අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග කි‍්‍රයාත්මක නොකිරීමෙන් පාසල් පද්ධතිය අනතුරේ

කෝවිඩ් 19 වසංගත තත්වය යළි පැතිරීමේ තත්වය තුළ පාසල් පද්ධතිය දැඩි අවධානමකට ලක්ව ඇත්තේ    අධ්‍යාපන ලේකම්වරයාගේ සහ අමාත්‍යාංශයේ වගකීමක් විය යුත්තේ අදාළ නියෝග කි‍්‍රයාත්මක කිරීම  විදුහල්පතිවරු සහ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා බව ලංකා ගුරු සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රාජාංගනය යාය 1 විදුහලේ දරුවෙකු මේ වන විට කෝවිඩ් 19 අසාධිත බවට තහවුරු වී ඇති අතර, එම පාසලේ ළමුන් 70 ක් පමණ නිරෝධායනයට යොමු කොට ඇත. එසේම ගාල්ල, ගෝනාපීනුවල සාරාලංකාර විදුහලේ ගුරුවරියක් ඇතුළු දරුවන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇත. මේ තත්වයට හේතුවූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කෝවිඞ් 19 අසාධිතයන් වාර්තාවීමත් එහි සේවය කළ අය දිවයින පුරා විවිධ ප‍්‍රදේශවල පිහිටි තම නිවෙස් වෙත පැමිණ තිබීමත්ය.

කෝවිඞ් 19 වසංගත තත්වය  පාලනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුව අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝග වූයේ දෙවන අදියරේදී 5, 11, 13 ශ්‍රේණි පමණක් ආරම්භ කළ යුතු බවත්, පාසල් තුළ අනවශ්‍ය ඒකරාශීවීම් වැලැක්වීම සඳහා ඉගැන්වීමට නියමිත කාලච්ජේදයට පැය බාගයකට පෙර ගුරුවරු පැමිණීමත්, අදාළ කටයුතු අවසන් වූ පසු පිටව යාමත්, පාසලේ පැමිණීමේ ලේඛනය වෙනුවට වෙනත් ලේඛනයක් භාවිතා කිරීමත් ඇතුළු නියෝග ගණනාවකි. මෙම නියෝග නොතකා හැර සමහර පළාත්, කලාප අධ්‍යාපන බලධාරීන් මෙන්ම විදුහල්පතිවරු ද අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් උද්ගත වී ඇති තත්වය තුළ සමස්ත පාසල් පද්ධතිය අනතුරුදායක තත්වයකට පත්ව ඇත.

කෝවිඩ් 19 ආසාධිත දරුවා වාර්තා වූ රාජාංගනය යාය 01 විදුහලේ විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව එම පාසලේ සියලූම ශ්‍රේණිවල දරුවන් පාසලට කැඳවා තිබූ අතර, අවශ්‍ය ගුරුවරු පමණක් කැඳවීමට නියෝග කර තිබියදී ගෝනාපීනුවල සාරාලංකාර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු අනවශ්‍ය ලෙස පාසලට කැඳවා තිබුණි. මේ නිසා එම පාසල්වල දරුවන් සහ ගුරුවරු බරපතල අනාරක්ෂිත තත්වයකට පත්කර ඇත. මේ ආකාරයටම ගම්පහ කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක විසින් අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග පසෙක දමා ගම්පහ කලාපයේ පාසල්වල සියලූම ගුරුවරු පාසල්වලට කැඳවීමට නියෝග කර තිබුණි.  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය අනුව පාසල් නොපැමිණි ගුරුවරියකට කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සේවය අතහැර යාමේ නියෝගයක් ද නිකුත් කර සෙසු ගුරුවරු බියගැන්වීමට කටයුතු කර තිබුණි. වැලිමඩ, හම්බන්තොට, හෝමාගම, ජයවර්ධනපුර, පිළියන්දල, මාතලේ, වත්තේගම, දෙනුවර, මහියංගනය, මහනුවර ඇතුළු අධ්‍යාපන කලාප ගණනාවකට අයත් පාසල්වල සියලූම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට කලාප අධ්‍යාපන බලධාරීන්, කොට්ඨාස අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කටයුතු කර තිබුණේ රෝග ව්‍යාප්තිය  පාලනය වෙනුවෙන් අධ්‍යාපන ලේකම්වරයා ලබාදී තිබූ ඉහත නියෝග තුට්ටුවකට මායිම් නොකරමිනි. මෙයින් පැහැදිලි වන්නේ පාසල් පද්ධතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනයෙන් ගිලිහී ඇති බවද ? මේ දිනවල මනාප පොරයේ යෙදෙන අමාත්‍ය මණ්ඩලයෙන් අප ඉල්ලා සිටින්නේ මෙම තත්වය පිළිබඳව ක්ෂණික අවධානය යොමු කරන ලෙසයි.

කෝවිඞ් 19 වසංගත තත්වය යළි පැතිරීමේ තත්වය තුළ පාසල් පද්ධතිය දැඩි අවධානමකට ලක්ව ඇත්තේ ඉහත ආකාරයට විදුහල්පතිවරු සහ නිලධාරීන් කටයුතු කිරීම නිසාය.  අධ්‍යාපන ලේකම්වරයාගේ සහ අමාත්‍යාංශයේ වගකීමක් විය යුත්තේ අදාළ නියෝග වහා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435