ලක්ෂ 80ක ඡන්දය ඕනෑ නම් කළ යුතු වැඩක්

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් ප‍්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයන් හට පෞද්ගලික අංශයේ ප්‍රධාන වෘත්තීය සමිති විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති අත එය ඉටු කිරිමට එකඟ වන අපේක්ෂකයින්ට ලක්ෂ 80ක් වන පුද්ගලික අංශයේ සේවකයින්ගේ ඡන්දය ලබාදෙන බවයි.

එම ලිපිය සම්පූර්ණයෙන් මේ සමග පළකරමු.

අනුර කුමාර දිසානායක සහෝදරයා වෙත

ගෝඨාභය නන්දසේන රාජපක්‍ෂ මහතා වෙත

සජිත් පේ‍්‍රමදාස මහතා වෙත

හිතවත් මහත්මයාණනි,

මෙවර 2019 නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් ප‍්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයෙකු වන ඔබ වෙත යොමු කිරීම සඳහා අප වෘත්තීය සමිති විසින් සැකසූ යෝජනා මාලාව මේ සමග ඔබ වෙත ඉදිරිපත් කරමු.

මේ වන විට ද ඔබ ඇතුළු අනෙක් අපේක්ෂකයින් ද තම තමන්ගේ ඉදිරි දැක්ම ගැන, ජනතාවගේ යහපත වෙනුවෙන් කරන්නට බලාපොරොත්තුවන වැඩ පිළිවෙල ගැන ප‍්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත. එම අදහස් දැක්වීම් මෙලෙස ඔබගේ අවධාරණය හා ප‍්‍රමුඛතාවය අනුව කැටි කළහොත් ඒ මෙවැනිය,

  1. ජාතික ආරක්ෂාව හා රටේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම, ඒ වෙනුවෙන් වාර්ගික හා ආගමික සාමය ඇති කිරීම
  2. කිසිදු අන්තවාදයකට ඉඩ නොතැබීම, නීතිය නිසියාකාරව කි‍්‍රයාවට නැගීම
  3. දූෂණයට ඉඩ නොතැබීම, ආර්ථික දියුණුවත්, ජනතාවගේ ජීවන තත්ත්වයත් නඟා සිටුවීම
  4. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සමග ග‍්‍රාමීය සමාජයේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම
  5. නව දේශපාලන ගමනක් වෙනුවෙන් ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම.

මේ කාරණා පැහැදිළි කිරීමේ දී ජනාධිපති අපේක්‍ෂකයින් අතර වෙනස්කම් ඇතත් අවසාන වශයෙන් ඒ සියල්ලෙන් කියැවෙන්නේ සැවොම මේ පවතින ක‍්‍රමය ඇතුළත කළ හැකි වෙනස්කම් වෙනුවෙන් පොරොන්දු දෙන බව පමණි.

ඔබ කිසිවෙකු මේ රටේ විශේෂයෙන් පෞද්ගලික අංශයේ මිලියන 02 කට වැඩි සම්ප‍්‍රදායික විධිමත් ක්ෂේත‍්‍රයෙහි සේවක, සේවිකාවන් ගැනත් එවගේම අවිධිමත් සේවා සැපයුමෙහි වැදගත් සාධක වන පෞද්ගලික බස් මගී ප‍්‍රවාහනය හා තී‍්‍රරෝද රථ ඇතුළුව, කුඩා ආපන ශාලාවල, සාප්පු සංකීර්ණවල, පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි ආරක්ෂක නියාමකයින් හා මෑන්පවර් ඒජන්සිවල කොන්ත‍්‍රාත් සේවක, සේවිකාවන් ඇතුළු දළ වශයෙන් මිලියන 08 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවක, සේවිකාවන් ගැන කිසිදු අවධානයක් යොමුකර නොතිබීම, වෘත්තීය සමිති ලෙස අපගේ විශේෂ අවධානයට යොමු වූවකි.

