අනතුරු සඳහා වන්දි ලබා ගැනීම

හෝටල් සේවක අත්වැල 09
කාර්මික අනතුරකින් සේවකයින්ට සිදුවන හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අප රටේ ඇති නෛතික ප‍්‍රතිපාදන කවරේද?

රැකියාව කරන අතරතුර සිදුවන අනතුරු වලින් වන හානි සම්බන්ධයෙන් සේවකයින්ට වන්දි ලබා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන 1934 අංක 19 දරන කම්කරු වන්දි ආඥා පනතේ දැක්වේ. ඒ අනුව එකී වන්දි ප‍්‍රධානය කිරීමේ හා එයට අදාළ විභාග හා විමර්ශනය කිරීමේ අධිකාරිය සතු වන්නේ කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙතයි. මෙහිදී සිහි තබා ගත යුතු කරුණක් වනුයේ කම්කරු වන්දි කොමසාරිස් හා ඔහුගේ කාර්යාලය කම්කරු කොමසාරිස්වරයාගේ හා කම්කරු දෙපාර්තමේන්තුව අතර සෘජු සම්බන්ධයක් නොමැති වෙනම අනන්‍යතාවයකින් යුතු විශේෂ රජයේ ආයතනයක් බවයි.

කාර්මික අනතුරු සඳහා වන වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු වන්නේ කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙතය. මෙහිදී සිදුවූ අනතුරකින් සේවකයකුගේ අඩුවූ ඉපයීමේ ශක්ති ප‍්‍රමාණය හෝ ජීවිත හානියකදී ආසන්න මූල්‍ය හානිය සේවකයාගේ වැටුපට සාපේක්ෂව ගණනය කොට වන්දි ප‍්‍රමාණය තීරණය කිරීමට ඔහුට හැකිය.

කම්කරු වන්දි ආඥා පනත යටතේ වන්දි සඳහා හිමිකම් ලැබීමට තෘප්ත කළ යුතු කාරණා කවරේද?

ඉහත පනත ප‍්‍රකාර, වන්දි සඳහා හිමිකම් ලැබීමට ඉල්ලීමක් කරන, අනතුරකට පත් සේවකයෙකු පහත කරුණු තෘප්ත කළ යුතුය.

  • පෞද්ගලික අනතුරක් නම් එය කායික හෝ මානසික අනතුරක් ලෙස සිදුවී තිබිය යුතුය.
  • එකී අනතුර කම්කරු වන්දි ආඥා පනතේ සේවකයා ලෙස අර්ථ දක්වා ඇති නිර්වචනය ප‍්‍රකාරව ”සේවකයකු” හට සිදුවී තිබිය යුතුය. එනම් සේවායෝජකයෙකු සමග සේවා ගිවිසුමක් යටතේ සේවය කරන්නකු විය යුතුය. කෙසේ නමුත් ත‍්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සේවය කරන අයවලූන්ට මෙයට ඇතුළු නොවේ.
  • අනපේක්ෂිතව හෝ අහඹු ලෙස බලාපොරොත්තුවකින් තොර සිදුවූ අනතුරකින් වූවක් විය යුතුය.
  • අනතුර තමන්ගේ රාජකාරිය තුළින් මතුවන එකක් විය යුතුය.
වන්දි ගෙවීමට සේවායෝජකයා වෙත ඇති වගකිම කොතෙක් දුරට පැතිරේද? එහි සීමාවන් මොනවාද?

තම සේවා නියුක්තිය තුළින් මතුවන සහ එහි රාජකාරි මායිම් තුළ යම් සේවකයෙකුට සිදුවන පෞද්ගලික අනතුරකට හෝ වැළඳිය හැකි වෘත්තිය රෝග සඳහා වන්දි ගෙවීමටත් ඉහතින් දක්වා ඇති සීමාකිරීම් වලටත් සෑම සේවායෝජකයෙකුම බැඳී සිටියි.

යම් සේවකයෙකු හට වැළෙඳන යම් වෘත්තිය රෝගයක් වූ කලී එය සාධාරණ ලෙස ඔහුගේ සේවා නියුක්තිය හේතු කොටගෙන සිදුවූ අනතුරකින් ඇතිවූ හානියක් විය යුතුය.

