අස්ථාවර දේශපාලන ත්ත්වයක වෘත්තීය සමිති ගත යුතු ස්ථාවරය ගැන කතිකාවතක්

පවත්නා අස්ථාවර දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් ගත යුතු ස්ථාවරය පිළිබඳ අද (01) ස්වාධීන වෘත්තීය සමිති 20 කින් සමන්විත ‘පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය‘ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එකී නිවේදනය පහත පරිදිය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත්කොට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීම හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනතාව නිවැරදිව දැනුම්වත් කිරීම උදෙසා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට 2018.10.29 වන දින රැස්වූ පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති විසින් තීන්දු කරන ලදී.

වර්තමානයේ රටේ පවතින තත්වය දේශපාලන කුමණ්ත‍්‍රණයක් හෝ ව්‍යවස්ථා අර්බුදයක් ලෙස ලඝුකොට සැලකීම නොකළ යුතු බවට අප සංවිධානය තීරණය කර ඇත. මෙය හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙන් බැහැර ක‍්‍රියාවලියක දීර්ඝ කාලයක් නිරත වූ පක්‍ෂ දෙකක බල අරගලයක උච්ච අවස්ථාවක් පමණි.

ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනයක අවම අවස්ථා පවා අහුරා දමමින් ජන මතයට පිටුපාමින් ජනතාව දිගින් දිගටම මුලාවට සහ රැවටීමට පත්කළ පක්‍ෂ දෙකක් ඔවුන්ගේ බල අරගලයේදී ජනතාව ඉදිරියට දමා ‘‘ව්‍යවස්ථානුකූල’’ ජනතා මුද්‍රාව ලබාගැනීම උදෙසා ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට පත්කිරීම තරයේ හෙළා දකින්නෙමු.

මෙම ක‍්‍රියාවලියේදී තමා අනුගමනය කළ ක‍්‍රියා පටිපාටිය ප‍්‍රජාතාන්ත‍්‍රික සහ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුරූප බවට ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා උත්සාහ දරන දෙපාර්ශවයේම පාලක පිරිසට ඔවුන් අද කතාකරන ප‍්‍රජාතාන්ත‍්‍රික ගුණාංග ඔවුන්ගේ පාලන සමයන්හී අමු අමුවේ උල්ලංඝණය කළ අයුරු සිහිපත් කරදීම අතිශයින්ම වැදගත්ය.

ඔවුන් ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා සියල්ල අමතක කරමින් ‘‘මහජනතාව’’ ඉදිරියට දමමින් තම බල ලෝභය සුජාතකරණය සඳහා ඔවුන් මහ ජනතාවම පලිහක් සේභාවිතාකරමින් ඇත. ඒ ජනතාවගේ ජීවිත අවදානම ගැන නොසිතමින් බව ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඛණිජ තෙල් සේවකයින් අතුරින් එක් අයෙකු මිය යාම මගින් තහවුරු වී ඇත.

ජනපීඩක රාජපක්‍ෂ සමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාපිලිවෙතට එරෙහිව එම පක්‍ෂයේම මහලේකම්ව සිටි මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වන්නේ 2015 වසරේදීය. ඒ, යහපාලනය නම් වූ වෙස් මුහුණක් පළඳා ගනිමින් බව පසුගිය වසර 3 1/2 ක කාලය තුළ ජනතාවට අදියරෙන් අදියර ඒත්තු ගැන්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇත. මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් පත්කර සිදුකළ කූප‍්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩිය තනිකරම වත්මන් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිදුකළ මහජන මුදල් මංකොල්ලයකි. අද එකිනෙකාට ඇඟිලි දිගුකළද මෙය ඊනියා වත්මන් පාලක රෙජීමයේ ප‍්‍රතිඵලයකි.

රජයේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව, ආයෝජකයින්ට හිතකර අයුරින් කම්කරු නීති සංශෝධනය, හම්බන්තොට වරායේ සිට රාජ්‍ය බැංකු විකිණීම දක්වා වූ ජන සම්මතයන්ට විරුද්ධ ක‍්‍රියා මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව සිදුකළේ ජනතා මතයට පයින් ගසමිනි. පොහොර සහනාධාර කප්පාදුව, නිල ඇඳුම් සහනාධාර කප්පාදුව, ජනතාව කබලෙන් ලිපට ඇද දමන බදු ප‍්‍රතිපත්ති, සේවක සුභසාධක වරප‍්‍රසාද මත බදු අයකිරීම, මාසිකව ඉන්ධන මිල වැඩිකරන මිල සූත‍්‍ර, වෘත්තිකයින්, දේශීය ව්‍යවසායකයින් මෙන්ම කම්කරුවන් සුන්නද්දූලි කළ ඊනියා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, සේවක අර්ථ සාධක අරමුදල වනසන ඊනියා ධවල පත‍්‍රිකා ආදිය මගින් වත්මන්  ආණ්ඩුවේ ජනපීඩක අත්තනෝමතික ක‍්‍රියාකලාපයන් පිළිඹිබු කර ඇත.

වසර 30 ක යුද්ධය අවසන් කළායැයි පවසමින් සදාකාලිකව බලයේ රැඳීසිටීමට සිහින දුටු රාජපක්‍ෂ පාලනය 2015 දී ජනතාව විසින් ඉවත් කරන ලද්දේ රාජපක්‍ෂ පාලනයේ පැවති සමාජ විරෝධී, ජනතා විරෝධී, අත්තනෝමතික සහ හිතුවක්කාර ක්‍රියා හේතුවෙනි.

රාජපක්‍ෂ සමයේ පානීය ජල අයිතිය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තබා ජනතාව මරා දැමීම, භූමිතෙල් ඇතුළු ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මතුවූ විරෝධතාවලදී හලාවත ධීවරයින් වෙඩි තබා ඝාතනය කිරීම, විශ‍්‍රාමයකට මුවාවී සේවකයින්ගේ එකම සමාජ රක්‍ෂණ ආවරණය වූ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල් කොල්ලකෑමට

කම්කරුවා එරෙහිවූ විට කටුනායක දී කම්කරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම රාජපක්‍ෂ රෙජීමයේ නිර්දය මර්දනයේ කූඨප‍්‍රාප්තීන් විය.

 වෘත්තීය සමිති වැඩවර්ජන මර්දනයෙන් යටපත් කළ රාජපක්‍ෂ පාලනය විශ්වවිද්‍යාල අචාර්යවරු මාස 3 ක් වර්ජනය කළත් නෑසු කන්ව සිටියහ. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් අරගල කළ සිසු දරුවන්ට සෑමවිටම කඳුළු ගෑස් සහ අධිපීඩක ජල ප‍්‍රහාර එල්ල කිරීමට රාජපක්‍ෂ පාලනය පසුබට නොවීය. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම, අතුරුදහන් කිරීම සහ පහරදීම, රාජපක්‍ෂ රෙජීමය විසින් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් පැහැර ගැනීම සහ පහරදීම, පෝද්දල ජයන්තට මරණීය තුවාල සිදුකිරීම තුළින් ප‍්‍රායෝගිකවම ඔප්පු කරන ලදහ. තම රැකියාවේ අයිතිය ඉල්ලා මහපාරේ සිටි ටෙලිකොම් මෑන්පවර් සේවකයින්ගේ හඬට කිසිදා රාජපක්‍ෂ පාලනය ප‍්‍රතිචාර නොදැක්වූහ. හාම්පුතුන් වෘත්තීය සමිති කඩා ඉහිරවා ජාත්‍යන්තරව පිළිගත් සංවිධානයවීමේ අයිතිය අහිමි කරමින් කම්කරුවා අමතකකර හාම්පුතාගේ පැත්තගත් ඉතිහාසයට සාක්‍ෂි රාජපක්‍ෂ සමයේ  ඕනෑ තරම් තිබේ.

