අවසන් ගමන් යන  සැවන් පැදුරට සවන් දෙනු මැන

සැවන් පන් පැදුරු නැතිනම් කළාල අපූරු පාරම්පරික දේශීය නිෂ්පාදනයකි. එහි දේශජ බව හා සුන්දරත්වය එහි වටිනාකම වඩාත් ඉහළ දමයි. නිවසේ ඇඳ මත එළා ඒ සුන්දර නිමැවුම මත්තෙහි සිරුර සැතැප්පවූ කල්හි අපූරු සිසිලසක්‌ සුවයක්‌ සිරුරට දැනෙයි. පන්සලේ බණ මඩුවේ එදා කෙතරම් වේලා ධර්ම ශ්‍රවණය කළද සිරුරට සිසිලසක්‌ මිස, උණුසුමක්‌ නොදෙයි. වර්ණ ගන්වා රටා මෝස්‌තර වියා නිම කළ අපූරු ආස්‌තරණ නිවෙස්‌ ආයතන කාර්යාල හැඩ කරවයි.

එහි සොඳුරු බව තරම් එය නිපැයුම, සොඳුරු නැත. එහි හිඳ ගන්නා තරම් ලේසිද නැත. සැවැන් පන් එකින් එක අමුණමින්, වියමන් කරන කාර්යය සරළද නැත. මෝස්‌තර රටා යොදමින් සුන්දර ලෙස එය වියන කර්මාන්තකරුවනගේ ජීවන වියමන් රටාවද සුන්දර නැත. එය ඩහදිය ලේ කඳුළු මුසු වූද, අපරිමාණ වේදනා, දුක්‌, පසුතැවිලි සපිරුණා වූද එකම ශෝකී ගීතයකි.

රටේ සෑම තැනකම නොමැති එසේම හැමෝටම කිරීමටද නොහැකි මෙම කර්මාන්තය එක්‌තරා පිරිසකට ආවේණී කර්මාන්තයකි. පිරිස මෙන්ම, මෙම කර්මාන්තයට අනන්‍ය වූ කලාවක්‌ තාක්‌ෂණයක්‌ වදන් මාලාවක්‌ සංස්‌කෘතික හැඩයක්‌ හා ඉතිහාසයක්‌ ද පවතී. අප රටේ ඉපැරැණි කලා ශිල්පයක්‌ මෙන්ම, අත්කම් ලොවටම හඳුන්වා දීමට මෙම කර්මාන්තය සමත්ය.

වයඹ පළාතේ මේ කර්මාන්තය සිදු කරන වාරියපොළ මැතිවරණ කොට්‌ඨාසයේ, බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දෙමටමලුව ”හීන්නපල්ල” ගමට ගියෙමි. පුත්තලම, කුරුණෑගල මාර්ගයේ හංහමුණුව හන්දියෙන් කුරුණෑගල සිට එන විට වම් අත පැත්තේ වූ අතුරු මාර්ගයේ කි. මී. 4-5 ක්‌ වූත් යළිත් වම් අත පැත්තට ඇති බොරළු මාර්ගයේ කි. මී. 2 පමණ ගිය විට හීන්නපල්ල, ගම හමුqවෙයි. සුන්දර වෙල් යායද විහාරස්‌ථානයක්‌ද, කොස්‌ ගස්‌ රෑනක්‌ද ගමට හිමිය.

ගමේ කුඩා කඩයක්‌ අසලදී උක්‌කුවා දුරයලාගේ ජයරත්න මටත්, මා සමඟÊගිය චමින්දටත් මුණ ගැසිණි. සෙලෝපේන් ගැසූ පෙට්‌ටියක තිබූ බනිස්‌ ගෙඩි දෙක තුනක්‌, ස්‌පන්චි කීපයක්‌ ශැම්පූ පැකට්‌ වැල් දෙක තුනක්‌, සබන් හත අටක්‌ ඔවුන්ගේ වත්මන් ජීවන දිවි පැවැත්ම කල් තබාම අපට හඳුන්වා දුන්නේය. ජයරත්න අප සමඟ කතාවට එක්‌විය.

”මේ කරුමාන්තේ අපේ මිනිස්‌සු විතරයි කරන්නේ. මම ආඩම්බරයෙන් කියනවා අපි කින්නර කුලේ උදවිය කියලා. එහෙම කියන්නේ මේ උතුම් කරුමාන්තේ කරන්න දන්නේ වගකීම පැවරිලා තියෙන්නේ අපේ උදවියටම හින්දා.”

