අපේ ජාතික ගුවන් සේවය අහිමිවී ඉතාලියේ රට විරුවන්ට පීඩා රැසක්

එක්ලක්ෂ පනස් දහසකට අධික ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලියේ රැකියාවල නිරත වෙති. ඒ රටේ විවිධ නගරවල ජීවත් වන අපේ රටවිරුවන් නිවාඩුව සඳහා මෙරටට පැමිණීමේදී ඔවුන් වඩා වැඩි රුචිකත්වයක් දැක්වූයේ අපේ ජාතික ගුවන් සේවයටයි.

නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩකරමින් මීට වසර කිහිපයකට පෙර රෝමය සිට කොළඹ බලා පියාසර කළ අපේ ජාතික ගුවන් සේවය අවලංගු කිරීමත් සමග පවතින රජය පිළිබඳ ඔවුන් තුළ නිර්මාණය වී ඇත්තේ දැඩි අප‍්‍රසාදයකි. සමස්ත ශ‍්‍රී ලංකිකයන් මවු මව් රට බලා පැමිණීමේදී මොවුන් තෝරා ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන්නේ ඉතා සාධාරණ මිලකට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි මෙන්ම සුවපහසු වූ ගුවන් සේවයකි. ජාතික ගුවන් සේවය අහිමිවීමත් සමග වෙනත් විකල්පයක් සොයා ගැනීමට ඔවුනට සිදුවේ.

ඒ අනුව සතියේ දින පහක් තුළ වැඩි ගුවන් වාර ගණනාවක් රෝමයේ සහ PISA නගරයේ සිට කටුනායක බලා පියාසර කරමින් මගීන් සඳහා අති විශේෂ වට්ටම් මිලදී ගන්නා සිය ටිකට් පත සඳහා ලබා දෙමින් අනිකුුත් ගුවන් සේවා සමාගම් අභිබවා ඉහළ සේවාවක් තම ආයතනය මගින් ලබාදීමට කටයුතු කරන මැදපෙරදිග අංක එකේ ගුවන් සේවාවක් සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

ඉතාලියේ PISA සහ ROME නගරයේ ගුවන් තොටුපළට මැද පෙරදිග සිට පැමිණ කොළඹ බලා ගමන් ආරම්භ කරන මේ ගුවන් සමාගම වසරේ එක් එක් කාලසීමාවල පවතින සංචාරක ප‍්‍රතිශතයන් දෝලනය වන පසුබිම මත විශේෂ වට්ටම් මගීන්ගේ ගුවන් ටිකට්පත සඳහා ලබා දීමට කටයුතු කරන්නේ අන්තර්ජාලය සහ විවිධ ක‍්‍රමවේද හරහා දැඩි ප‍්‍රසිද්ධියක් ද ලබා දෙමින් නිරතුරුවම සිය පාරිභෝගිකයන් සඳහා අනෙකුත් සේවාවන්වලට වඩා කාර්යක්ෂම සහ විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා කැපවුණු ගුවන් සේවා සමාගමක් ලෙසය.

මිලදී ගන්නා ටිකට්පත් සඳහා පළමුව දින වෙනස් කිරීමට කිසිදු මුදලක් අය නොකර වඩාත් පලදායී සේවාවක් සිය පාරිභෝගිකයන් සඳහා ලබාදීමට මෙම ගුවන් සේවය සහතික වන්නේ අන් කිසිදු ගුවන් සේවක සමාගමක් එවැනි කටයුත්තක් සිදු නොකරන පසුබිමකය.

ඉතාලියේ සිට කටුනායක බලා ගමන් ගන්නා අනිකුත් ගුවන් සේවයන් හරහා මිලදී ගන්නා ටිකට් පතේ පළමුවර දින වෙනස් කිරීම සඳහා යුරෝ 100 කට අධික මුදලක් ගෙවීමට සිදුවන අතර එයට සාපේක්ෂව මේ සමාගම හරහා මිලදී ගන්නා ටිකට් පත සඳහා මුදලක් අය නොකරන බවට සහතික වන්නේ බහුතරයක් වූ ගුවන් මගීන් ඔවුන්ගේ සේවය සඳහා නතුකර ගනිමිනි.

