ආගමන විගමන නිලධාරීන්ගෙනුත් රතු එළියක් 

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම අද (03 දිනයේද සිදු නොවුණහොත් සියලුම ගුවන් තොටුපළ , වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා ඊයේ දිනයේ (02) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  ඉදිරි පැය 48 ක කාළය තුළ තම ගැටළු විසඳීමට ක්‍රියා කළ යුතුව ඇති බවයි. දීර්ඝ කාළයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතළ ගැටළු විසදා ගැනීමට අවස්ථා රැසකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ ද , ඒ සදහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව කණුගල මහතා පෙන්වා දෙයි.

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වෙයි. 2018 වසරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට මෙම නිලධාරීන් අවතීර්ණ වූ අතර , 2018.05.18 දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී , අප සේවා ගැටළු විසදීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන් අතර , පසුව අග්‍රාමාත්‍යවරයා ද මෙම ගැටළු විසදීම සඳහා කමිටුවක් ද පත් කළේය.

එමගින් ද මෙම වෘත්තීය ගැටළු වලට විසදුමක් නොලැබුණි . ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රනුග්ගේ විශේෂ කොමිසම වෙත ද , ලිඛිතව අපගේ සේවා ගැටළු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළ ද  , එම කොමිසම අපගේ සේවා ගැටළු පිළිබඳව කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැත. තත්ත්වය මෙසේ තිබියදී  2019.08.01 දින මෙම සේවා ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ අතර , එහිදී ඔහු ඒ සදහා මාසයක කාළයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු විය .

නමුත් මේ දක්වා එය ඉටු නොවී පවතින අතර , 2019.10.02 දින අප යළිත් අමාත්‍යවරයා හමු වී මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර , එහිදී ඉදිරි පැය 48 ක කාළය තුළ ආගමන විගමන නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත් වීම සිදු නොවුණ හොත් ,ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ , වරාය ඇතුළු ආගමන විගමන නිලධාරීන් රාජකාරී සිදු කරන සේවා ස්ථාන ආවරණය වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වනු ඇත.

එහිදී මහජනතාවට යම් අපහසුතාවයක් සිදු වුවහොත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය , දෙපාර්තමේන්තු පරිපාලනය සහ එම බලධාරීන් භාර ගත යුතු බව ද අනුර කණුගල මහතා ස්වකීය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435