අරගලකාරී ලෙස මෙවර මැයි දිනය සැමරමු

විජේපාල වීරකොන්

එක්සත් කම්කරු සම්මේලනය ජාත්‍යන්තර ලේකම් හා වානිජ හා කාර්මික සේවක සංගමයේ භාණ්ඩාගාරික

ධනපති පක්‍ෂවල මැයි දින සංදර්ශන වෙනුවට ලංකාවේ කම්කරුවන්ට තම සැබෑ ඉල්ලීම් මුල්කර ගනිමින් අරගලකාරී ලෙස මෙවර මැයි දිනය සැමරීමේ අවස්ථාවක් ධනපති පන්තිය විසින්ම උදා කර දී ඇත. ඒ ජාත්‍යන්තර මැයි දිනය වන මැයි 1 දින මැයි දිනය සැමරීමට කම්කරුවන්ට තිබූ අයිතිය ඉවත් කර එය මැයි 7 වන දිනට පැවැත්වීමට මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව තීරණය කිරීම මගිනි. සාමාන්‍යයෙන් වෙනත් මැයි දිනවල පවත්වන පෙළපාලි සහ රැලි පිළිබඳව ප‍්‍රචාරය කිරීමේ දී මාධ්‍ය මගින් ප‍්‍රචාරයේ මුල් තැන දෙනු ලබන්නේ ධනපති පක්‍ෂ පවත්වන මැයි දිනවලට සහභාගි වන ජන සංඛ්‍යාව සහ එම රැළිවල කරන කථා පිළිබඳවය. කම්කරුවන්ගේ ඇත්ත මැයි දින පිළිබඳව ප‍්‍රචාරය කෙරෙන්නේ නැති තරම්ය. පසුගිය වසරේ මැයි දිනයේ දී වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව පැවති මැයි පෙළපාලිය සහ රැලිය දැවැන්තම කම්කරු රැලිය විය. නමුත් එය මාධ්‍ය මගින් වාර්තා නොකෙරිණි.

එක්සත් කම්කරු සම්මේලනයට මැයි දිනය සැමරීම සම්බන්ධව අත් දැකීම් රාශියක් ඇත. 1977 දී සම්මේලනය ආරම්භයේ සිටම සෑම මැයි 1 දා දිනකම එය අභිමානවත් ලෙස සමරනු ලැබීය. 1987 දී ජේ ආර් ජයවර්ධන විසින් මැයි දින පෙළපාලි සහ රැස්වීම් තහනම් කළ අවස්ථාවේ දී එම තහනම නොතකා එක්සත් කම්කරු සම්මේලනය කොම්පඤ්ඤ වීදියේ සිට ඉබ්බන්වල හන්දිය දක්වා පෙළපාලියකින් ගමන් කොට එවකට තිබුණු වාමාංශික පක්‍ෂ වන නව සමසමාජ පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ මහජන පක්‍ෂය සමග එක්ව මහපාරේ මැයි දින රැලියක් තැබීය. පොලිසිය පැමිණ කඳුළු ගෑස් ගසා බැටන් ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හරිනු ලැබීය.

1996 චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදීද යුද්ධය මුවාවෙන් නැවත වරක් මැයි දිනය තහනම් කෙරිණ. එම වතාවේද එක්සත් කම්කරු සම්මේලනය, නව සමසමාජ පක්‍ෂය සමග කොම්පඤ්ඤ වීදියේ ඩි මෙල් පිටියේ සිට යුනියන් පෙදෙස හරහා පෙළපාලියකින් ගමන් ගත් අතර එම පෙළපාලියටද පොලිසියෙන් ප‍්‍රහාර එල්ල කරනු ලැබීය. පොලිසිය සමග කරන ලද දැඩි අරගලයකින් පසුව වික‍්‍රමබාහු සහෝදරයාට පමණක් පෙළපාලියේ නියමිත මාගර්ය අවසන් වන තෙක් ගමන් කිරීමට ඉඩ දෙන ලදී. පසුව  ඔහු සමග තවත් දස දෙනෙකුට පමණ සටන් පාඨ කීමෙන් තොරව පෙළපාලියේ යාමට හැකි විය. පොලිසිය රැලියට සහභාගිවීමට පැමිණ ඩි මෙල් පිටියේ ඳී සිටි පිරිමින්ට සහ කාන්තාවන්ටද එලව එලවා පහර දුනි. එයින් සහෝදර සහෝදරියන් ගණනාවකටම තුවාල සිදු විය. මැයි දින පෙළපාලියට සහ රැස්වීමට පහර දීම පිළිබඳව සම්මේලනයේ සභාපති සරණපාල සිල්වා සහෝදරයා විසින් පොලිසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර එහිදී පොලිසිය වරදකරු බවට තීන්දු කර අදාල පිරිසට වන්දි ගෙවන ලෙස පොලිසියට නියම කරන ලදී.

දැන් ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ වෙසක් උත්සවය නිසා මැයි දිනය නිමිත්තෙන් 1 වන දිනට යොදා ඇති නිවාඩු දිනය අවලංගු කර එය 7 වන දා ලබා දෙන බවයි. නමුත් වෙසක් දිනය යෙදී ඇත්තේ අපේ‍්‍රල් 29 දාටය. සිල් සමාදන් වන අයට ඉන් බාධාවක් නැත. වෙසක් සැරසිලි නැරඹීමට අවශ්‍ය අයට ඒ සඳහා 30 දිනයද යොදා ගත හැක. මැයි 1 වන දිනද පෙළපාලි සහ රැලි පැවැත්වෙන්නේ දහවල් කාලයේ නිසා වෙසක් බැලීමට එන අයට එයින් බාධාවක් වන්නේද නැත. එම නිසා අප කල්පනා කරන්නේ ආණ්ඩුවට මැයි දිනයක් පැවැත්වීමට හැකියාවක් නැති නිසා මෙම කල් දැමීම කළ බවය. ඒ සමගම කිවයුතු වන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනස් කිරීමට ලංකාවේ ආණ්ඩු පාලකයන්ට අයිතියක් නැති බවයි. එය කම්කරුවන් සිය ජීවිත පරිත්‍යාග කර දිනා ගත් අයිතියකි. එය කම්කරුවන්ගේ දිනයයි. දැනට ලංකා බැංකු සේවක සංගමය, සී එම් යූ, ලංකා වතු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 20 කට අධික සංඛ්‍යාවක් මැයි 1 වන දින මැයි දිනය සැමරීමට තීරණය කර ඇත. එමනිසා ඒ වෙනුවෙන් මැයි 1 වන දින කොළඹ කොටුවට පැමිණෙන ලෙස සෑම කම්කරුවෙක්ගෙන්ම ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435