අපි තවම මුහුද හිඟා කනවා… නොවිසඳුණු සංක්‍රමණික ධීවරයන්ගේ කතාව

සෑම අවුරුද්දකම වාරකං කාලේට දකුණෙන් සංක්‍රමණය වී උතුරු, නැගෙනහිර මුහුදේ පන්නා කිරීම කාලයක සිට පැවත එන ධීවර ජනතාවගේ පුරුද්දකි. එහෙත් ඉතිහාසයේ මුල්ම වරට මෙවර දකුණෙන් සංක්‍රමණය වන ධීවරයන්ට උතුරු, නැගෙනහිර මුහුද තහනම් කලාපයක්‌ විය. පරම්පරා ගණනක සිට පැවත ආ උතුරු දකුණු ධීවරයන්ගේ හොඳ හිත පළුදු විය. සහෝදරත්වයේ බැමි කැඩිණි. ගමට එන දකුණේ ධීවරයන්ට විරුද්ධව නැගෙනහිර මිනිස්‌සු පාරට බැස්‌සහ. දකුණේ ධීවර බෝට්‌ටු ගිනිබත් කළහ. නැගෙනහිර ඇතැම් දේශපාලනඥයෝ ගින්නට පිදුරු දැමූහ. ගින්න තවමත් පත්තු වෙන්නේය. නොසිතු මොහොතක පාත් වූ හෙණ ගෙඩියෙන් සංක්‍රමණික ධීවරයෝ ආතක්‌ පාතක්‌ නැති මිනිසුන් ගානට වැටිණි.

සංක්‍රමණික ධීවරයන් කියන කතාව 

”මේ විදිහට අපිට මුහුද හිඟා කන්න ඕන නෑ. අපි ඇවිත් ඉන්නේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා එන ගමනක්‌. අපේ මිනිස්‌සු තමයි නැගෙනහිර මිනිස්‌සුන්ට ධීවර අත්පොත කියා දීලා තියෙන්නේ. මුලින්ම බිලී කටු හදාගෙන තියෙන්නේ හැට්‌ට කටු නවලා. දැන් ඔය කිහිපදෙනකුගේ ඕනෑකමට අපේ අයගෙන් රස්‌සාව ඉගෙනගත්ත අයම ‘කන්න දීපු අත හපා කන්න’ පටන් අරගෙන. මේක අද ඊයේ ඇති වුණු දෙයක්‌ නෙමෙයි. යුද්දේ ඉවර වෙච්ච අලුත ඉඳලම අපිට පුංචි පුංචි කෙණහිලිකම් තිබුණා. අපි එන්නේ රස්‌සාව කරන්න මිසක්‌ මුහුද අයිති කරගන්න නෙමෙයි කියලා හිතලා අපි ඕවා ගණන් ගත්තේ නෑ. පුරුදු පරිදි පහුගිය 04 වැනිදා පාන්දර අපි බෝට්‌ටු දහතුනක්‌ අරගෙන ඇවිත් කුඹුරුපිටියේ වැල්ලට බාන්න හදනකොටම ගමේ මිනිස්‌සු එකතු වෙලා ‘බෝට්‌ටු බාන්න එපා කියලා කෑගහුවා. පස්‌සේ කුච්චවේලි පොලිසිය මැදිහත් වෙලා අපේ බෝට්‌ටු දහතුනම නිලාවේලී පොලිසියට අරගෙන ගිහින් ආරක්‍ෂාව දුන්නා. ඊට පහුවැනිදා කුච්චවේලී ප්‍රාදේශීය ලේකම්වරයා අපිව සාකච්ඡාවකට කැඳව්වා. එතැනට ත්‍රිකුණාමලය දිසාපතිතුමා, දිස්‌ත්‍රික්‌ ධීවර සහකාර අධ්‍යක්‍ෂවරයා, පළාතේ ඉහළ පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකුත් රැස්‌වීමට සහභාගි වෙලා හිටියා. එතැනදී කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා කිව්වා සංක්‍රමණික බෝට්‌ටු දෙසීයකට විතරයි අනුමැතිය දෙන්න පුළුවන් කියලා. එහෙම තියෙද්දී ඊට ඉස්‌සලා ගෙනත් මංගලඑළියේ වැල්ලේ නතර කරලා තිබුණු මගේ බෝට්‌ටුවට ගමේ මිනිස්‌සු ගිනි තියලා තිබුණා. ඒ එක්‌කම ගම්වල මිනිස්‌සු අපිට විරුද්ධව උද්ඝෝෂණයකුත් කළා. ආයෙමත් කුච්චවේලි දිසාපති කාර්යාලයේ රැස්‌වීමක්‌ කැඳවලා තිබුණා. ඒකට අපිට අරාධනා කළේ නෑ. එතැනදී අනුමැතිය දීලා තිබුණු බෝට්‌ටු දෙසීය හතළිස්‌ අටකට අඩු කරලා තිබුණා. කුච්චවේලී බෝට්‌ටු තුනයි. සලෙතෙආරු බෝට්‌ටු දොළහයි. පුල්මුඩේට බෝට්‌ටු දහතුනයි, කුඹුරුපිටියේ බෝට්‌ටු දහනවයකට රස්‌සාව කරන්න අවසර දීලා තිබුණා. ගිය අවුරුද්දේ කුඹුරුපිටියේ තොටුපළේ විතරක්‌ බෝට්‌ටු අනූවක්‌ රස්‌සා කළා. කුච්චවේලී ඉඳලා පුල්මුඩේට වෙනකම් බෝට්‌ටු තුන්සීයක්‌ රස්‌සාව කළා…”