රාජපක්‍ෂ සමයේත්, වත්මන් ඊනියා යහපාලන පූට්ටුවත් දෙකම හවුලේ කළ උමා ඔය බහු විනාශකාරී ව්‍යවසායත්, සයිටම් හොර වෙද කඩයත් කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී දැයි ජනතාවට අමතක කළ නොහැක.

ඉහත දක්වා ඇත්තේ ආසන්නතම පක්‍ෂ ආණ්ඩු දෙකක සුවහසක් ජනපීඩක ක‍්‍රියාන්විත රැසක සංක්‍ෂිප්තයක් පමණි. තවත් බොහෝ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා පෙළ ගැස්සවිය හැකිවූවත් ඒවා මෙහි සටහන් නොකරන්නේ ඉහත උදාහරණ පමණක් දෙපාර්ශවයම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තඹ දොයිතුවකට නොතැකූ බව තහවුරු කිරීමට ප‍්‍රමාණවත් බැවිනි.

වත්මන් සංදර්භය තුළ මෙම පක්‍ෂ බල පොරය, දේශපාලනික කුමණ්ත‍්‍රණයක්, ව්‍යවස්ථා අර්බුදයක් ලෙස අර්ථ ගැන්වීමට උත්සාහ ගන්නා සියලූදෙනාට මෙලෙස සිහිපත් කරමු. ඔබ පවසන පරිදි මෙය දේශපාලන අර්බුදයක් හෝ ව්‍යවස්ථා අර්බුදයක් නම් එය විසඳා ගැනිමට හැකිවන්නේ අධිකරණය, පාර්ලිමේන්තුව වැනි ව්‍යවස්ථාපිත ව්‍යූහයන් තුළ පමණි.

එම ව්‍යවස්ථා ව්‍යූහයන් හරහා විසඳාගැනීමට ක‍්‍රියා නොකරමින් මහ ජනතාව පාරට ඇද දමමින් ජනතාවගේ ජීවිත අවදානමේ දමා තම දේශපාලන බලය රැකගැනීමට සියලූ පාර්ශව ගන්නා උත්සාහය දැඩිව හෙලා දකින්නෙමු.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අතීතයකට උරුමකරුවන්වන මෙම පක්‍ෂ අද ඔවුන්ගේ බලලෝභීත්වය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පිහිට පැතීම දෛවයේ සරදමකි.

මෙම අර්බුදය ව්‍යවස්ථාපිත ආයතන තුළින් විසඳා නොගතහොත් හෝ කල්පසු කිරීමෙන් හෝ අහිංසක ජනතාවගේ මළ කඳන් රැසක් උඩින් ඔවුන් ලඟාකරගන්නා විසඳුම තුළින් තවත් අවිචාරවත් ආණ්ඩුවක්ම බිහිවනු ඇත.

