අයවැය පුස්සක් – වෘත්තීය සමිති නායකයෝ කියති!

රටක අයවැයක් යනු හුදු ආදයම් වියදම් පිළිබඳ ලියවිල්ලක් නොව එමගින් රටක ඉදිරි වසරක ජාතික වැඩපිළිවෙළක ප්‍රතිමූර්තියක් විය යුතුය. 2019 අයවැය යෝජනා ගැන මේවන විට බොහෝ දෙනා විවිධ අදහස් පළකරමින් සිටිති. ඒ අතර එහි අන්තර්ගත සමස්තයෙන් පොදුවේ ජනයාට ප්‍රයෝජනවත් විය හැකි කරුණු සැකෙවින් පහත පරිදි දැක්විය හැකිය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයේ මෙම වසරේදී රට මත රුපියල් කෝටි දෙලක්ෂ හත්දහස් නවසීයක ණය ගැනීමෙන් එක් පුද්ගලයෙකු මත අලුතින් රුපියල් අනූ හත් දහස් හයසිය හයක රාජ්‍ය ණය බරක් එකතු කර තිබේ. එසේම මේ වන විටත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය ගැනීම් මත දිවි නසා ගන්නා තත්ත්වයකට පත්ව සිටින ජනතාව වෙත විවිධ ණය ව්‍යාපෘති 29ක් සහ අමතර ව්‍යාපෘති 15ක් පමණ ප්‍රමාණයකින් තවත් වටයකින් අති විශාල ණයකරුවන් කිරීමේ පදනමක් සකස් කර ඇති බවද කිව හැකිය.
භාණ්ඩ හා සේවා මත මුළු බදු රුපියල් කෝටි 1,29,300කි. මුළු ජනගහණය 2,13,00,000 න් බෙදූ විට දිනක බදු බර රුපියල් 168.31කි. දිනකට ඩොලර් දෙකක අඩු ආදායම් ලබන ජනගහණය 91,16,000කි. ඒ අයගේ දිනක ආදායම රුපියල් 362.00 ට අඩුය. ණය ව්‍යාපෘති ගණනාවක් යෝජනා කර ඇත්තේ එවන් පසුබිමකය. වසරේ ණය පොලී ගෙවීමට පමණක් රු.කෝටි 91,300කි. ලක්ෂ 13ක් පමණ වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා රුපියල් කෝටි 77,800කි. වසරේ ණය වාරික ගෙවීමට කෝටි 66,500ක් වැයවන විට සමෘද්ධි, විශ්‍රාම වැටුප්, හදිසි ආපදා, වැඩිහිටි දීමනා, පොහොර සහනාධාරය ඇතුළු සහනාධාර රැසක් සඳහා වෙන් කර ඇති මුළු වියදම රුපියල් කෝටි 54,600ක් පමණි. රජයේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් කෝටි 2,40,300ක් වන විට ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් කෝටි 2,07,900කි.

විදේශ රැකියා සඳහා පිටත්ව යන 2,60,000ක් පමණ පිරිස ඇතුළු විදේශගත වන්නන්ගේ ගුවන්තොටුපළ ඇතුළත්වීම් ගාස්තුව ඩොලර් 10කි.
කැසිනෝ සූදුවෙන් අපේක්ෂිත බදු මුදල කෝටි 250ක් වන විට විදේශගත වන්නන්ගෙන් අය කරන ගුවන්තොටුපළ ගාස්තුවේ එකතුව රුපියල් කෝටි 800කි. තරුණයන්ගේු වෘත්තීය පුහුණුව සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරන ආණ්ඩුව , වන්ද්‍යාකරණ සැත්කම් මගින් සුනඛයින් බෝවීම පාලනය කිරීමටද රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.