1977 වසරෙන් පසුව බලයට පත් සෑම ආණ්ඩුවකම ප‍්‍රතිපත්තිය වූයේ පුද්ගලික අංශය රටේ ආර්ථිකයේ එන්ජිම වන බැවින් එය ශක්තිමත් කිරීම සඳහා වඩ වඩාත් ආයෝජකයින් ආකර්ශණය කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම, බදු සහන සහ පවතින නීති සංශෝධන ද කර ඇත. නමුත් ආර්ථිකයට ඒ සමානව වැදගත්වන පුද්ගලික අංශයේ සේවකයින් සම්බන්‍ධව සෑම ආණ්ඩුවක්ම අනුගමනය කළේ, වෙනස් ප‍්‍රතිපත්තියකි. එයට උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ රටට විදේශ විනිමය උපයා දෙන සේවක, සේවිකාවන් ජාතික වෙළඳපොළට නිෂ්පාදනයන් සහ සේවාවන් සපයන පුද්ගලික අංශයේ සේවක, සේවිකාවන්ගේ මාසික අවම වැටුප රු. 10,000 ක මට්ටමේ තත්ත්වයක තබා ඇත. එයට අමතරව අයවැය සහන දීමනාවක් ලෙස ගෙවනු ලබන රු. 3,500 ක දීමනාව සමග රු. 13,500 ක වැටුපකට ඔවුන්ට හිමිකමක් ලැබී ඇත. පුද්ගලික අංශයේ සේවක, සේවිකාවන් වෙනුවෙන් ඇති අනෙකුත් සේවා තත්ත්වයන් ද පවතිනුයේ මෙවැනි අසතුටුදායක තත්ත්වයක ය. මේ නිසාම පුද්ගලික අංශයේ රැකියාවන්ට ආකර්ෂණය වීම පවා අඩු වෙමින් පවතින අතර දැනට ඇඟළුම් කර්මාන්තශාලාවල යන්ත‍්‍ර කි‍්‍රයාකාරිනියන්ගේ ඇබෑර්තු 74,000 ක් පමණවන බව සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු වාර්ථාවල සඳහන්ව ඇත. මෙලෙස මෙවැනි තත්ත්වයක සිටින පුද්ගලික අංශයේ සේවක, සේවිකාවන්වන් නිෂ්පාදන හා සේවා ක්ෂේත‍්‍රයන්හි මිලියන 08 ක් පමණ වන අතර, එම සේවක, සේවිකාවන් ද මේ ජනාධිපතිවරණයේ ඡන්දදායකයින් බැව් අවධාරණය කරමින් එම සේවක සේවිකාවන් වෙනුවෙන් පහතින් සඳහන් කර ඇති ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඔබගේ ප‍්‍රතිපත්තිමය ස්ථාවර කවරේදැයි දැන ගැනීමට අපි කැමැත්තෙමු.

  1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා අංක 98 සම්මුතීන් මගින් ද සහතික කර ඇති සෑම සේවකයෙකුටම, සේවිකාවකටම තමන්ගේ අභිමතය මත පමණක් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමට ඇති මූලික අයිතිය පසුගිය අවුරුදු 40 ක කාලය පුරා හාම්පුතුන්ගේ වුවමනාව අනුව හැම ආණ්ඩුවක්ම ඉතා මෘග ලෙස අහෝසි කිරීමට ඉඩදී ඇත. මේ කාලය පුරා කිසිදු විපක්ෂයක් ද එම අයිතිය වෙනුවෙන් පෙනී නොසිටීම සියලූම දේශපාලන පක්ෂ සේවක අයිතීන් අතහැර ඇති බව ඔප්පු කරන්නකි.

එබැවින් මේ රටේ සියලූ සේවක, සේවිකාවන්ට වෘත්තීය සමිති සංවිධානය කිරීමත්, වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමත් ඔවුන්ගේ මූලික අයිතියක් ලෙස තහවුරු කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා අංක 98 සම්මුතීන් පිළිගැනීම හා කි‍්‍රයාත්මක කිරීම හාම්පුතුන්ට අනිවාර්ය කෙරෙන නීති පැනවීමට කටයුතු කරන්නේ ද?

