අප හැරගිය පංතියේ නියමුවා සිහිකරමු

කම්කරු පංති ව්‍යාපාරයේ සමකාලීන නායකයින් බාලා ලෙස ආදරණියව ඇමතූ, කම්කරු පංති ව්‍යාපාරයේ සුහුඹුලන්වූ අප බාලා සහෝදරයා ලෙස මහත් ගෞරවයෙන් සහ භක්තියෙන් ඇමතූ, ව්‍යාපාර හිමි ධනපතියන් සහ පාලකයින් තම්පෝ මහත්මයා ලෙස මහත් ගෞරවයෙන් ඇමතූ ඒ සැබෑ මිනිසා කම්කරු පංතිය වෙනුවෙන් වසර 66 ක් පුරා සිය ජීවිතයම කැපකර, එතෙක් ගමන්කල විප්ලවීය සටන් මාවත අතහැර  බොරුල්ල  කනත්ත  බලා  අවසන්  ගමන් ගොස්, සැප්තැම්බර් මස 01 දිනට වසර 05ක් ගෙවීයන බැවින් නිරන්තරයෙන් සිහිවන ඔහු ගැන මෙසේ සටහනක් තබමි.

1928 වර්ෂයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ වෙළඳ ආයතනවල සේවය කල ලිපිකරුවන්ගේ සංගමයක් වශයෙන් කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ සහෝදරයා විසින් ආරම්භකල සීඑම්යූ සංගමයේ  1948  වර්ෂයේ  සිට 2014 වර්ෂය දක්වා අඛණ්ඩව ප‍්‍රධාන ලේකම් ධූරය දරමින් කම්කරු පංතියට අමිල සේවයක් කල බාලා සහෝදරයා ගෙනගිය අභිමානවත් සටන් තුලින් පොදුවේ ලාංකීය කම්කරු පංතියත් විශේෂයෙන් පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයිනුත් ලැබූ ජයග‍්‍රහණ අසීමිතය. පෞද්ගලික අංශයේ බහුතරයක් වැඩකරන ජනතාව ඒකරාශීකර මෙරට පෞද්ගලික අංශය නියෝජනයකල සංවිධිත ප‍්‍රධානතම වෘත්තීය සමිතිය ලෙසටත්, රටේ සෙසු වෘත්තීය සමිති වලට ආදර්ශයක් වෙමින් සියලූ නාගරික කම්කරුවන් නියෝජනය කරන පදනමින් යුත් විනයගරුක, ප‍්‍රතිපත්ති ගරුක, කම්කරු පංති සංවිධානයක් ලෙසටත්  සීඑම්යූව පත්කරන ලද්දේ බාලා සහොදරයා විසිනි. බාලා  සහෝදරයාගේ  නායකත්වය  යටතේ සීඑම්යූව   ගෙනගිය  උද්ඝෝෂණවල  ප‍්‍රතිඵලයක්  වශයෙන්  පෞද්ගලික  අංශයේ සේවකයින්ට දෙපයින් නැගී සිට සියලූම කම්කරු හා මූලික මිනිස් අයිතිවාසිකම් භුක්තිවිඳීමට හැකිවී තිබේ. වැටුප් උපයන්නන් සිය වෘත්තීය සමිති, නෛතික හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදෙසා කල අරගලයට සීඑම්යූ ප‍්‍රධාන ලේකම් ලෙස බාලා සහෝදරයා වසර 66 ක කාලයක් තිස්සේ ලබාදුන් දායකත්වය කම්කරු ව්‍යාපාර ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා ඇත. බලධාරීන් සමග ඇතිවන ගැටුම් වලදී කාර්යශූර හා නිර්භය ලෙස සටන් වදින්නකුවන බාලා සහෝදරයාගේ තියුණු හා බුද්ධිමත් විවාද හැකියාව  ඔහුගේ  මිතුරන්  මෙන්ම  ප‍්‍රතිවාදියන්  පවා  අගය  කරති.  බාලා සහෝදරයාගේ  ක‍්‍රියාමාර්ගය  වූයේ   වැරදි  ලෙස  දකින  යමක් ගැන පැහැදිලිව සහ ප‍්‍රභලව හඬනගා ඒ ගැන සාකච්ඡුා කරන ලෙස ආණ්ඩුවලට සහ සේව්‍යයන්ට අභියෝග කිරීම තුලින් ජයග‍්‍රහණ ලබාගැනීමයි.