මෙවර අයවැයෙන් ගුරු වැටුප් දෙගුණ වන බව පැවසුවද, එය සම්පූර්ණයෙන් ව්‍යාජයක් බව ගුරු සංගම් පෙන්වාදෙයි. 2016 වසරේ සිට රාජ්‍ය සේවකයින්ගේ දීමනාව මූලික වැටුපට එකතු කිරීම පදනම් කරගෙන නිකුත් කරන ලද 6/2006 චක්‍ර ලේඛයේ ඉතිරි වැටුප් වැඩිවීම මෙලෙස වැටුප් වැඩිවීමක් ලෙස හුවා දක්වා ගුරුවරුන් රැවටීමට ලක් කර තිබේ. සිසුන් 50ට අඩු පාසල් 1226ක් මෙම වසරේ වසාදැමීමට නියමිතව තිබේ. ඒ අතර ළමයින් 100ට අඩු පාසල් 3000ට ආසන්න සංඛ්‍යාවක් වැසීයාමේ අවදානමකට ලක්ව තිබේ. එසේ තිබියදී රජයේ පාසල් වැසීයාම වැළැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර නොමැති බව කිව යුතුය. පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා පවා ක්‍රියාත්මක නොවුණු පසුබිමක මෙවර අයවැයෙන් ද අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නැති බව කිව හැකිය.

ත්‍රවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන දීමනාව රුපියල් දහසේ සිට පන් දහස දක්වා අයවැයෙන් වැඩිකරන ලද බව ප්‍රචාරය කළද, එය වලංගු වන්නේ ලක්ෂ 3ක් පමණ ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් 3500ටත් අඩු කමන්ඩෝ බලකායේ අයට පමණක් බව අනාවරණය වේ. එයද ගුවන් හමුදාවට කිසිසේත්ම අදාළ නොවේ. මෙයට අමතරව ගෙවීමට නියමිතව ඇති පදක්කම්, නිල ලාංඡන, වර්ණ සහ නිල ඇඳුම් දීමනා මේ දක්වා ගෙවා නැති බව සඳහන්ය. එම දීමනාද ලබාදෙන බව ප්‍රකාශ කර තිබූ අතර දීමනාව රු.1000 සිට 5000 දක්වා ඉහළ දමන බව ප්‍රකාශ කෙරිණි. මේ නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අය බලාපොරොත්තු තබා සිටියහ. එහෙත් අදාළ දීමනා වැඩිකිරීම් මුළු ත්‍රිවිධ හමුදාවේම ඉහළ නිලයන්ගේ සිටින 600 දෙනෙකුට අඩු පිරිසකට පමණක් වලංගු වන බව අනාවරණය වී තිබේ. මේ අතර සියලුමදෙනා සඳහා වලංගු වන්නේ මසකට රුපියල් 255.00ක්ව තිබූ දීමනාව රුපියල් 525.00 ක් දක්වා වැඩි කිරීම පමණක් බවද සඳහන්ය. කෙසේ වෙතත් මෙවර අයවැය පිළිබඳ ‘වැඩබිම‘ වෙනුවෙන් වෘත්තීය සමිති නායකයින් හා ක්‍රියාධරයින් ගෙන් අප කළ විමසුමකදී ඔවුන් පළ කළ අදහස්වල සාරාංශයක් පහත දැක්වෙයි.

මේක පුස්සක්!