  1. ඉහළ නිෂ්පාදන ශක්‍යතාවයක් සහිත ඵලදායී ශ‍්‍රම බලකායක් තහවුරු කළ හැක්කේ රජයේ හා පෞද්ගලික අංශයන්හි තෘප්තිමත් සේවක පිරිස් සමගින් පමණි. ඒ වෙනුවෙන් රටකට ජාතික ශ‍්‍රම ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැනි ජාතික ශ‍්‍රම ප‍්‍රතිපත්තියක් සඳහා කෙටුම්පතක් අප‍්‍රමාදව රජයේ හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති වෙත ඉදිරිපත් කරන්නේ ද?
  2. පැය 08 ක වැඩ දිනයක් සහිත දින 05 ට සීමා කෙරෙන පැය 40 ක වැඩ සතියක් සහ දැනට රු. 13,500/= ක් වන ජාතික අවම වැටුප පවතින ජීවන වියදම අනුව කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බැවින් එය රු. 25,000/= ක් දක්වා වැඩිකර, වසර දෙකකට වරක් ජීවන අංකයේ අඩු වැඩිවීම් අනුව යාවත්කාලීන කිරීමට නෛතිකව කටයුතු කරන්නේ ද?
  3. හැම ආණ්ඩුවක් යටතේම සේවක අර්ථසාධක අරමුදල බරපතල දූෂණ සමගින් ව්‍යාපාරික වාසි වෙනුවෙන් යොදා ගැනීම අඛණ්ඩව කෙරෙන්නකි. ඒ අරමුදලේ සියලූ දායක මුදල්වල හිමිකරුවන් වන මිලියන 2.5 ක් පමණ වන සක්‍රීය සාමාජික සේවකයින්ට සහ විවිධ හේතු මත අක්‍රීය වූ සාමාජික සේවකයින් ද ඇතුලූව මිලියන 08 ක පමණ සේවකයින්ට එහි කළමනාකරණයට හවුල් වන්නට නොහැක. සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරීත්වය එහි හිමිකරුවන් වන සාමාජිකයින්ට කිසිදු ආකාරයකින් වගකීමට බැඳී නැතදූෂණ සඳහා විශාල ඉඩක් ඇත්තේ,

එබැවින් ය. සියලූ ආකාරයේ දූෂණ නතර කිරීමට හා සමාජයට වගකියන්නාවූ පිරිසිදු රාජ්‍ය සේවාවක් වෙනුවෙන් පොරොන්දු දෙන ඔබ සේවක අර්ථසාධක අරමුදලෙහි මේ තත්ත්වය වෙනස් කරමින් නිත්‍යානුකූල සේවක නියෝජනයක් සේවක අර්ථසාධක අරමුදලට ලබාදීම වෙනුවෙන් නොපමාව පියවර ගැනීමට කි‍්‍රයා කරන්නේ ද?