යම් සේවකයෙකු දින 3 ක කාලයකට සේවයේ නිරතවීම වැළැක්වෙන සුළු අනතුරු සම්බන්ධයෙන් එය සිදුව ඇත්තේ සේවකයා විසින් සෘජුව වගකිව යුතු පහත දක්වා ඇති ක‍්‍රියාවන් හේතුකොට ගෙන නම්, ඔහු හට වන්දි ගෙවීමට සේවායෝජකයා හට බැඳීමක් නැත. එනම් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කොට එහි බලපෑම හේතුවෙන්, සේවකයින්ගේ ආකර්ෂාව තහවුරු කරනුවස් ප‍්‍රකාශිතව දෙන ලද නියෝගයක් හෝ ප‍්‍රකාශිතව සකස් කරන ලද රීතියක් යම් සේවකයෙකු විසින්  ඕනෑකමින්ම පිළිනොපැදීමෙන් අනතුර සිදු වූ විට, සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනුවස් සපයා ඇති බව තමා දන්නා වූ යම් ආරක්ෂක පළඳනා හෝ උපකරණ භාවිතා කිරීම  ඕනෑකමින්ම ඉවත් කිරීමෙන් හෝ නොසළකා හැරීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් වන විට.

කෙසේ නමුත් සේවකයා මියගොස් ඇත්නම් ඉහත කරුණු නොසලකා යැපෙන්නන්ට වන්දි ගෙවිය යුතුය.

 වන්දි ලබා ගැනීමට අදාල ක‍්‍රියා පටිපාටිය කවරේද?

වන්දි අය කර ගැනීමට අදාල ක‍්‍රියාමාර්ගයන් කම්කරු වන්දි කොමසාරිස්වරයා ඉදිරියේ සිදු කළ යුතුය. කම්කරු වන්දි ආඥා පනතේ නියම කොට ඇති ආකෘතිය ප‍්‍රකාර අනතුර පිලිබඳ දැන්වීමක්, අනතුර සිදුවීමෙන් පසු ප‍්‍රායෝගික ලෙස හැකි ඉක්මන්ම අවස්ථාවකදී කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත කළ යුතුය. මෙහිදී එකී අනතුරට පත් සේවකයා සේවයේ නියුතුව සිටි සේවා ස්ථානයෙන් ස්වේච්ඡුාවෙන් ඉවත් වීමට ප‍්‍රථම දැන්විය යුතුය. වන්දි සඳහා වන ඉල්ලූම් කිරීමක් සැම විටම එකී අනතුරු සිදු වී වසර 2 ක් ඇතුළත සිදු කළ යුතු අතර මරණයක් සිදුවී ඇති විට එකී මරණය සිදු වූ දින සිට එක් වර්ෂ්‍යක් ඇතුළත එකී ඉල්ලීම් කළ යුතු වේ.

ඉහත කී කාල රාමුව ඉක්මවා ගිය පසු කරන ඉල්ලීමක් සම්බන්ධයෙන් වන විටදී එකී ඉල්ලීම නියමිත කාලය තුළ සිදු කිරීමට නොහැකි වූයේ ප‍්‍රමාණවත් හේතු මත බව වන්දි කොමසාරිස්වරයා සෑහීමට පත් වන්නේ නම් පමණක් ඉහත කී කාලසීමාවන් නොසලකා එකී ඉල්ලීම් පිළිගෙන වන්දිය පිළිබඳව තීරණයක් දිය හැක. කෙසේ නමුත් මෙම ප‍්‍රතිකර්මය කලාතුරකින් විශේෂ හේතූන් මත පමණක් අනුගමනය කරන ක‍්‍රියා පටිපාටියක් හෙයින් අනතුර සිදුවී හැකි ඉක්මනින් දැන්වීම සිදු කිරීම වඩා යෝග්‍ය වේ.

මීළඟ කොටස : සේවක අර්ථසාධක අරමුදල

මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ ජුලි 22 වන බදාදා පල කෙරේ.

වැඩබිම

මේ හා සබැඳි වෙනත් ලිපි :
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435