අයවැයෙන්, ඇති-අයගේ බර නැති-අයට පැටවන හැටි මෙන්න

2018 වර්ෂය සඳහා නියමිත අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති කේසර කෝට්ටේගොඩ මහතා වැඩබිමට ඉදිරිපත් කල අදහස.

මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම වැඩිකරන්න යෝජනා කර ඇතත් එසේ කර ඇත්තේ ජාතික සම්පත් විකුණලා. රාජ්‍ය බැංකුවල කොටස් කොටස් වෙළඳපලට දාන බව කියනවා. 100%ක් වන රාජ්‍ය අයිතියෙන් කොටසක් පුද්ගලික අංශයට පවරනවා. එහි අර්ථය නම් 100%ක් ලැබූ ලාභය පුද්ගලික අංශයටත් බෙදිලා යනවා කියන එකයි. Basel III  Requirements එක ලෝකයේ ඇති කරනු ලැබුවේ බැංකු ශක්තිමත් කිරීමට වුවත් ආණ්ඩුව සැරසෙමින් පවත්නේ ඒ නමින් බැංකු පුද්ගලීකරණය කිරීමටයි. ලාභ ලබමින් පවතින ප්‍රධාන බැංකු දෙක මෙලෙස පුද්ගලීකරණය කරද්දී එල්ලවිය හැකි විරෝධය සමහන් කිරීමට මෙම කොටස් සේවකයන්ට සහ තැන්පතුකරුවන්ට ලබාදෙන බවට හුදු මවාපෑමක් කරනවා.

මේක බරපතළ කාරණයක්. රාජ්‍ය හා පුද්ගලික සහයෝගිතා වැඩපිළිවෙලක් ලෙස මීට පෙරාතුව රාජ්‍ය ඛනිජ තෙල් සංස්ථාවේ යම් කොටසක්, තෙල් බෙදාහැරීමේ කොටසක් පුද්ගලීකරණය කළා. ඒකෙ බරපතළකම ඒ අවදානම පසුගිය සතියේ අපි හැමෝම අත්වින්දා. ඒ අනුව රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමත් මුලදී එහි සේවක අයිතිය පුළුල් කිරීමක් වගේ දැනෙන්න පුළුවන් වුණත් එහි අවදානම කල් ගිහින් දැනෙන්න නියමිතයි.

“ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද“ කියලා එකක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එකවරම ‘බැංකුවලින් ගත්තු ණය ආපසු ගෙවීමේදී ඇති කරන බද්දක්ද‘ කියලා හිතෙනවා. අනෙක් අතට 1000ට ශත 20ක් වගේ වුණාම බොහෝම සුළුයි. ලක්ෂයකට රු.20යි. ලක්ෂ 10 ක් වුණොත් විතරයි රු. 200ක් වෙන්නේ. ඒ නිසා ගණන් ගත යුතු තත්ත්වයක් නොවන බවක් බැලූ බැල්මට පෙනෙන්න පුළුවන්. මේ බද්ද අයකරනු ලබන්නේ බැංකුවලින් ණය ගත්තු ජනතාවගෙන් නෙවෙයි. බැංකු වලින් කරන සියලුම ගනු සහ දෙනුවලදී (ට්‍රාන්ස් ඇක්ෂන්). මේක අයවෙනවා. මේ තුළින් රජය විසින් මිලියන 20,000ක් වාර්ෂික අයකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. රජයේ ආදායම් පුරෝකථනය තුළ වැඩිම ප්‍රභවය වන්නේ සුඛෝපභෝගී වාහන බද්දෙන් මිලියන 25,000යි. ජාතිය ගොඩනැගීමේ බද්දෙන් හා වැට් බද්දෙන් මිලියන 25,000ක් බලාපොරොත්තු වෙනවා. ඊළගට විශාලතම ආදායම් පුරෝකථනය මේකයි. ගනුදෙනුකරුවන්ගෙන් අයකරගැනීමට ඉඩදෙන්නෙ නෑ කියලා ආණ්ඩුව කියනවා. බැංකුවල ලාබෙන් තමයි මේ ප්‍රමාණය යන්නේ. එතකොට එයාල තැන්පතු වලට ගෙවන පොලිය දශමයකින් අඩුකරයි. දුන්නු ණයට අයකරන පොලිය දශම ගාණකින් වැඩිකරයි. ඒ කියන්නේ මේක වක්‍රව ආයෙම වදින්නේ සාමාන්‍ය ජනතාවට තමයි.

වක්‍ර බදු හා සෘජු බදු තිබුණු අනුපාතය වැඩිවෙලා තියෙනවා. වක්‍රබදු 80%ට සෘජු බදු සෘජු බදු 20%ක් ව පැවතුණා. එයින් වක්‍රබදු 85%ට වැඩිවෙලා සෘජු බදු 15% දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි තියෙන ඉහළ පාන්තිකයින්ගෙන්, ආයෝජකයින්ගෙන් සෘජුව අය කරන බද්ද අඩු කරලා සාමාන්‍ය ජනතාවගෙන්, දුප්පතුන්ගෙන් අයකරන වක්‍ර බදු වැඩිකරලා තියෙනවා.

අයවැය යෝජනවාලිය පුරාම පුද්ගලික ආයෝජන දිරිගැන්වීම දකින්න පුළුවන්. වෙරළ තීරය සංවර්ධනය කිරීමට කොළඹ සිට දෙහිවල දක්වා තීරය පුද්ගලික අංශයට දෙන බව කියනවා. ඒ කියන්නේ රජය ඉඩම දෙනවා. ආයෝජකයෝ ඇවිත් එයාලගෙ සල්ලි දාලා හෝටල් ගහනවා. ව්‍යාපෘති පටන් ගන්නවා. ආයෝජකයින්ට ලාභ ලැබීමට රජය මූල්‍යමය පහසුකම් සපයනවා.

1954 අංක 15 දරණ සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කරන්න යෝජනා කරනවා. පහසු කාර්යාල වේලාවන් සෑදීමට බව කියනවා. පනත තුළ වැඩ කළ යුතු පැය ගාණ අඩුකරන බවටත්, පහසු පැය ගණනක් වෙන් කරන බවටත් කියනවා. පසුගිය කාලයේ මේ වගේ පනත් 11 ක් සංශෝධනය කිරීමට උත්සාහ කළා. එල්ලවුණු විරෝධය හමුවේ ඒවා එකිනෙක අකුළා ගත්තා. 1954දී  දාපු නිසා පරණයි කියලයි ආණ්ඩුව කියන්නේ . ඒත් 54 දාපු එයින් විශේෂයෙන් ආරක්ෂා කළේ කම්කරුවා. ඒත් අද ඒවා වෙනස් වෙන්නේ ආයෝජකයින් ආරක්ෂා කිරීමටයි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435