සීඑම්යූව පමණක් නොව ආසියානු වෘත්තීය සමිති ව්‍යාපාරයද තහවුරු කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරඇති බාලා සහෝදරයා වැඩකරන ජනතාව සඳහා සමාජීය වශයෙන් සාධාරණ හා සමාන තත්වයක් බිහිකිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින්ද කටයුතු කරන ලදී. බාලා සහෝදරයා වෘත්තීය සමිතිවේදියකු පමණක් නොව මාක්ස්වාදී දේශපාලනඥයෙකි. බාලා සහොදරයා සාමාජිකයින්ගේ අභිවෘද්ධිය සඳහා පමණක් නොව රටේ පවත්නා සැබෑ ගැටළු කෙරෙහිද අවධානය යොමුකර ඒ වෙනුවෙන් වූ ක‍්‍රියාමාර්ග සඳහා සැබෑ කම්කරු නායකත්වයක් ලබාදුනි. ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු මෙන්ම නීතිඥවරයෙකුද වූ බාලා සහෝදරයා  කම්කරු පංතියේ විමුක්තිය උදෙසා ධනේශ්වර සෞභාග්‍යය පරිත්‍යාගකර, උදාර අරමුණක් ඔස්සේ යමින් ස්වාර්ථය නොතකා පරාර්ථය මුල්කර ගනිමින් කටයුතු කල දුර්ලභ නායකයෙකි. පෑගී සිටින ජනතාව වෙනුවෙනුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණත්වය උදෙසාත් විශිෂ්ඨ මෙහෙවරක් කල බාලා සහෝදරයා මෙරට වෘත්තීය සමිති සහ කම්කරු පංති දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

ධනවාදයට එරෙහිව අරගල කිරීම ආරම්භ වියයුතු බවට හා ධනවාදය පරාජය කිරීමට කම්කරු පංතිය එක්සත්වී සිය ශක්තිය ගොඩනගා ගතයුතු බවට බාලා සහෝදරයා එදා ඉදිරිපත්කල යෝජනාව කෙරෙහි සිත යොමු කිරිමට වැඩකරන ජනතාවට දැන් කාලය එළඹ ඇත. කම්කරු සටන් නොසලකා හරිමින්, කම්කරු සටන් සටන් මර්ධනය කරමින් අත්තනොමතික  පාලනයක්  ගෙනයන  අද  වැනි යුගයක බාලා සහෝදරයා වැනි නායකයින් බිහිවීම අත්‍යාවශ්‍යව ඇත.  ගෝලීය මර්ධනයේ බලවේගයන්ට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීම අත්‍යාවශ්‍යව ඇති වර්ථමානයේ  බාලා වැනි අව්‍යාජ අභීත සැබෑ කම්කරු නායකයින් විරලවීම වත්මන් සහ අනාගත වැඩකරන ජනතාවගේ අවාසනාවය. ගෝලීයකරණය හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ වැඩකරන ජනතාවට දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවී ඇති අවස්ථාවක සාමාජිකයින්ගේ මූලික මානව හා වෘත්තීය අයිතීන් උල්ලංඝණය කරමින් වැඩි වැඩියෙන් මර්ධනය කිරීමත්, උග‍්‍ර අන්දමින් සූරා කෑමත් හේතුවෙන් වෘත්තීය සමිති දැඩි පීඩනයකට ලක්වී ඇති අතර පත්වන ධනපති ආණ්ඩුවල ආධාර ඇතිව සේව්‍යයන් විසින් කරනු ලබන බලපෑම් හමුවේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වයද අඩුවී ඇත. මෙම පසුබිම තුල වෘත්තීය සමිති කම්කරුවන් සංවිධානය කිරීමට දරන ප‍්‍රයත්නයන් නවීකරණය කිරීමත් ඔවුන්ගේ නියෝජන අයිතීන් ලබාගැනීම සඳහා ඒකරාශීව කටයුතු කිරීමත් යුගයේ අවශ්‍යතාවයකි. වැඩකරන ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කරගතහැකි වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ශක්තිමත් හා ඵලදායී වෘත්තීය සමිති ව්‍යාපාරයක් තුලින් පමණක් බවට බාලා සහෝදරයාගේ 5 වන අණුස්මරණයේදී වැඩකරන ජනතාවටත් ඔවුන්ගේ නායකත්වයටත් අවබෝධවේවායි ප‍්‍රාර්ථනා කරමි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අනුර කුමාර රත්නායක

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435