පසුගිය 05 වැනිදා රාත්‍රියේ නොසිතූ මොහොතක විරෝධතාකරුවන් ගිනි තබා තිබුණේ රෝෂාන්ගේ බෝට්‌ටුවටය. දරුවො තිදෙනකුගෙන් යුත් රෝෂාන්ගේ පවුල සහ තවත් පවුල් තුන හතරක්‌ ජීවත් කරවන බෝට්‌ටුවකි. රෝෂාන්ලාගේ මුල් පදිංචිය හලාවත කරප්පුකනෙයි ගමය. රෝෂාන්ට තවම වයස අවුරුදු තිස්‌ හතරකි. ගෙවී ගිය ජීවිතයෙන් වැඩි හරියක්‌ දිය වී ඇත්තේ මුහුදටය. රෝෂාන්ගේ තාත්තා, සීයා, මුත්තා කිරිකිත්තාගේ කාලයේ සිටම අවුරුද්දේ මේ කාලයේදී පන්නා කරන්න නැගෙනහිර මුහුදට සංක්‍රමණය වීම පුරුද්දකි. එසේ නැගෙනහිර පළාතට සංටක්‍රමණය වන වැඩි පිරිසක්‌ මීගමුව සිට හලාවත මුහුදු තීරයන්හි වෙසෙන සිංහල ධීවරයන්ය. පසුගිය කාලය පුරා නැගෙනහිර මුස්‌ලිම්, දෙමළ ධීවරයන්ට දකුණෙන් එන ධීවරයන්ගේ ජාතිය, ආගම ප්‍රශ්න නොවිණි. සියලු දෙනා එක හැළියේ බත් කාගෙන, දුරකතර ගෙවාගෙන මඟුලට, මළගමට සහභාගි වී සතුට කඳුළ බෙදාගත්හ. එල්.ටී.ටී.ඊ.ය නැගෙනහිර ගිනි පත්තු කරමින් අමු සොහොන් කරන කාලයේදීත් හලාවතින් නැගෙනහිරට සංක්‍රමණය වන ධීවරයන් මුහුදේ පන්න කළහ.

