අධ්‍යාපනය සඳහා මුදල් ලබා නොදීමෙන් පාසල් දරුවන් දැඩි පීඩාවක

රජය විසින් මුදල් ලබනොදීමෙන් ජාතික තරුණ සේවා සභාව, ක්‍රීඩා විද්‍යායතනය, නිවාස සැලසුම් හා ඉදිකිරීම් මධ්‍යස්ථානය ආදී ආයතන වෙත සිසුන්ගේ පුහුණුව වෙනුවෙන් මුදල් ගෙවා නොමැති බවත්, එම තත්ත්වය තුල පාසල් දරුවන් දැඩි පීඩාවකට ලක්වී ඇති බව ලංකා ගුරු සංගමය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

13 න් වසරක අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල්වල දරුවන් වෘත්තීය පුහුණු ආයතන වෙත යොමු කර ඔවුන් විසින් තෝරා ගන්නා විෂයයන්ට අදාළ ආයතනගත වෘත්තීය පුහුණුව ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ වෘත්තීය පුහුණු ආයතන වෙත මුදල් නොගෙවීම මත එම ආයතනවල පුහුණුව ලබන සිසුන්ට නේවාසික පුහුණුවට අදාළව මුදල් ගෙවීමට සිදුව ඇත. එසේම එම සිසුන්ට ලබාදෙන රු.500/- දෛනික දීමනාව ද ලබා නොදී පවතින තත්ත්වයක් යටතේ සිසුන් දැඩි පීඩාවකට ලක්ව ඇත.

2020.09.29 දින ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ලංකා ගුරු සංගමය විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමසන ලද අතර එහිදී අමාත්‍යාංශ නිලධාරීන් ප‍්‍රකාශ කරන ලද්දේ මුදල් නොමැති කමින් ජාතික තරුණ සේවා සභාව, ක්‍රීඩා විද්‍යායතනය, නිවාස සැලසුම් හා ඉදිකිරීම් මධ්‍යස්ථානය ආදී ආයතන වෙත සිසුන්ගේ පුහුණුව වෙනුවෙන් මුදල් ගෙවා නොමැති බවයි. මෙම ආයතන වෙත මිලියන 57 ක පමණ මුදල් ගෙවීමට ඇති බව ද, මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 1000 ක පමණ මුදල් අවශ්‍ය බව ද එහිදී සඳහන් වූ අතර, අදාළ මුදල් අමාත්‍යාංශය වෙත නොලැබීම මත මෙම තත්ත්වය උද්ගතව ඇති බව ද වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සාමාන්‍ය පෙළ විභාගනේ පසු පාසල් හැර යන සිසුන් වෘත්තීය විෂය ධාරාවක් වෙත යොමු කිරීමේ 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය ක‍්‍රමානුකුළව අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, පසුගිය වසර දක්වා එය නියමිත පරිදි ක්‍රියාත්ම විය. මේ අකාරයෙන් අත්‍යවශ්‍ය අධ්‍යාපන කටයුත්තක් සඳහා මුදල් ලබා නොදීමෙන් රජය උත්සාහ කරන්නේ මෙම 13 න් වසරක අධ්‍යාපන වැඩසටහන අතරමඟ නවතා දැමීමට  ද යන්න බරපතල සැකයට තුඩුදෙන කටයුත්තකි. 13 න් වසරක අධ්‍යාපන වැඩසටහන තවදුරටත් පුළුල් කළ යුතු වැඩසටහනක් වන අතර, එය විවිධ බාධක ඇති කර අතර මැද කඩාකප්පල් වීමට ඉඩ හැරීම බරපතල අපරාධයක් බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා ලංකා ගුරු සංගමය අතර අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති ඉහත සාකච්ඡාවේදී ගුරු-විදුහල්පති සේවාවන්ට අදාළ ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. ගුරු සේවයේ උසස්වීම් සඳහා වන මොඩියුල සම්පූර්ණ කර අවසන් කිරීමට නොහැකි වී ඇති තත්වය යටතේ ගුරු සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන 2021 දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට අදාළ කටයුතු කිරීමට එහිදී එකඟ විය. එසේම ගුරු සේවයේ පවතින වෘත්තීය ගැටලූ විසඳීමට අදාළව ගුරු සේවා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කිරීමටත් එකඟ විය.

කෝවිඩ් – 19 වසංගත තත්වය තුළ නැවත පාසල් ආරම්භ කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ උපදෙස්වලට පටහැනිව පාසල්වලට ගුරුවරු ගෙන්වීම හා අත්සන් ලේඛනය භාවිතා කිරීම මත ජුලි 6 සිට 10 දක්වා සහ ජුලි 27 සිට 31 දක්වා කාලය තුළ ගුරුවරුන්ගේ පැමිණීම සටහන් කිරීම සම්බන්ධයෙන් පාසල් පද්ධතිය තුළ මතු වී ඇති ගැටලූවට පිළියම් ලෙස එම කාලය පාසල් නිවාඩු කාලය ලෙස සලකා කටයුතු කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කරන ලදී.

ජාතික පාසල් 178 ක පවතින විදුහල්පති පුරප්පාඩු 178 ක් දෙසැම්බර් අවසන් වන විට විධිමත්ව සම්පූර්ණ කිරීමටද, ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පැමිණීමේදී වැටුප් අඩුවීමේ ගැටලූවට ස්ථිර විසඳුමක් ලබාදීමට ද, එතෙක් ඒ වෙනුවෙන් ලබාදුන් දීමනාව අඛණ්ඩව ලබාදීමට ද එකඟ විය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව පන්තියක ළමුන් සීමාව 35 සීමාව තුළ තබා නොගෙන 40 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් විවිධ ප‍්‍රකාශ නිකුත් වෙමින් තිබීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ප‍්‍රකාශ කර සිටියේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. ළමුන් 35 සීමාව ඉක්මවා ළමුන් ඇතුළත් කිරීමට කටයුතු කළහොත් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ලංකා ගුරු සංගමය මෙහිදී අවධාරණය කළ අතර, පන්තියක ළමුන් 35 සීමාව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435