අඳුරේ වැළදගෙන එළියේදී ගැරහෙන අපේ කාලේ ගැහැනිය

තමා නියැලෙන සේවාව හා කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ ලියැවෙන පොත පත අප බොහෝ දෙනාට හුරු පුරුදු දෙයකි. ඒවා තුළ ලියැවෙන උදාරම් බව මෙන් ම ඇතැම් පුරසාරම් ද පාඨකයන්ට එතරම් හුරු පුරුදු ය .

එහෙත් නාලනී ජමිලා නම් වන පුරගනක් එනම් වෛශ්‍යාවක් ලෙස ඔබ අප හඳුන්වන ගැහැනියක් සිය වෘත්තීය ජීවිතය හා ඊට පෙළඹීම පිළිබඳව වූ ස්ව යං කතිකාවක් ඇති කර ඇත්තේ නම් ඒ එය සමාජයේ කථාබහට ලක්වන්නක් වෙයි.

ගණිකා වෘත්තියේ නියැලෙන නාලනී ජමිලා එහි නිරත සියලුම කාන්තාවන්ගෙ අයිතිවාසිකම් හා ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුහු නිකම්ම නිකං ලිංගික භාණ්ඩ නො වන බවත් ඔවුන් ද ගෞරවනීය වෘත්තියක නියැලෙන්නන් මෙන් ම ලිංගික සේවා සපයන්නන් බව ද හඬක් නගා, එය සමාජය තුළ තහවුරු කිරීමට දැඩි ප්‍රයත්නයක් ගත් ඇගේ ජීවිතය පිළිබඳ කතාවයි මෙය.

වීදිලිය, ගණිකාව, වෛශාව මෙන්ම වෙනත් ග්‍රාම්ය නාමයන් වලින් හඳුන්වන ගැහැණිය වෙනුවට ලිංගික සේවා සපයන්නියන් යන ගෞරවාන්විත නාමය එම සේවා සපයන්නන් වෙනුවෙන් ලබා දීමට මහත් සටනක් කළ දිරිය ගැහැනියකගේ ද කතාවයි මේ.

සිය යෞවන වියේ දීම අනන්ත කටුක අත්දැකීම් හා අඩන්තේට්ටම් නිසාත් සිය සැමියා මිය යෑමෙන් පසු ව නැන්දම්මාගෙන් සිදු වන හිරිහැර නිසාත් සිය දරුවන් රැක ගැනීම සඳහාත් මහ මගට බසින ජමිලා ගණිකාවක් ලෙස රැකියාව අරඹා එහිදි ඈ විදි අනේක දුක් ගැහැට පිළිබඳව වූ කතාව ලෙසයි මේ ස්වයං ලිඛිත චරිතාපදානය සමාජය වෙත ඇය ගෙන එන්නේ.

ලිංගික සේවා සපයන බොහෝ කාන්තාවන්ට නැති ආත්ම ශක්තියක් උදාරම් බවක් මෙම සටන්කාමී නායකත්ව ගති ලක්ෂණ නිසා ජමිලා අනිත් ලිංගික සේවා සපයන්නියන්ගෙන් වෙනස් වූ අතර තමන් කරන්නේද සේවාවක් බවත් එම සේවාවට නිසි වටිනාකමක් හා අගයක් සමාජය තුළින් හිමි විය යුතු බවත් අදහමින් ඒ වෙනුවෙන් හඬක් නඟමින් ක්‍රියාකාරීව ඉදිරියට ආ දිරිය ගැහැනිය ඇයයි,. ඇය, ඒ නිසාම අද වන විට ඉන්දියානු සමාජයේ සිටින ප්‍රබල සමාජ ක්‍රියාකාරිණියක් බවට පත් ව සිටී .

සමාජයේ බොහෝ දෙනා රහසේ ආදරය කරන රහසේ වැළඳගන්නා රහසේ කතාබහ කරන ගණිකාව හා එම වෘත්තිය ඔවුන් විසින් ම ප්‍රසිද්ධියේ සිදු කරනු ලබන ගර්හාවට එරෙහිව ජමිලා ප්‍රබල හඬක් සමාජය තුළ නගයි.

ගණිකාවන්ගේ පහස ලබා එන පුද්ගලයන් අනාවරණය කිරීමක් නොව සමාජයේ මතවාදී ලෙස එම වෘත්තියට ගරුත්වයක් ලැබීම අනිවාර්යයෙන් සිදු විය යුතු බවයි ජමීලා ගේ අදහස.

සමාජය තුළ විවිධ මට්ටමේ ලිංගික සේවා සපයන්නියන් සිටින අතර ඔවුන් අතරින් ද බොහෝ අසාධාරණයට ලක් වන්නේ වීදි සරන අඩු පහසුකම් සහිත ව එම වෘත්තියේ නියැලින්නියන් වන අතර ඔවුන්ගේ අයිතිවාසිකම් මුළුමනින්ම අහෝසි වී ඇති අතර නීතිය ඉදිරියේ දී ද බොහෝ විට වැරදිකාරියන් වන ගැහැනිය ගේ ආරක්ෂාව ගැනයි ජමිලා ගේ වැදගත් මැදිහත්වීම සිදු වන්නේ.