නමුත් මේ ගුවන් සමාගම විශේෂ වට්ටම් හරහා පළමු වන දින වෙනස් කිරීම සඳහා ගාස්තුවක් අය නොකර නිකුත් කරන ගුවන් ටිකට්පත් ලබා ගන්නා පාරිභෝගිකයන්ට තමන් යොදාගත් දිනට ප‍්‍රථම පසු දිනක නැවත ඉතාලිය බලා පිටව යෑමට අවශ්‍ය වූ විට මුහුණපෑමට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමකටය. ඒ සඳහා මොවුන් පවසන්නේ විශේෂ වට්ටම් හරහා ටිකට්පත් මිලදී ගන්නා මගීන් පළමු වර දින වෙනස්කර ගැනීමේදී මුදලක් නොගෙවා දිනයක් වෙන් කරවා ගැනීම සඳහා මසකට අධික කාලයක් රැඳී සිටීමට සිදුවිය යුතු බවයි. ඒ වට්ටම් සඳහා නිකුත් කළ ගුවන් ටිකට්පතට හිමි පංතියේ ආසන අවසන් බව පවසන ගුවන් සමාගම පාරිභෝගිකයා සිය ටිකට්පතේ සඳහන් දින සිට ඉදිරියට දින 45 ක කාලයක් සඳහාවත් දිනක් වෙන්කර ගැනීමට යෑමේදී ඔවුන් පවසන පළමුවර දින වෙනස් කිරීම ගාස්තු අය නොකරන පදනම මත දිනයක් නොමැතිවීම ද මවිතයට කරුණකි. නමුත් ගුවන් මගියාට මාරු කිරීමට අවශ්‍ය දිනය තමන් පැමිණි ආසන පංතියේ නොමැති බව පවසන ගුවන් සමාගම එම දිනය සඳහා වෙනත් ආසන පංතියකට තම ටිකට්පත මාරු කර දීමට යුරෝ 100 ට අධික මුදලක් ගෙවිය යුතු බවට ඔවුන් සඳහන් කරන්නේ අපේ රටවිරුවන් දැඩි අපහසුතාවයකට ද ලක් කරමිනි. පාරිභෝගිකයන් නොමඟ යවන විශේෂ වට්ටම් හරහා ගුවන් ටිකට්පත් ලබාදීමට කටයුතු කරන මේ සමාගම ගැන ඔබ කොතෙක් දැනුවත් විය යුතු ද යන්න වරක් නොව දෙවරක් සිතිය යුතුමය.

යුරෝපා උඩු ගුවනේ තේජස පෙන්වූ අපේ ජාතික අභිමානය බිම තබා රටේ සංවර්ධනයට සීඝ‍්‍ර දායකත්වය ලබාදෙන අපේ රට විරුවන් තම මවුරටට පැමිණීමේදී අනිකුත් ගුවන් සමාගම් හරහා මුහුණ දීමට සිදුවන දැඩි අපහසුතාවට වගකිව යුත්තේ කවුද? ඉතාලියේ සේවය කරන එක්ලක්ෂ පනස් දහසකට අධික ශ‍්‍රී ලාංකිකයන් සඳහා තම ජාතික ගුවන් සේවය අහිමි කිරීම තුළ මෙවැනි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවීම නිසා මේ රටේ බලධාරීන් පිළිබඳ ඇතිවන දැඩි කලකිරීම හා අප‍්‍රසාදය මීට පෙරද අප පෙන්වා දී ඇත. මවුරට බලා පැමිණීමේදී වෙනත් ගුවන් සේවාවන් හරහා රටවිරුවන්ට ඇතිවන ගැටලූ සහගත තත්ත්වයෙන් මුදා ජාතික ගුවන් සේවය අභිමානයෙන් පියාසර කරන්නට සුදුසු පසුබිම නිර්මාණය කිරීම බලධාරීන්ගේ වගකීම නොවන්නේද?

ලලිත් හෙට්ටිආරච්චි – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435