චතුර සමරසිංහ
සභාපති
ලංකා වතු සේවා සංගමය

‘‘අයවැය ගෙනෙන්න කලින් මැතිවරණ ඉලක්ක කරගනිමින් ජනතාවට සහන සලසන අයවැයක් විය ගෙනේවි යයි ජනතාවට බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් ලැබුණේ නැවත නැවතත් ජනයා පීඩාවට පත් පකරන අයවැයක්. රජය ආර්ථික අර්බුදයක සිටින බවට ඒක හොඳ නිදසුනක්. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම පාලනයක්, බදු බර අඩු කරලීම, පුද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයින්ගේ ජීවන වියදමට සාපේක්ෂ වැටුප් වැඩිවීමක්, ඒ කිසිවක්ම ලැබුණේ නෑ. රාජ්‍ය අංශයට වැඩි කළ සොච්චම් වැටුප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. 2017 රජය විසින් අහිමි කළ විශ්‍රාම වැටුප යළි බල ගැන්වීමක් සිදුවිය හැකියයි සිතුවත් ඒක වුණෙත් නෑ. වතු ක්ෂේත්‍ර යේ සේවකයින්ට දවසේ මූලික වැටුප රු.1000ක ඉල්ලීමට යම් සහනයක් ලැබේවි යයි කියලා බලාපොරොත්තු වුණත්. ඒකටත් සෘජු උත්තරයක් නෑ. රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම නුසුදුසු බව දැන දැනම තිබියදී එය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ සාදාගැනීමක් තියෙනවා. රුපියල අව ප්‍රමාණයවීමට පියවරක් නෑ. විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමට, උපාධිධාරීන්ගේ විරැකියා ප්‍රශ්නයට විසඳුමක් නෑ. වක්‍ර බදු හා සෘජු බදු අතර අනුපාතය 15:85% මේ රජය විසින් ප්‍රකාශට පත් කර තිබුණේ 40:60%ට කියලයි. ඒක දිගින් දිගටම පවත්වාගෙන යනවා. රටේ ණය බර ගැන කතා කරන වෙලාවක ඒක අවම කරන්න වැඩපිළිවෙළක් නෑ. කාන්තාවන්ගේ ශ්‍රමය වෙළෙඳ පළට ලබා ගැනීමට ඇතැම් කම්කරු නීති බාධාවක් බැවින් ඊට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට යෝජනා කරනවා. ඒක විහිළුවක්. අයවැයේ වියදම් ශීර්ෂ 194ක් බව කීවත්, එයින් මුදල් වෙන්කර ඇත්තේ 75ක් සඳහා පමණයි. ඒ නිසා මේක පුස්සක්. අයවැය හිගඟය 2019 දි දල දේශීය නිෂ්පාදනයෙන් 4.4ක්% බව පුරෝකථනය කරලා තිබුණා. 2018 වර්ෂයෙත් මේක 4.6ක් කියලා පුරෝකථනය කරලා තිබුණත්, එහි අගය 5.3ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. එහෙම වු‍ණේ අපේක්ෂිත බදු ආදායම නොලැබීම. ඒ නිසා මේ සංඛ්‍යා ගැන විශ්වාසය තියාගන්න අමාරුයි. විනාශකාරී ඓMF ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙනයමින් වැඩකරන ජනයා තවදුරටත් පීඩාවට පත් කරන , රටේ පීලිපැන්න ආර්ථික විනාශය නිසි මගට ගන්නට වැඩපිළිවෙළක් නැති පුහු අයවැයක්“
——-

අයවැයක් නොව ණය වැයක්!

සිල්වෙස්ටර් ජයකොඩි
ප්‍රධාන ලේකම්,
ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවක සංගමය(සී.එම්.යූ)