  1. මෑතක දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරනු ලැබූ වැඩපල ආශ්‍රීත ලිංගික හිංසනය පිළිබඳ 2019 ප‍්‍රචණ්ඩත්වය හා හිංසනය සම්බන්ධ අංක 190 වන සම්මුතිය ශී‍්‍ර ලංකාණ්ඩුව විසින් අපරානුමත කිරීමටත්, එය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප‍්‍රකාර නව නීති නොපමාව පැනවීමට කටයුතු කරන්නේ ද යන්නත් යම් අතවරයක දී සේවිකාවන්ට තම රහස්‍ය භාවය රැකගෙන පැමිණිලි කළ හැකි කාන්තා නිලධාරිනියක් නිදහස් වෙළඳ කලාප හා දිස්ති‍්‍රක්ක මට්ටමින් ද නෛතික බලයක් ඇතිව පත් කරන්නේ ද?
  2. දැනට පවතින කම්කරු අයිතීන් විශාල වශයෙන් උදුරාගෙන හාම්පුතුන්ට සහන සැළසීමේ අරමුණින් ගෙන ඒමට සූදානම් වන එ්කීය කම්කරු නීතිය සහමුලින්ම ප‍්‍රතික්‍ෂෙප කරන අප වෘත්තීය සමිති, අවසන් මොහොත වනතුරු කම්කරු ජනතාවගෙන් වසන් කර හාම්පුතුන් සහ විදේශීය ආයතන සමග රහසිගතව සකස් කළ ලියවිල්ලක් ලෙස එය අප හඳුනාගෙන ඇත. එබැවින් ඔබ ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් එම යෝජිත පනත කිසිදු ආකාරයකින් නීතිගත නොකරන බවට නිල ප‍්‍රකාශයක් කරන්නේ ද?
  3. ආයෝජකයින් ආකර්ශණය කිරීම සඳහා රු. කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා බදු මුදල් වියදම් කර යටිතල පහසුකම් සහ බදු සහන සමග වෙනත් වරප‍්‍රසාද ලබාදීමේ මූලික හේතුව ලෙස වර්තමාන සහ හිටපු ආන්ඩු ජනතාවට කියන්නේ අප රටේ තරුණ තරුණියන් හට රැකියා අවස්ථාවන් ලබා දීම වෙනුවෙන් එම සහන දෙන බව ය. නමුත් දේශීය ආයෝජකයන් මෙන්ම විදේශීය ආයෝජකයින් ද අප රටේ තරුණ තරුණියන් රැකියාවලට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන, අප රටේ රැකියා සඳහා ව්‍යාජ සේවක හිඟයක් පෙන්වමින් විදේශීය ශ‍්‍රමිකයින් ආනයනය කිරීමට නීති සම්පාදනය කරමින් පවතී. අප රටේ නැති විශේෂ පුහුණු සේවකයින් මිස අප රටේ සේවකයින්ට කිරීමට හැකි රැකියාවලට විදේශ ශ‍්‍රමිකයින් ආනයනයට නීති ගෙන ඒම වැළැක්වීමට ඔබ කටයුතු කරන්නේ ද?
  4. දැනට ක‍්‍රියාත්මක ත‍්‍රස්දවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට උත්සාහ දරණ ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත’’ ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක රටවැසියන්ට යම් යම් විරෝධතාවල යෙදීමට ඇති මූලික අයිතිය නැතිකර දමන්නක් වන අතර ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සාපරාධී ක‍්‍රියා ලෙස හඳුන්වාදී ඇති සමහර ක‍්‍රියාවන් යෝජිත පනත යටතේ ‘‘ත‍්‍රස්ත ක‍්‍රියා’’ ගණයට ඇතුළත් කර ඇත. එබැවින් එම යෝජිත පනත වහාම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන්නේ ද ?
  5. ඉතිහාසය පුරා කම්කරු ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් කම්කරු දෙපාර්තමේන්තුව අද වන විට කාර්යක්‍ෂමතාවය අතින් ඉතා පහළ මට්ටමකට වැටී ඇති බැවින් එම ආයතනය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක්කොට රටේ කාර්මික සාමය උදා කිරීමටත්, කාර්මික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන්නේ ද?
  6. නිත්‍ය රාජකාරීන් සඳහා උප කොන්ත‍්‍රාත් සේවකයින් යොදවා ගැනීම නතර කිරීම, මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම යන කරුණුවලට අදාලව කැබිනට් මන්ඩලයේ දැනටමත් අනුමැතිය ලබා දී ඇති පනත් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට ක‍්‍රියාකරන්නේ ද?

ඊටත් අමතරව සේවක සේවිකාවන්ට අදාල සැළකිය යුතු ගැටළු ඇති නමුත් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු ලෙස ඔබ ඉහත කාරණා 10 පිළිබඳව දරන්නාවූ ස්ථාවරයන් දැනගැනීම සඳහා අප වෘත්තීය සමිතිවල නියෝජිතයින් හට ඔබ හමුවීම සඳහා සුදුසු ඉක්මණ් දිනයක් දන්වන මෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට සහෝදරත්වයෙන්

ඉන්ඩස්ටි‍්‍ර  ඕල් ශී‍්‍ර ලංකා කමිටුව

ඇන්ටන් මාකස්, සම ලේකම්, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

ලෙස්ලි දේවේන්ද්‍ර, ප‍්‍රධාන ලේකම්, නිදහස් සේවක සංගමය

ලීනස් ජයතිලක, සභාපති,  එක්සත් කම්කරු සම්මේලනය

සිල්වෙස්ටර් ජයකොඩි, ප‍්‍රධාන ලේකම්, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය,

පාලිත අතුකෝරාල, ප‍්‍රධාන ලේකම්, නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාරස් ශ්‍රී ලංකා

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435