අහිමි අයිතීන් ඉල්ලා ටෙලිකොම් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමක්

ටෙලිකොම් ආයතනයේ අත්තනෝමතික පරිපාලනයට එරෙහිවත් එම ආයතනය තුළ සිදුවන දූෂණ, වංචා අක්‍රමිකතා වහා නවත්වා අහිමි වී ගිය සේවක වරප්‍රසාද යළි ලබා දෙන ලෙස ඉල්ලමින් ටෙලිකොම් සේවකයන් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම් බව සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එම සමිති පෙරමුණේ වෘත්තීය සමිතියක් වන තොරතුරු හා විදුලි හා සන්දේශ සියලු සේවක සංගමයේ සම ලේකම් ජේ.බී. ගුරුසිංහ මහතා පැවැසුවේ අඛණ්ඩ වැඩ වර්ජනයට පෙර හෙට (16දා) ටෙලිකොම් සේවකයන් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් සංවිධාන කොට ඇති අතර ඉන් අනතුරුව ටෙලිකොම් පරිපාලනයට උද්ගත වී ඇති ගැටලු විසඳීමට සති 2ක් වැනි කෙටි කාලසීමාවක් ලබා දෙන බවත් ඒ සඳහා ඔවුන් අසමත් වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා අවතීර්ණ වන බවත්ය.

ටෙලිකොම් සේවකයන් මෙවැනි අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වුවහොත් මෙරට ටෙලිකොම්, මොබිටෙල් ඇතුළු සියලු සන්නිවේදන ජාලවලට බලපෑම් එල්ල වන බවත් පාරිභෝගික සේවා අඩාල වීම, මෙරට බැංකු පද්ධතියට ඍජු බලපෑම් එල්ලවීම මෙන්ම මෙරට සියලු සන්නිවේදන අංශවලට බලපෑම් එල්ල විය හැකි බවද හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ වන විට රුපියල් මිලියන 50,000 ඉක්මවූ විශාල ණය ප්‍රමාණයක ගිලී ඇති බවත් ඒ තත්ත්වයද නොතකා ටෙලිකොම් සභාපතිවරයා ඇතුළු
කළමනාකරණය කෝටි ගණන් මුදල් නිකරුණේ නාස්ති කරමින් කටයුතු කරන බවද ඔහු පැවැසුවේය.

මේ ආයතනය තුළ සිදුවී ඇති දූෂණ, වංචා හා අක්‍රමිකතා ලිඛිත සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බව පවසන ඔහු සඳහන් කළේ මේ පිළිබඳ ටෙලිකොම් සභාපතිවරයා පත් කළ කමිටු වාර්තාව නිකුත් කළ යුතු දින පසු වී වසරක් ගත වී තිබුණද ඒවා හෙළි නොකරමින් සභාපතිවරයා දූෂිත නිලධාරීන් ආරක්ෂා කරමින් කටයුතු කරන බවය.

සේවකයන් වසර ගණනාවක් මුළුල්ලේ භුක්ති විඳිමින් සිටි සියලු වරප්‍රසාද විශාල ලෙස කප්පාදු කර ඇති බවත් වාර්ෂික සේවක වැටුප් 5%කින් කප්පාදු කොට සේවක ප්‍රසාද දීමනාව පවා 2017 වසරේදී 50%කින් කප්පාදු කළ බවද ඔහු කීය. ඇතැම් නිලධාරීන්ට රුපියල් මිලියනය ඉක්මවූ ප්‍රසාද දීමනාවක් පසුගිය දෙසැම්බර් මාසයේදී ලබා දෙද්දී පහළ ශේ‍ර්ණියෙහි සේවකයන්ගේ අවම ප්‍රසාද දීමනාව සේවකයන්ට අහිමි කිරීමට තරම් ටෙලිකොම් ආයතනය අවනීතිය රජකරවන ස්ථානයක් බවට පත්වී ඇතැයි හෙතෙම පැවැසීය.

ඉහළ තනතුරු සඳහා සිය හිතවතුන් එක් රොක් කරගන්නා ටෙලිකොම් පාලනාධිකාරිය මේ වන විට සාමාන්‍යාධිකාරි තනතුරු 50කට ආසන්න ප්‍රමාණයක් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු 125කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවටද ඔහු චෝදනා නැඟීය. පහළ සේවකයන්ගේ වැටුප් වැඩිවීම් පවා කප්පාදු කරන ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය ඉහළ නිලධාරීන් විශාල පිරිසකගේ වෘත්තීයමය දීමනාව රුපියල් දහසේ සිට අට දහස දක්වා වැඩ කිරීමටද අනුමැතිය දී ඇති බවත් ඔහු කීය. ඔහු සඳහන් කළේ මේ සා අති විශාල දූෂණ, අක්‍රමිකතා, අයුක්ති සහගත ක්‍රියාවන් රැසක් ටෙලිකොම් ආයතනය තුළ සිදුවන නිසා ආයතනය බේරාගැනීම සඳහා මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවය. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (14දා) සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අවස්ථාව සඳහා විදුලි සන්දේශ ඉන්ජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය, ටෙලිකොම් පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, පාරිභෝගික සේවා හා සමාන්තර සේවා නිලධාරීන්ගේ සංගමය, නව ටෙලිකොම් උපාධිධාරී

කළමනාකරණ සේවා සංගමය, මෝටර් රථ රියැදුරු සංගමය, සමස්ත ලංකා විදුලි සන්දේශ සංගමය සහ ටෙලිකොම් මෑන් පවර් සේවකයන් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක්ද සහභාගි වූහ.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435