මේක අය වැයක් නෙවෙයි, ඇත්තටම ණය වැයක්. සාමාන්‍යෙයන් අය වැයක් කියන්නේ ආදායම් වියදම් ශේෂ පත්‍රයක්. පහුගිය අවුරුදු අයවැය යේජනා හා විසඳුම් ක්‍රියාත්මක වුණාද කියන එකත් ප්‍රශ්නයක්. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වගේ අත්‍යවශ්‍ය දේට වියදම් කරනවාට වඩා දෙගුණයක් ආරක්ෂවට වෙන් කරලා. යුද්ධය පැවති කාලටයට වැඩිය ආරක්ෂාව සඳහා වියදම් කරන්නේ කුමකටද කියන කාරණය මතුවෙනවා. ප්‍රති ත්‍රස්ත පනත ආදිය ගෙන ඒමේදි මතුවන කම්කරු විරෝධයට මර්දනය කරන්නට මේ අය දැන්ම තියා සූදානම් වෙනවා වෙන්නට පුළුවන්. සේවා නියුක්ති අයිතීන් පිළිබඳ ඒකීය පනතක් ගේන්න යනවා. එයින් දැනට තියෙන පඩි පාලක සභා අහෝසි කරනවා. දැනට සේවය අවසන් කිරීමේ පනත අහෝසි කරන්න නියමිතයි. දැනට කම්කරු ජනයාගෙන් 95%ට වඩා වෘත්තීය සමිතිවලට බැඳිලා නෑ. 5%ක් වැනි සුළු පිරිසක් තමා වෘත්තීය සමිතිගත වෙලා ඉන්නෙ. ඒ අයුරින් වෘත්තීය සමිති නියෝජනය නොකරන සාමාන්‍ය කම්කරුවන්ට රැකියා සුරක්ෂිතභාවය ඇතුළු ආරක්ෂණ විධිවිධාන තමා මේ අහෝසි කරන්න යන්නේ. අයවැය ගැන දැනට තියෙන රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. රජයේ විගණකාධිපති කියන්නේ 25%ක් අපතේ යනවා කියලා. ඒවා අපට කියලා වැඩක් නෑ. ඒ ගැන ක්‍රියාත්මක විය යුතු ආයතන හා පුද්ගලයින් ඒ ගැන මොකද කරන්නේ? යටිතල පහසුකම් මුදල් වෙන් කරන බව කියලා,විශාල මුදල් ප්‍රමාණයක් අධිවේගී මාර්ග ඇතුළු විශාල ව්‍යාපෘති සඳහා වෙන් කරලා තිබුණත් ගමේ පාර්වල් කැඩිලා, පොද වැස්සක් වැටුණත් ගං වතුර ගලනවා. ඒ ගැන කිසිදු තැකීමක් මේ අය වැයේ නෑ. ප්‍රවාහනය, සෞඛ්‍ය. අධ්‍යාපනය පිළිබඳ පෙන්වලා තිබෙන චිත්‍රය ඉතාම මතුපිට සරලයි. මිල සූත්‍ර තිබුණට කම්කරුවන්ට වැටුප් සූත්‍රයක් නෑ. හැම දේටම ණය ගන්න කියලා තමා කියන්නෙ. මේ අය වැයෙනුත් කසාද බඳින්නයි, ගෙවල් හදන්නයි ණය දෙන්න යනවා. ඒ නිසා රටක් හැටියට ණය වෙන අතරේම තව තවත් ණය කරන ණය අයවැයක්.“

—-
අධ්‍යාපනයට කිසිදු සාධනීය පියවරක් නෑ

ජෝෂප් ස්ටාලින්
ප්‍රධාන ලේකම්
ලංකා ගුරු සංගමය

මේක පැහැදිලවම ණය දීලා ජනතාව සංවර්ධන කරන්න හිතන අයවැයක්. නිවාස ණයේ සිට අධ්‍යාපනය දක්වාම ණය. ඔච්චර ණය දෙන්න ආණ්ඩුවට සල්ලි තියෙන්නෙ කොහෙද? ආණ්ඩුව ණය උගුලක හිරවෙලා සිටිද්දී මේ කරන්නේ ප්‍රචාරණවාදී ව්‍යාපෘතියක් විතරයි. අධ්‍යාපන ක්ෂේත්‍රය වශයෙන් සලකා බැලුවම කිසිදු සාධනීය යමක් යෝජනා වෙලා නෑ. ලා පාසල් ළමුන්ට කිරි වීදුරුවක් දෙන එක තමා ලොකුවටම යෝජනා කරලා පුළුල් ප්‍රචාරණයක් දෙන්නෙ. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව කියනවා. 1-5 ශ්‍රේණිවල ළමයි 17 ලක්ෂයක් ඉන්නවා. මිලියන 1000න් බෙදුවම ළමයෙකුට වැටෙන්නෙ රු.3.20යි. ඒ ගාණට මොන කිරි වීදුරුවක්ද? ඊළඟට විශ්වවිද්‍යාල ප්‍රෙව්ශය සඳහා උසස් පෙළ ළමුන් තුන් ලක්ෂයක් විභාගයට පෙනී සිටිනවා. එයින් 30,000ක් පමණයි විශ්වවිද්‍යාලවලට යන්නෙ. ඉතිරි අයට ආණ්ඩුව රුපියල් මිලියන 200ක් වෙන් කරන්නෙ ඒ අයට පුද්ගලික විශ්වවිද්‍යාලවල පාඨමාලා කරන්නට මුදල් දීමටයි. එයින් පුද්ගලික සමාගම් නඩත්තු කරනවාට වඩා ඒ මුදලින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අලුත් ශාලා පහසුකම්, නේවාසික පහසුකම් ඇති කරලා ඒ ළමයි ඇතුළත් කර ගැනීමට වැඩපිළි‍වෙළක් සකස් නොකරන්නේ ඇයි? තුන් ලක්ෂයකින් ළමයි 14 දෙනෙකු තෝරාගෙන විදේශ විශ්වවිද්‍යාලවලට යවනවා. ළමයි ලක්ෂ තුනකින් 14 දෙනෙකු කියන්නේ මොන තරම් සුළු කොටසක්ද? එයින් අධ්‍යාපනය නඟා සිටුවිය හැකිද? පුද්ගලීකරණය ශක්තිමත් කරන ආයවැයක් මිසක් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කිසිදු යෝජනාවක් නෑ. මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට ගෙනාවේ කාරණා දෙකයි. ‘ළඟම පාසල හොඳම පාසල“ කියලා 2015දි ආරම්භ කළ ව්‍යාපෘතියත් ප්‍රචාරණ වැඩපිළිවෙළක් විතරයි. කිසිදු සාධනීය දෙයක් ඉතිරි වෙලා නෑ. ‘13 වසරක අධ්‍යාපනය‘ කියන එක අවුරුදු දෙකකට කලින් පටන් ගත්තා. ඒකටත් අති විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා ප්‍රචාරණය කළා. මිලියන ගණනක්.ඒත් කිසිදු සාධනීය දෙයක් නෑ. ප්‍රචාරණවාදී අධ්‍යාපනයක්, ණය මත ගෙවන ආර්ථිකයක්.“
—-

