ කාරණයක්‌ නොවන බවත් එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ වගකීම ගිවිසුමේ අන්තර්ගත වගන්ති එහාට මෙහාට කර ගැනීම පමණක්‌ වන බවත්ය.

සාමාන්‍යයෙන් රටේ ජනාධිපතිවරයා නිතර පවසන්නේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්නේ නැති බවයි. එයින් ගම්‍ය වන කාරණයක්‌ නම් එට්‌කා ගිවිසුම රටට හිතකරද අහිතකර ද යන්න පිළිබඳ අදහසක්‌ ජනාධිපතිවරයාට නොමැති බවයි. එලෙස පැහැදිලි මතයක්‌ රටේ ජනාධිපතිවරයාට නොමැති විටක එට්‌කා ගිවිසුම සඳහා එළැඹීම දෙරටේ ඉහළ දේශපාලන නායකත්වය විසින් ගත් තීන්දුවක්‌ වනුයේ කෙලෙසද යන්න බරපතළ පැනයකි.

එසේ නම් එට්‌කා ගිවිසුම රටට හිතකරද අහිතකරද යන්න පිළිබඳව වගකීම ගන්නේ කවුද? යහපාලනයේ ප්‍රධානම අංගයක්‌ වන්නේ වගකීම සහ වගවීමයි. මීතොටමුල්ල කුණු කන්ද අහිංසක මිනිසුන්ගේ හිස මත කඩා වැටී දරු පවුල් පිටින් ඝාතනය වු විට අපේ පාලකයින් එකිනෙකාට චෝදනා කර ගත්තා මිස එහි වැරදිකරුවකු නොවීය. එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන්ද වගකීම භාරගත යුතු කිසිවකු හඳුනාගත හැකි නොවනු ඇත.

ශක්‍යතා අධ්‍යයනයක්‌වත් සිදු කර නැත

යම් රටක දේශපාලන නායකත්වය විසින් කිසියම් දේශපාලන සහ ආර්ථික දැක්‌මකින් යුතුව පොදු ජනතාව මේ පිළිබඳව විරෝධයක්‌ නොදක්‌වන්නේ නම් එවැනි තීරණයකට එළැඹීමට කටයුතු සිදු කිරීම වරදක්‌ නොවේ. නමුත් එවැනි තීන්දුවකට පෙර ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එවැනි ශක්‍යතා අධ්‍යයනයක්‌ තුළින් යෝජිත ගිවිසුම මඟින් වාසි අත්වන ක්‌ෂේත්‍රයන් මෙන්ම ගිවිසුම නිසා තර්ජනයට ලක්‌වන ක්‌ෂේත්‍රයන්ද හඳුනා ගත යුතු බව ආසියානු සංවර්ධන බැංකුව මඟින් ආසියානු රටවල් සඳහා නිදහස්‌ වෙළඳ ගිවිසුම් වෙත පිවිසීම සඳහා ප්‍රකාශ කර ඇති නිර්දේශවල පවා සඳහන් වේ. නමුත් ශ්‍රී ලංකාව විසින් රට තුළ බලවත් විරෝධතාවයක්‌ ඇති පසුබිමක පවා එට්‌කා ගිවිසුම සඳහා කිසිදු ආකාරයක ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කර නොමැත. මේ ගිවිසුම මඟින් වාසි අත්වන ක්‌ෂේත්‍රයන් හා මේ මඟින් තර්ජනයට ලක්‌වන ක්‌ෂේත්‍රයන් හඳුනාගෙන නොමැත.

ඉන්දියාව සමඟ මෙවැනි ගිවිසුමක්‌ ශක්‍යතා අධ්‍යයනයක්‌ මඟින් සාධාරණීකරණය කර පෙන්වීම පහසු ක්‍රියාවක්‌ නොවේ. මෙම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින ආර්ථික විශේෂඥයන් යෑයි කියනා අතළොස්‌ස විසින් වසර 15 ක්‌ පමණ පුරාවට ඒ සඳහා කිසිදු හරයාත්මක පැහැදිලි කිරීමක්‌ ඉදිරිපත් කර නැත. ඔවුන් තුළ ඇති විශේෂඥතාවයක්‌ නොමැති බව අපි ‘එට්‌කා නෑයෙක්‌ද? ආක්‍රමණිකයෙක්‌ද?’ යන කෘතිය තුළ පෙන්වා දී ඇත්තෙමු. ඔවුන් විසින් ඉෂ්ට කරමින් සිටින්නේ දෙරටේ ඉහළ දේශපාලන නායකත්වය විසින් ගත් දේශපාලන තීන්දුව සාධාරණීකරණය කිරීමට යම් යම් දේ අසංගතව පවසා මේවා ගැන සිත යොමු කිරීමට වේලාවක්‌ නැති ජනතාව රැවටීම පමණි. ඒ සඳහා විශාල වශයෙන් බොරු ප්‍රචාරය කිරීමටද ඔවුන් පසුබට නොවේ.

මෝඩ්-4 ඇතුළත් කර ඇත

එවැනි එක්‌ බොරුවක්‌ කේ. ඡේ. වීරසිංහ මහතාගේ ඉහත කී සාකච්ඡාවේදී හෙළි වී ඇත. ආචාර්ය හර්ෂ ද සිල්වා වරක්‌ දිවුර දිවුරා පැවසූයේ සේවා සපයන 4 වන ආකාරය වන පුද්ගල සංචරණය මෙම ගිවිසුම සඳහා අන්තර්ගත නොවන බවයි. නමුත් වීරසිංහ මහතා පැහැදිලි කර ඇත්තේ සමාගම්වල සේවකයන් සහ සේවක අමුත්තන්, අන්තර් සහයෝගී හුවමාරුකරුවන් සහ ව්‍යාපාරික අමුත්තන් ලෙස නිදහස්‌ පුද්ගල සංචරණය ක්‍රියාත්මක වන බවයි. 4 වන ආකාරය යටතේ වෘත්තිකයන් පැමිණෙන විධික්‍රම අතරෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම එකඟ වී නැත්තේ නිදහස්‌ වෘත්තිකයන් යන කාණ්‌ඩය සඳහා පමණි. 4වන ආකාරය පියවරෙන් පියවර ක්‍රියාත්මක වන බව ඉන්දියානු වෙළඳ ඇමතිනියගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී ඇය පැවසීය. මීළඟ පියවර ලෙස ඉතිරි වී ඇත්තේ නිදහස්‌ වෘත්තිකයන් මේ ගිවිසුමට ඇතුළත් කිරීම පමණි. එය ගිවිසුම ආරම්භ කරන විටම නැතත් ටික කලක්‌ යන විට එයද ඇතුළත් වන බව අපට පෙනී යා යුතුය.

එට්‌කා ගිවිසුම අත්සන් කිරීමේ දේශපාලන තීන්දුවේ හොඳ නරක අපි ඉදිරියට සාකච්ඡා කරමු. එවිට එය දෙරටේම දේශපාලන නායකයන් විසින් ගත් තීන්දුවක්‌ද නැතිනම් ප්‍රබල රටේ දේශපාලන නායකත්වය විසින් ගත් තීරණයකට අනෙක්‌ රටේ දේශපාලන නායකත්වය අවනත වීමක්‌ද යන්න තේරුම් කර ගැනීම එතරම් අපහසු කටයුත්තක්‌ නොවනු ඇත.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435