අද රටේ ශ්‍රම බලකායට හෙට මොකද වෙන්නේ?

රටේ ශ්‍රම බලකාය නියෝජනය කරනු ලබන රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව දල වශයෙන් 1,375,499 ක් ලෙස ගණනය කර තිබේ. මීට අමතරව පුද්ගලික අංශයේ, ව්‍යවස්ථාපිත ආයතනවල ද විශාල පිරිසක් සේවය කරන බව රහසක් නොවේ. තරුණ උපාධිධාරීන් පවා බොහෝ දෙනෙකු රාජ්‍ය සේවයේ රැකියා සඳහා වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. ඊට හේතු සාධක බොහෝ තිබිය හැකි වුවද, පුද්ගලික අංශයට සාපේක්ෂව වැටුප අඩු මට්ටමක පැවතුණද, බොහෝ දෙනෙකු රාජ්‍ය සේවයට වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ ජීවිතයේ සැදෑ සමයේදී ලැබීමට නියමිත විශ්‍රාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන නිසාය.

එහෙත් මෙහිදී අප විසින් අවධාරණයට ගත යුතු තවත් පැතිකඩක් තිබේ. එය නම් රටක වැඩිහිටි ජනගහණය වැඩිවී, ඔවුන්ගෙන් රටේ ශ්‍රම බලකායට දායකත්වයක් නොලැබෙන සමාජ පසුබිමක ඔවුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල මුදලක් වෙන්කිරීමට සිදුවීමයි. ඉදිරියේදී මෙම ගැටළුව දැවැන්ත අර්බුදයක් බවට පත්වීමට නියමිතව තිබියදී, ඒ පිළිබඳ ඉඟි පහලවී තිබෙන බැව් අපට පිළිගන්නට සිදුවන්නේ මෑතකදී ප්‍රකාශයට පත්වූ නවතම සංඛ්‍යාලේඛන කෙරෙහි අවධානය යොමුකරන විටය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙටර විශ්‍රාම වැටුප් ලබන ජනගහනය හය ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ. 2017 වසර අවසාන සංඛ්‍යාලේඛනවලට අනුව එම ප්‍රමාණය 600,867 ක් වන අතර 2018 ඔක්තෝබර් මාසය අවසානයේ දී එය 614,288 ක් දක්වා වර්ධනය වී ඇති බව කිව හැකිය.

2017 වසර තුළ දී විශ්‍රාමික ජනතාව වෙනුවෙන් ගෙවා ඇති විශ්‍රාම වැටුප් හි සමස්ත වටිනාකම රුපියල් බිලියන 181 ක් වන අතර 2018 ඔක්තෝබර් මාසය තුළ දී විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 15 කි.

සමස්ත විශ්‍රාම වැටුප් ලබන ජනතාවගෙන් 21.9% ක් රු. 30,000 ට වැඩි වැටුපක් ලබන බවත්, 41.1% ක් රු. 20,000 ත් රු. 30,000 ත් අතර වැටුපක් ලබන බව සහ 37.1% ක් ලබන වැටුප රු. 20,000 ට වඩා අඩු බවත් මෙම නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වේ.

අද දවසේ රටේ ශ්‍රම බලකායට දායක වන පිරිස් හෙට දවසේ වයෝවෘද්ධව අසරණවන විට ඔවුන් රැකබලා ගැනීමේ යුතුකමක් හා වගකීමක් රජයට පැවරෙන බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් විදේශීය ණය මත යැපෙන අප වැනි ඉතා දිළිදු ආර්ථිකයක් පවත්නා රටකට එමගින් ඇති කෙරෙන අභියෝගය සුළුපටු නොවන බවද සැබෑවකි.

-පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435