සුරංගනා කතා ගොඩක්!

ඩී. මලවිසූරිය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,
ආහාර බීම දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය

‘‘මේක අයවැයක් නෙවෙයි. සුරංගනා කතා ගොඩක් විතරයි. විශේෂයෙන්ම අප නියෝජනය කරන්නේ පුද්ගලික අංශයේ සේවකයින්. පුද්ගලික අංශයේ සේවකයින්ට තඹ සතයක වැඩක් නෑ. ඵලදායිකත්වයක් නෑ. ණය ගොඩක් විතරයි. හොඳ අයවැයක් වශයෙන් අගය කරන්නට කිසිදු සාධනීය දෙයක් නෑ. “

ලාල් බංගමුවගේ
සභාපති,
ස්වාධීන වරාය සේවක සංගමය

‘‘මෙවර අයවැය සුරංගනා අයවැයක්. රජයකට වඩා ණය දෙන බැංකුවක් විදිහට තමා ආණ්ඩුව කටයුතු කර තිබෙන්නෙ. විදේශ ශ්‍රමිකයන්ට රුපියල් කෝටියක ණයක් දෙනවා කීවත් ඓහම දෙන තැනක් නෑ. දෙන්න විදිහක් නෑ. බැංකු කියන්නෙ තාම වැඩපිළිවෙළක් නෑ කියලා. විවාහක යුවල සඳහා ණය දෙන්න කිසිදු පටිපාටියක් කනෑ. සමෘද්ධි ලාභීන්ට ත් දෙන්න යනවාලු. අනුකම්පාවක් ඇතිවෙලා බවක් පෙන්නන්න යනවා. මොකද ජනාධිපතිවරණයක් අත ළඟ. එහෙම තියෙද්දිත් දෙනවා කියන කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් නෑ. රජයේ සේවකයින්ට ජූනි මාසේ සිට වැටුප් වැඩිකරන බව කීවත් දැන් සිටම බදු අය කරගනිමින් ඉන්නවා. ජීවන වියදම් ඉහළ ගිහින් රජයේ සේවකයින් ඇතුළු ගොවි කම්කරු සියලු ජනයා අසීරැවෙන් ජීවත් වෙන්නෙ. ණය ගත්තු තැනක් වත් දීපු තැනක් වත් නෑ. ජනතාව රවටන සුරංගනා කතාවක් විතරයි“
—-

-පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435