”අපේ ලොකු තාත්තාලා දෙන්නෙක්‌ව එල්.ටී.ටී.ඊකාරයො පණ පිටින් වළදාලා මරලා තිබුණා. එල්.ටී.ටී.ඊ. පටන් ගත්ත කාලේ හමුදාවටත් වඩා මැරුණේ උතුරු නැගෙනහිරට සංක්‍රමණය වෙන ධීවරයන්. ඒත් අපේ මිනිස්‌සු මේ රස්‌සාව නතර කළේ නෑ. එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වල ඉඳල මමත් අපේ තාත්තා එක්‌ක නැගෙනහිර මුහුදේ පන්නා කළා. මුලින්ම අපි මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ අලම්බල වැල්ලේ වාඩි ගැහුවා. එල්.ටී.ටී.ඊ.ය මුලින්ම ගැහුවේ අපේ ධීවර වාඩිවලට. එතැනදී අපේ කිහිප දෙනෙක්‌ම මැරුණා. පස්‌සේ අපි මන්නාරම වාඩි බැන්දා. එතැනටත් එල්.ටී.ටී.ඊ.ය ගැහුවා. අපේ පවුල්වල අයට විතරක්‌ මාදැල් බලපත්‍ර එකොළහක්‌ තියෙනවා. අදටත් අපට ඒ අයිතිය තියෙනවා. රටේ පුරවැසියකුට ධීවරයෙක්‌ විදිහට මුහුදට බහින්න එහෙම අයිතිවාසිකම් ඕන නෑ. ලෝක සාගර නීතියට, රටේ නීතියට යටත්ව ඕනෑම පුද්ගලයකුට ධීවර කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඒකට එක එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අවසර ගන්න ඕන නෑ…” වෙන්නප්පුව බහුදින යාත්‍රා ධීවරයන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ඔවුන්ගේ මුතුන්මිත්තන් දිවි හිමියෙන් ආරක්‍ෂා කරගෙන ආ තම උරුමයන් ගැන එසේ කතා කළේය.

”මම මුලින්ම රස්‌සාව කරන්න ආවේ මුලතිව් නයාරුවලට. එතකොට මට අවුරුදු දොළහක්‌ ඇති. ඒ කාලේ බෝට්‌ටුවේ ගියාම මාසෙටම පඩිය එකසිය පනහයි. එහෙම රස්‌සාව කරගෙන ගිහිල්ලා අපිටම කියලා බෝට්‌ටුවක්‌ ගත්තා. කොටි ඇවිත් මුලතිව් අපේ වාඩිවලට ගහපු වෙලාවේ ඒ බෝට්‌ටුවත් අරගෙන ගිහින් තිබුණා. පස්‌සේ අපි ගමට ආවා. මාස හයක්‌ රස්‌සාව කරලා ජීවත් වෙන්න බෑ. මැරි මැරී ජීවත් වෙනවට වඩා හොඳයි එක පාර මැරෙනවා කියලා හිතාගෙන ආයෙමත් අපි පුල්මුඩේට ගිහිල්ලා වාඩි ගහ ගත්තා. එතැනටත් කොටි ගැහුවා. පස්‌සේ අරිචිමාලේ වාඩි ගැහුවා. සලාතෙරු, නිලාවේලී රස්‌සාව කරන්න ගියා. ඒ හැම තැනකටම එල්.ටී.ටී.ඊ. ගැහුවා. පූරුවේ පිනකට මැරෙන්නෙ නැතිව බේරිලා ඉන්නවා. අන්තිමේ අපි කුච්චවේලි කුඹුරුපිටිය වැල්ලට බැස්‌සා. යුද්දේ කාලේ නාවික හමුදාව අපිට ආරක්‍ෂාව දුන්නා. එතකොට අපි කෑම්ප් එකෙන් පාස්‌ අරගෙන තමයි මුහුදට බහින්නේ. උදේ හයට විතර මුහුදට බැහැලා කළුවර වැටෙනකොට ගොඩට එනවා. ඒ විදිහට මෙතැන රස්‌සාව කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දහයක්‌ විතර වෙනවා. අපිටම කියලා පැල් කොටයක්‌ තනාගත්තා. දැන් ඒ පැල් කොටත් කඩා දාලා. අපි මේ විනෝද වෙන්න එන ගමනක්‌ නෙමෙයි. හලාවත මුහුදු තීරය සැඩ නිසා මේ කාලේට අපේ තොටුපළවලින් පුංචි බෝට්‌ටුවලට මුහුදට බහින්න අමාරුයි. ඒක නිසා තමයි නැගෙනහිර පැත්තට මිනිස්‌සු යන්නේ. අපි ජම්මෙන්ම ධීවරයෝ. මුහුද වාරකං කියලා අපිට බෑ රස්‌සාව නොකර ඉන්න. එහෙම හිටියොත් අපේ කටට පස්‌ වැටෙයි. අපිට වෙන රස්‌සාවක්‌ කරන්නත් බෑ. ඒක නිසා තමයි අතීතයේ ඉඳල අපේ මිනිස්‌සු වාරකංවලට නැගෙනහිරට සංක්‍රමණය වෙන්නේ. ඒත් නැගෙනහිර මිනිස්‌සුන්ගේ ප්‍රධාන වෘත්තිය ධීවර රස්‌සාව නෙමෙයි ගොවිතැන. ඒ මිනිස්‌සු ධීවර රස්‌සාවට බැහැලා වැඩි කාලයක්‌ නෑ. අදටත් ඒ අය වාරකංවලට ගොවිතැන් කරනවා. මෙච්චර කාලෙකට ගමේ කිසිම කෙනෙක්‌ අපිට ප්‍රශ්න දාන්න ආවේ නෑ. මේ අවුරුද්දෙදී තමයි ඒ අයට අපිව ප්‍රශ්නයක්‌ වුණේ…” ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක්‌ මුහුද එක්‌ක හරඹ කළ රෝයිට තවමත් දිනුමක්‌ නැත. ඒ ජීවිතවලට කඳුළු මිස සතුට ආගන්තුකය. එහෙත් ඔවුන්ගේ ජන්මේ පුරුද්දක්‌ ලෙස රෝයි පුතුන් දෙදෙනාව ද තම වෘත්තියට යොමු කරගෙන ඇත. අදටත් රෝයි සමග ධීවර රස්‌සාවේ යෙදෙන්නට පුතුන් දෙදෙනාද නැගෙනහිරට සංක්‍රමණය වී සිටිති.