රටේ නිපැයුම් කුලයක සාඩම්බර හිමිකරුවකු වීම ගැන ඔහු සාඩම්බර ලෙස සිතයි. ඒ සාඩම්බර බොරු සාටෝපයක්‌ නොවේමය. රටේ අන් නිෂ්පාදකයන් සේ නිෂ්පාදකයෙකි.

කින්නර කුලේ ගම් නවසිය අනූනවයක්‌ තිබුණා. ඒත් දැන් තියෙන්නේ නවයයි. ගම්මාන විතරක්‌ නොවෙයි, මේ කරුමාන්තෙත් දැන් වසැංගිලා. කින්නර කුලේ කියලා කියන්න අලුත් පරම්පරාවල් ලෑස්‌ති නෑ. එක අතකට ඒකෙත් ඇත්තක්‌ තියෙනවා. එහෙම වුණාම අපට කෙණෙහිලි, පාත්කම්, නොසැලකිලි, රිදවිලි වැඩියි. පැදුරු හන්දා අපේ කුලේ එළි දකිනවාට දැන් ඉන්න පිරිස අකැමැතියි. ලැඡ්ජයි. ඔහු කඳුළුබර කතාවක්‌ කියාගෙන එයි.

මහත්මයා දන්නවාද ඔය පන් ගෙනෙන්නේ හැතැප්ම (200) දෙසීයක්‌ විතර දුරින් කියලා. ඔව්වා ගේන්නේ අම්පාර, මහඔය, උණු වතුර බුබුල වගේ ප්‍රදේශවලින්. ඇරත් සැවන් පන් අනික්‌ පන් වර්ග වගේ වතුරේ වැවෙන් නෑ. තෙත ගොඩකරේ යායටයි හැදෙන්නේ.

ඇයි මේ ළඟ පාත ගම්වල වැව් ළඟ වැවෙන්නේ නැද්ද? යනුවෙන් මා ඇසූ පැනයට ඔහු දුන් පිළිතුර අප කාගෙත් විමර්ශනයට භාජනය කළ යුතුය.

තිබුණා, තිබුණා ඒ ඉස්‌සර. දැන් වගාවලට ගහන තෙල් බේත් ජාති හින්දා ඒවා වඳවෙලා. විනාස වෙලා ගිහින්. ඒකයි අපට අච්චර ඈතට යන්නට වෙලා තියෙන්නේ.

ඉතින් පන් කපන්න ගමේ පළපුරුදු අය 7, 8 දෙනෙක්‌ කල් ඇතිවම පේවෙන්න ඕනි. මේක දේව කාරියක්‌. ඒ හින්දා අයියනා මුත්තට පොල් ගෙඩියක්‌ කිරි මුට්‌ටියක්‌ උතුරවන්න බාර වෙලා. මස්‌ මාංශ නොකා, පිරිසිදු වෙලා ගමන පිටත් වෙන්න ඕනි.

අම්පාර, මහඔය, උණු වතුර බුබුල වගේ තැන්වල යායට හැදුණු පන් කපන්න නම් දවස්‌ දාහතරක්‌ විස්‌සක්‌ එහෙ කැලෑගත වෙන්න ඕන. එහෙ අලියා, වළහා, නයා, පොළඟා සතා සීපාවා නිතර ගැවසෙනවා. ඉතින් වාඩි ගහගෙන ප්‍රවේශමෙන් ජීවත් වෙන්න ඕනෑ. එහෙ ගිහිල්ලත් පොල් ගෙඩි එල්ලලා දෙයියන්ගේ ආශීර්වාදෙන් අකටයුත්තක්‌ නොකර ජීවත් වෙන හින්දා කරදර නම් නෑ.

එහෙ ගිහිල්ලා එළවළුයි, බතුයි තමයි කන්නේ. ඔයවල් අයිනේ හිටියට මාළුවෙක්‌ වත් ඔයෙන් අල්ලන්නේ නෑ, බුබුලේ වරාපිටිය, පොල්ලේබැද්ද, ඇල්ලේ ගොඩැල්ල, කැකිරාව, මහඔය වගේ ඈතටත් සමහර දවස්‌වල පන් කපන්න යනවා.

