අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග

අමාත්‍යාංශ ලේකම්ලාට නියෝග, විධාන හා උපදෙස් දීමට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිට  බලයක් පවරා නැතැයිද දිගින් දිගටම ව්‍යවස්ථාව කඩමින් ක්‍රියා කරන ජනාධිපතිගේ තවත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් පිලිබඳ හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අනතුරු අඟවා සිටී. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

“අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීමතාණන් විසින් සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන ලබා දුන් බව සඳහන් කෙරුණු 2018.12.04 දිනැති මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිතුමන් වෙත කිසිදු බලයක් පවරා නොමැත. එහෙයින් ජනාධිපතිතුමා, මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද, වෙනත් ආයතනද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්වය.

ව්‍යවස්ථාවේ 42 (1) වගන්තියට අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර ඇමති මණ්ඩලයක් සිටිය යුතුය. නමුත් පසුගිය නොවැම්බර් 14 වන දින සහ ඊට පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වනදා ගරු අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ හෙයින් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග හා විධාන දිය හැකි අධිකාරියක් දැනට ක්‍රියාත්මක නොවේ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබා දිය හැක්කේ තමන් යටතේ ඇති අමාත්‍යාංශයන්හි ලේකම්වරුනට පමණි. එසේ වී තිබියදී ජනාධිපතිතුමා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වූ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනා සැලකිල්ලට ගනිමින්, ආයතන හා මුල්‍ය සංග්‍රහයට අනුව ක්‍රියා කිරීමට සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් බැඳී සිටින බව මෙහිලා අවධාරණය කරමු. එසේ නොමැතිව ව්‍යවස්ථා විරෝධී නියෝග හා විධාන පිළිපැදීමෙන් සිදුවනුයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එය අතිශය බරපතල වරදකි.

ජේ සී අලවතුවල

හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435