මාළු ව්‍යාපාරිකයකු කියන කතාව

මෙතෙක්‌ කතා කළේ සංක්‍රමණික ධීවරයන් පමණි. දැන් අපේ කතාවට සංක්‍රමණික ධීවරයන්ගෙන් බැහැරව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකු එකතු වූයේය. හේ විල්සන්ය. වසර ගණනක්‌ තිස්‌සේ සිට ධීවරයන් සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙකි. මේ ඔහු අපට කියන කතාවය.

”ඉන්දියන් ධීවරයන් වගේ සංක්‍රමණික ධීවරයෝ බත් හැළියට පැනලා හූරාගෙන කන්නේ නෑ. මේ මිනිස්‌සු පන්නා කරන්නේ මුහුදට අවැඩක්‌ වෙන්නෙ නෙමෙයි. ඒ වගේම සංක්‍රමණික ධීවරයන් කොටු කරගන්නේ ඈත දියඹෙන් මේ කාලේට නැගෙනහිර මුහුදට සංක්‍රමණය වෙන මාළු. ඒ මාළු කොටු කරගන්න දක්‍ෂ සංක්‍රමණික ධීවරයෝ. එහෙම එන මාළු කාලය ඉවර වුණාට පස්‌සේ නැවත දියඹට යනවා. ඒ නිසා සංක්‍රමණික ධීවරයන්ගෙන් නැගෙනහිර ධීවරයන්ට කිසිම හානියක්‌ වෙන්නේ නෑ. නැගෙනහිර ධීවරයෝ අලුත් දෙයක්‌ ඉගෙන ගන්නෙත් දකුණෙන් සංක්‍රමණය වෙන ධීවරයන්ගෙන්. මම මාළු ගන්නෙත් සංක්‍රමණික ධීවරයන්ගෙන්. සංක්‍රමණික ධීවරයන් ඒ අයට අවශ්‍ය බඩු මුට්‌ටු ගන්නෙ ගමේ කඩවලින්. ඒ අය හම්බ කරන මුදලින් භාගයක්‌වත් ගමට ගෙනියන්නේ නෑ. මෙහෙටම වියදම් කරනවා. ඒ නිසා මේ ගම්වල ධීවරයෝ සංක්‍රමණික ධීවරයන්ව ප්‍රතික්‌ෂේප කරන්නේ නෑ. ගම්වල මිනිස්‌සුන්ව අවුස්‌සලා, මෙතැන ප්‍රශ්න ඇති කරන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රාදේශීය දේශපාලනඥයෝ කිහිපදෙනෙකුයි, අන්තවාදී මුස්‌ලිම් දේශපාලනඥයෝ කිහිප දෙනෙකුයි. මේ අයට පහුගිය ආණ්‌ඩුව කාලේ මේ දේවල් කරන්න ඉඩක්‌ ලැබුණේ නෑ ආරක්‍ෂක අංශවලට බයේ වකුටු ගැහිලා හිටියා. මේ ආණ්‌ඩුව බලයට පත් වුණා විතරයි අඩුබඬු දිග හැරලා සිංහල මිනිස්‌සුන්ට හිරිහැර කරන්න පටන් අරගෙන. සංක්‍රමණික ධීවරයන්ට විතරක්‌ නෙමෙයි දැන් මුල් පදිංචි සිංහල මිනිස්‌සුන්ටත් හිරිහැර තියෙනවා…’