”උදෙන් නැගිටලා, දවල්ටත් එක්‌ක කනවා. දවල්ට කියලා කෑමක්‌ නෑ. උදේ හත පහුවෙලා එළි බහින්න ඕනි. නැතිනම් අලි හතර වටේම. අඩි (3-0) තුන තුනහමාරේ අත් කෝටුවක්‌ කපාගෙන ඒ මිනුමට පන් මුලින් කැපුවත් පස්‌සේ උස පුරුද්දට පන් කපනවා. රියන් දෙකයි අඟල් හතරයි මිනුම. පන් කපන්න වෙනම පිහි තියෙනවා. කපන ක්‍රමයකුත් තියෙනවා.

පුල්ලෙයාර් මුත්තට පොල් ගෙඩියක්‌ මුඩ්ඩ පිටින් ගහක එල්ලලා යාදිනි කරලා කන්නලා කරලා කියනවා. ‘නැති බැරි කමටයි ආවේ වන සතා සීපා වැහි පල කරදර දුරු කර දෙන්න අවසර බෝයි දෙයි හාමුදුරුවනේ කියලා, ඊට පස්‌සේ අපි කට වරද්දා ගන්නේ නෑ. කොයි යම්ම මොහොතකදී වත් වැරදුණොත් දේව දඬුවම් තමයි. අපිට එහෙම වෙලා තියෙනවා. පන් කපන්න ගත්තොත් ඉවර වෙනතුරුම කපන්න ඕනි. බැරිවෙලාවත් අද අමාරුයි බැහැ කියලා හිතුවොත් ආයිත් කපන්න ඉඩ දෙන්නේම නෑ. අලියා එනවා. වහිනවා. සර්පයෝ එවනවා. අපි අච්චර දවසක්‌ ඉන්නවා කියලා කට වරද්දා ගන්නේ නෑ. එහෙම වුණොත් පහුවෙනිදාම ආපසු එන්න කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වෙනවා. වැඩ ටික ඉවර වුණාම එහෙනම් ගම් බලනවා නේද?. සරි බරි කරගෙන ගම් බලමු. ආදී වශයෙන් තමයි කතා කරන්නේ.

කපන්න ගත්තම නිමාවක්‌ නෑ කපනවා. ඒවා එදාම වැල්ලේ දාලා තුනී කරලා වේලෙන්න දාන්න ඕනි. හැබැයි අවු කරවෙනකම් තිබ්බොත් පන් ගහ කැඩෙනවා. තැම්බිලා පදම් වුණාම රෑ එළිවෙනකන් ගිනි එළි ගහගෙන පන් ඉරා ගන්නවා. ඉතින් ඒ දවස්‌වල දවල් රෑ කියලා වෙනසක්‌ නැතිව දිගටම පන් වැඩ. ගෙවල් ගෑනු දරුවෝ අමතක කරලයි මේ වැඩේට බහින්නේ. දැන් නම් ෆෝන් තියෙන හින්දා හොඳයි. නැත්නම් සිරිපාදේ ගිය වාගේ තමයි.

පන් ඉරලා සකස්‌ කරන්නේ අර බුලත් කඩන්න වාගේ මිනුම් පිළිවෙළකට. පන් අත් මිටි හය (06) ක්‌ ඉරූ මිටි එකයි. ඉරූ මිටි තුන (03) ක්‌ පාත්ති මිටි 01. පාත්ති මිටි දොළහක්‌ (12) ගෙඩි මිටි 01. ඔය වගේ මිනුම් තමා තියෙන්නේ. ඉතින් මේ වගේ මිටි බැඳලා ලොරියකට බඩු ලෑස්‌ති කරලා අම්පාරෙන් ලොරියක්‌ කුලී ගෙවාගෙන පටවලා ගේනවා. ලොරි කුලී රුපියල් 25000 ක්‌ 30000 ක්‌ මඟට තව වියදං. ඉතින් මෙහාට එද්දී හැවන් පන් මිටියක්‌ රුපියල් දෙසිය පනහට (250) වැඩි වුණොත් අපට හොඳටම පාඩුයි.

පනු පැදුරක්‌ කළාලයක්‌ වියලත් අපට දෙන්න වෙන්නේa රු. 150/=, 200/=, වගේ මුදලකට තමයි. ඉතින් ඔය වගේ පොඩි ලාභයක්‌ තියාගෙන තමයි අමාරුවෙන් මේ කරුමාන්තේ කොරන්න වෙලා තියෙන්නේ. අර හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වගේ, ලොරිවලින් අතරමගදී කප්පන් ගන්නත් සමහර පොලිස්‌ මහත්තුරුත් සූදානම් වෙනවා. ඒ. ජී. ඒ. ඔµsස්‌ වල මහත්තරුත් පන්වලට මුදලක්‌ බදු වශයෙන් ඉල්ලනවා. අපි කාටද කියන්නේ මහත්තයෝ මෙව්වා.