අප්‍රසිද්ධියේම පැමිණ ඔහුන්ගේ පහස ලබා ගන්නා අය ප්‍රසිද්ධියේ ම ඔවුන්ව ගර්හාවට ලක් කරන ඔවුන් ට නීතිමය බාධා පමුණුවන සමාජයක් තුළ උන්ගේ හඬ යටපත් නො වීමට නාලනී ජමීලා ලා ගන්නා වූ අගනා ප්‍රයත්නයේ එක්තරා වාර්තාවක් ලෙස ද ඇගේ මෙම චරිතාපදානය සැලකිය හැක.

යමෙකු ගණිකා වෘත්තියට වැටීම පිළිබඳව ඇගේ පිටුපස ඇත්තේ කටුක සමාජ, දේශපාලන, ආර්ථික සිද්ධි සමුදායකි. එය වල් කම නිසා ඇති වූවක් නොවන අතර පැහැදිලිව ම සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලියේ දුර්දාන්ත ක්‍රියාකාරකම් නිසා ම හට ගන්නා දෙයකි. ඒ හෙයින් සම සමාජයේ සියලු දෙනාම සෘජුව හෝ වක්‍රව මෙම වෘත්තියේ නියැලෙන්නන් පිළිබඳව වගකීම ගත යුතු බවට ද මෙම කෘතිය අවධාරණය කරයි.

ආසියානු රටක සාම්ප්‍රදායික කුල සිරිත් සමාජ හා ආගමික සිරිත් විරිත් වලින් දමනය කර ඇති සමාජයක මෙන්න ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ වූ සංවෘත කතාබහාක් ඇති සමාජයක් තුළ මෙවන් කතා බහක් කරන කාන්තාවක් මුහුණ දෙන්නේ දෙන්නේ සැබෑම වූ අභියෝගයකට ය. එහෙත් එම අභියෝගයට නොබිය ව මුහුණ දෙන නාලනී සිය වෘත්තියේ නියැලෙන තමා වෘත්තීය ගැහැනුන් හා ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හැටි හරිම අපූර්ව ජනකය.

ප්‍රසිද්ධියේ පිළිකුල් කර අප්‍රසිද්ධියේ විත් ආදරෙන් වැළඳ ගන්නා මෙම ගැහැනුන් පිළිබඳ ව සමාජය තුළ පුළුල් කතා බහක් ඇති කර ඔහුන් ද විශිෂ්ට සේවාවක් සපයන්නියන් ලෙස සමාජය තුළ ගරු කටයුතු පුරවැසියන් බවට පත් කිරීමට හැකියාවක් නැද්දැ යි ප්‍රශ්න කරන මෙම පොත සැබැවින් ම සමාජ සංශෝධනයකට දියුණු මග පෙන්වීමක් සිදු කරනු ලබයි.

සමාජය තුළ නොයෙක් ආකාරයෙන් ගර්හාවට ලක්වන මෙම ගැහැණිය ඔබට තේරුම් ගත හැකි ද? ඇගේ ඒ ඔබ පෙනෙන්න රූපයට යටින් ඇති හදවතේ දුක ඔබට හදුනා ගත හැකිද?

නාලනී ජමිලා අපට ආරාධනා කරන්නේ එම ප්‍රශ්න වලට පිළිතුරු සොයනිනටය. ඒ සඳහා සමාජය තුළ කතා බහක් ඇති කෙරුමට ය.

ඇගේ මෙම උත්සාහය ට අඳුරේ පෙම් කරන දනා එළියේ දී රවා මග හැර නොයමින් සාහය දැක්විය යුතු නොවේ ද ?

එවිට ඇය ගේ ලැම පමණක් නොව ඇගේ ළය ද ඔබට දැකිය හැකිවනු ඇත.

චූලානන්ද සමරනායකයන් අතින් පරිවර්තිත ව සුබාවි ප්‍රකාශනයක් ලෙසින් එළි දක්වා ඇති මෙම කෘතිය, ලාංකික ජන සමාජය තුළ ද වඩාත් කතා බහට ලක් විය යුතු කාලීන මාතෘකාවක එක් සාධනීය සාක්ෂි සපයන්නක් ලෙසයි මගේ හැඟීම .

ඇත්ත වශයෙන් ම ලිංගික සේවා සපයන්නියන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ ව වඩාත් පුළුල් සමාජ කතිකාවක් ලාංකීය සමාජය තුළ ඇතිවී තිබේ ද? ඇති නො විය යුතු ද ?යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතු අවස්ථාවක අප සිටින බව හැගේ. එවන් සාධනීය කතා බහාකට ඇති අවස්ථා කිහිපයක් අපට මග හැරී ගොස් ඇති අතර වර්තමානයේ ද එවැනි කතා බහකට යම් තාක් දුරකට හෝ ඉඩප්‍රස්ථා පවතී ද යන්න ද ගැටලුවක් ඉතිරි කර ඇති ඒ අතර ඒ කෙසේ වෙතත් මෙම සේවා සපයන්නියන්ගේ කාර්යය පිළිබඳ ව පුළුල් සමාජ කතිකාවක් නම් ඇති විය යුත්තේ මය.

ලලිත් රවින්ද්‍ර බෝපිටිය

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435