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කියන කතාව

උද්ඝෝෂණ, හර්තාල්වලින් හිස එසවූ කොටි ත්‍රස්‌තවාදය මුළු මහත් ලෝකයටම වින කටින කෘර ත්‍රස්‌තවාදයක්‌ වූ බව සැබෑය. දැන් කොටි නැත. එහෙත් කොටි සෙවණැලි තවමත් හොල්මන් කරති. මේ සිංහල සංක්‍රමණික ධීවරයන්ට එරෙහිව ක්‍රියාත්මක විරෝධතාවද එකී සෙවණැලි සක්‍රීයවීමක්‌ද යන්න අපි කුච්චවේලී ප්‍රාදේශීය සභා මන්ත්‍රී සලාව්දීන් මහතාගෙන් විමසා බැලුවෙමු. මේ ඒ මහතා කියන කතාවය.

ප්‍රා.සභා මන්ත්‍රී කියන කතාව

දකුණේ ධීවරයන් මෙහෙට එන්න පටන් අරගෙන අවුරුදු පනහකට වැඩියි. යුද්දේ කාලෙත් මේ මිනිස්‌සු මෙහෙට ඇවිත් රස්‌සාව කළා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සෙ තමයි මේ ප්‍රශ්නය මතු වුණේ. රටේ මිනිස්‌සුන්ට මුහුදේ ඕන තැනක රස්‌සාව කරන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රාදේශීය සභාවේ කතා කරලා කිව්වා මේ මිනිස්‌සුන්ට මෙහෙම සලකන්න එපා කියලා ඒත් අපි කියන කතා අහන්නේ නෑ. නැගෙනහිර මිනිස්‌සුන්ට වාරකං කාලෙට කුඹුරු කරන්න පුළුවන්. හම්බන්තොට පැත්තට බෙල්ලො හාරන්න යනවා. එහෙම යනකොට හම්බන්තොට සිංහල මිනිස්‌සු ‘බොලා එන්න එපා’ කියලා පන්නන්නේ නෑනේ. දකුණේ ධීවරයන්ට වාරකං කාලේට කරන්න වෙනත් රස්‌සාවක්‌ නෑ. ඒ නිසා මේ මිනිස්‌සු ගැන මනුස්‌සකමින් බලන්න ඕනා…’

පෙළගැසෙන කතාව අනුව මේ වාර්ගික හැඟීම් සහිත උද්ඝෝෂණ පසුපස සිටින්නේ එල්.ටී.ටී.ඊ. මතධාරීන් වන ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ අන්තවාදී මුසල්මානුවෝ පිරිසකි. මේ පිරිස මේ මොහොත වන විට නැගෙනහිර හැසිරෙන්නේ රටේ නීතියටත් ඉදිරියෙනි. අප තේරුම් ගත යුත්තේ මේ සංක්‍රමණික ධීවරයන්ට එල්ල වූ විරෝධතාවක්‌ පමණක්‌ම නොවේ. මුළු මහත් ජාතියම නැවත හඬ වන අඳුරු පරිච්ඡේදයක ආරම්භයක පෙර නිමිත්තක්‌ බවය.

නැගෙනහිර ධීවරයන්ට අසාධාරණයක්‌ වෙන්න බෑ

උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කුච්චවේලී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ ආණ්‌ඩුවටය. ආණ්‌ඩුව මේ චෝදනා සම්බන්ධව දරන මතය කුමක්‌ද… අපි ධීවර අමාත්‍යංශ ලේකම් නිමල් හෙට්‌ටිආරච්චි මහතාගෙන් ඒ ගැන විමසුවෙමු.

දකුණෙන් නැගෙනහිරට සංක්‍රමණය වන ධීවරයන්ට ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා…?