කින්නරයෝ කියලා අපිට ගම්වලත් හිරිහැර. දැන් ළමයිත් මේ වැඩේ අතාරිනවා. උන්ටත් ලැජ්ජයිලු. මං නම් ලැජ්ජා බය නෑ. මේක අපේ පරම්පරාවේ කරුමාන්තයක්‌ නේ. හැබැයි අපි යන්ත්‍ර මන්ත්‍ර සෑස්‌තරෙත් දන්නවා. ඒ හින්දා දන්න අය අපට කෙණහිලි කරන්න එන්නේ නෑ. අදටත් අපේ ගම්වල ළමයි වලිප්පුවට ඉස්‌පිරිතාලේ ගෙනියන්නේ නෑ. මම මතුරලා එක කහ නූලයි දාන්නේ සදහටම ඒ රෝගේ නෑ. ඉපදිලා මාස තුනෙන් කහ නූල් දා ගත්තාම ඔක්‌කොම හරි. ඕනෑම විෂ සර්පයෙක්‌ කෑවොත් අපේ ගමෙයි, අවට ඈත ගම්වලයි ලෙඩා අපේ මන්ත්‍ර හා බේත් බලයෙන් හොඳ වෙනවා. එක්‌කෙනෙක්‌වත් මැරිලා නෑ. සර්පයෝ කාලා කවදාවත් අපි රෝහල්වලට ගිහින් නෑ. ළමයි හම්බ වෙන්නේ නැති ස්‌ත්‍රීන්ට ශරීරෙට සිංහල බේතුයි මන්ත්‍ර ජප කළ යන්තරෙයි දානවා. එහෙම දරුවෝ කොච්චර හම්බ වෙලා තියෙනවද?

ඔහු තවත් කවි කියයි, ගයයි. ඔහුගේ මව කේ. ඩබ්. පුංචි (69) පැදුරු වියමන ගැන මෙසේ කියුවාය.

ඔය ගේන පන් ගොඩ ගහන්නේ හෙවන ඇති තැනක. ඊට පස්‌සේ පන් එකින් එක සීරුවට අරන් පැය 2 කින් විතර වියමන හමාර කරනවා. දෙපැත්ත කොන් කපලා ගැට ගහල රෙදි පටි තියලා මහලා වැඩ නිම කරනවා. රටා වියනවා නම් දවස්‌ 2-3 යනවා නිම කරන්න.

කළාල විවීමට අමතරව ඔවුහු චාමර (සෙමර) හවරි සැදීමද කරති. ඒ හණ, නියද, ගෝනි පතුරු ගස්‌ වල කෙඳි වලිනි. බුලු, කදුරු, කොරකහ යන දේවල් හැලියකට දමා තම්බා වර්ණ සාදා ගනිති.

බමුණාකොටුව කොට්‌ඨාසයේ දුප්පත්ම ගම තම ගම බව ඔවුහු කියති. අපේ රස්‌සාව දැන ගත්තට අද සමාජයේ ඇති පිළිගැනීම ඔවුනට ජීවනෝපායට බාධාවකි. පාසලක්‌ ඇත්තේ කිලෝ මීටර් හය හතක දුරිනි. කුඩා වැව් කොටුවකින් අක්‌කර විස්‌සක පමණ ගොවිතැන් කෙරෙයි. රජයේ රැකියාකරුවන් ඇත්තේ කීප දෙනෙකි. ඔවුන්ද ගම හැරලා යනු ඇති. ඉන්පසු ඔවුන්ගේ නිවෙස්‌වල ඇඳන් මතට චීන පැදුරු ප්ලාස්‌ටික්‌ ඉමිටේෂන් කළාල, අරාබි කළාල පැන ලැගුම් ගනු ඇත. ජයරත්නගේ දුවලා ලසන්ති හා හසන්ති ලා ඒවායේ අපූරුවට සැතපෙනු ඇත. තනිවූ සැවන් පන් අම්පාරේ මහ කැලයේ වල් අලින් සමඟ වල් වැදී තිබෙනු ඇත. කලකින් අපේ පාරම්පරික සැවන් පන් පැදුරු කර්මාන්තය ද වල් වදිනු ඇත.

ටෙරන්ස්‌ වනිගසිංහ දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435