එලෙස ජනතාවගේ මළ කඳන් උඩින් බිහිවන ආණ්ඩුව හෙට දවසේදී,

අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය, නිදහස් සෞඛ්‍යය විකිණීමට එරෙහි අරගලය, බැංකු, රක්‍ෂණ, ටෙලිකොම්, තැපැල්, දුම්රිය, වරාය ඇතුළු රාජ්‍ය දේපල විකිණීමට එරෙහි අරගලය, ක්‍ෂුද්‍ර මූල්‍ය ණය මංකොල්ලයට එරෙහි අරගලය, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට එරෙහි අරගලය, ජල සම්පත පෞද්ගලිකකරණයට එරෙහි අරගලය, පොහොර සහනාධාරය කප්පාදුවට එරෙහි අරගලය, ගොවීන්ගේ සහ ධීවරයින්ගේ අස්වැන්නට සහතික මිලක් ලබාගැනීම සඳහා වූ අරගලය, ජීවත්විය හැකි වැටුප් සඳහා කම්කරුවන් ගෙනයන අරගලය, උතුරේ අනීතික ඉඩම් මංකොල්ලයට එරෙහි අරගලය, ඊනියා යෝධ සංවර්ධන ව්‍යාපෘති නමින් ඉඩම් බලහත්කාරයෙන් පවරා ගැනීමට එරෙහි අරගලය, අතුරුදන්වූවන් පිළිබඳව අරගලය, යනාදි වූ සියලූම ජනතා අරගල නෑසු කන්ව හිඳිනු ඇත. ඒවා කඩාකප්පල් කිරීමට සැලසුම් සලසනු ඇත. මර්දනයට නීති ගෙන එනු ඇත. මර්දනයට කඳුළු ගෑස්, අධිපීඩක ජල ප‍්‍රහාර, එවනු ඇත. අතුරුදන් කිරීම්, පහරදීම්, ඝාතනය කිරීම් දෙවරක් නොසිතා සිදුකරනු ඇත. ඊනියා ජනතාවාදී යැයි පවසන ආණ්ඩුවල යථාර්ථය කිසිදු අයුරකින් වෙනස් නොවන බවට අතීතයෙන් අපට උදාහරණ සපයනු ඇත.

ඉහත කී සියලූ අරගල කරනුයේ ජන කොටස්, තමන්ට එල්ලවන පීඩනයට එරෙහිවය. එරෙහිවන්නවුන් වැනසීමට පවතින ආණ්ඩු  ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවක් සිදුකිරීමට සූදානම්ය. ඒ ජනතාව ගැන නොසිතමින්ය. ඔවුන්ගේ බල පොරයේදී ව්‍යවස්ථාවට අනූව යයිද, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව යැයිද පවසමින් නාහෙන් අඬන පාලකයින් ජනපීඩක අරගලවලදී හැසිරෙන්නේ කෙලෙසකදැයි ඉහත උදාහරණ වලින් පවසා ඇත්තේ පක්‍ෂ භේදයකින් තොරවය.

එසේනම් මෙය, සමස්ථ රටවැසියාම පක්‍ෂ දේශපාලනයක පවතින බල අරගලයේ කොටස් බවට පත්වී අනාගතයේ දී තමාම පීඩාවට පත්කරන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා නොව, පත්වන  ඕනෑම ආණ්ඩුවකින් තමා පීඩාවට පත්කරන  ඕනෑම බලවේගයකට එරෙහිව සටන් කළ හැකි පරිසරයක් බිහිකිරීම සඳහා බුද්ධිමත්ව කටයුතු කළයුතු මොහොතක් බව සමස්ත රටවැසියාටම අවසන් වශයෙන් සිහිපත් කරමු.

මෙයට

විශ්වාසී,

රන්ජන් සේනානායක/ සිල්වෙස්ටර් ජයකොඞ් /ලීනස් ජයතිලක

පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය

01.ලංකා බැංකු සේවක සංගමය (CBEU)   02. ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය (CMU) 03.ලංකා වතු සේවා සංගමය (CESU) 04.        එක්සත් කම්කරු සම්මේලනය (UFL) 05.තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO) 06.ලංකා ගුරු සංගමය (CTU) 07.තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය (AEUIT)     08.ස්වාධීන තටාක සේවක සංගමය (IDWU) 09.මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)            10. ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJU)11.එක්සත් පොදු සේවක සංගමය (CCMU)12.රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව (RPTUA)13.ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය (FBTIE)14.කාන්තා කම්කරු සහයෝගිතා සංගමය (WLSU)15.වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU)16.රක්‍ෂණ සේවක සංගමය (IEU)        17.සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය (ACTEU)        18. ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය (TEDA)19.ජාතික නිදහස් වෘත්තීය සමිතිය20. ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435