දකුණේ ධීවරයන් එනවට නැගෙනහිර ධීවරයන් කැමති නෑ.

මෙච්චර කාලයකට මෙවැනි ප්‍රශ්නයක්‌ මතු වුණේ නෑනේ…?

විශාල වශයෙන් දකුණේ ධීවරයන් සංක්‍රමණය වෙනවට ඒ අය කැමති නෑ.

නැගෙනහිර ධීවරයෝ හිටියේ නෑ. ඉන්නේ ගොවියෝ. ඒ අය අමතර රැකියාවක්‌ විදිහට තමයි, ධීවර වෘත්තිය තෝරගෙන තියෙන්නෙ…?

නෑ… උතුරු, නැගෙනහිර ධීවරයෝ හිටියා. යුද්ධයට පෙර රටේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් 40% ක්‌ නිෂ්පාදනය කරලා දුන්නේ උතුරු, නැගෙනහිර ධීවරයෝ.

අපේ රටේ මිනිහෙකුට තමන්ගේ සම්ප්‍රදායෙන් සහ උරුමයෙන් අයිති වෙච්ච භූමියක ඕනෑම තැනක ජීවන වෘත්තියක නිරත වෙන්න බැරිද…?

දෙපැත්තටම අසාධාරණයක්‌ නොවෙන විදිහට අපි ඔය ප්‍රශ්නය ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා. නැවතත් එවැනි ප්‍රශ්න මතු නොවෙන විදිහට විසඳුමක්‌ ලබාදෙනවා.

මේ ආණ්‌ඩුව බලයට පත් වුණාට පස්‌සේ නැගෙනහිර සිංහල ජනතාවට විවිධ පාර්ශවවලින් හිරිහැර තියෙනවා කියලා සංක්‍රමණික ධීවරයන් කියනවා…?

එහෙම නෑ. ගිය අවුරුද්දෙ වුණත් මේ විරෝධය ආවා. ඊට ඉස්‌සර අවුරුදුවලත් ආවා. අපි ඒවා ගැන සාකච්ඡා කරලා විසඳලා දුන්නා. හැම අවුරුද්දකම මේ කාලේට ඔය විරෝධය මතු වෙනවා.

මුහුදට ආදරය ඇති ධීවරයන් මුහුද කොල්ල කෑවේ නැති වුණාට නැගෙනහිර ධීවරයෝ මසුන් මරන්න නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරනවා කියලා සංක්‍රමණික ධීවරයෝ කියනවා…?

එහෙම කියන්න බෑ. නීති විරෝධී පන්න ක්‍රම දකුණේ අයත් කරනවා. නැගෙනහිර අයත් කරනවා. කවුරුත් වැරැදි කරනවා. කවවත් සුද්ද කරන්න බෑ.

මේ නිර්මාණය වෙමින් තියෙන්නේ විශාල වාර්ගික යුද්ධයක මූලික අඩිතාලම. ප්‍රශ්නය උග්‍ර වෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවද… මේ ප්‍රශ්නයට කඩිනම් සාර්ථක විසඳුමක්‌ සොයනවාද…?

ඔව්… ඉදිරියේදී ජනාධිපතිතුමා එක්‌ක සාකච්ඡා කරලා නැවත මෙවැනි ප්‍රශ්න ඇති නොවෙන්න විසඳුමක්‌ දෙනවා. විශාල වශයෙන් දකුණෙන් ධීවරයන්ට නැගෙනහිරට සංක්‍රමණය වෙන්න දෙන්න බෑ. එතකොට ඒ ප්‍රදේශවල ධීවරයන්ට ප්‍රශ්නයක්‌ වෙනවානේ. ඒ නිසා එක්‌තරා සීමාවක්‌ යටතේ දකුණේ සංක්‍රමණික ධීවරයන්ට කර්මාන්තයේ යෙදෙන්න අවසර දිය යුතුයි. විශේෂයෙන්ම 1984 ට පෙර සිට ධීවර කර්මාන්තයේ නිරත වෙච්ච දකුණේ සංක්‍රමණික ධීවරයන්ට විශේෂත්වයක්‌ දැක්‌විය යුතු කියන තීරණයකට එළඹිය යුතුයි.

මුලාශ්‍රය: දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435