ආත්ම ගරුත්වයක් සමග විශ්‍රාමික ජීවිතයකට අවම රුපියල් 15,000 ක මාසික දීමනාවක්

රැකියාවක් ලැබෙන තුරු විරැකියා දීමනාවක් අවම රුපියල් 15,000 ක් මාසිකව

හැම මැතිවරණයකදීම හැම දේශපාලන පක්ෂයක්ම බලය ඉල්ලන්නෙ රට සංවර්ධනය කරන්න. එහෙම කියලා බලය ගත්ත හැම පක්ෂයක්ම ඊළග මැතිවරණයෙත් රට ගොඩ නගන්න ආයේ බලය ඉල්ලනවා. මෙදා පාරත් ඒ කතාම තමයි කවුරුත් කියන්නේ. කවුරුත් බලය ඉල්ලන්නේ රට සංවර්ධනය කරන්න කියලා.

නමුත් අපි දන්න දේ තමයි සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත වලට රැකවරණයක් නැහැ. හැම ආණ්ඩුවක් යටතේම විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් රැකියා ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. රැකියා හොයා ගෙන නගරවල රස්තියාදු වෙනවා. මොනවා හරි කරලා කීයක් හරි හොයා ගන්න බලනවා. ගමේ තරුණියන් තරුණ මව්වරුන් මැද පෙරදිග යනවා ගමට කීයක් හරි එවන්න. ඒ නිසා කිසිම ආණ්ඩුවක් ඒ අය විරැකියාවෙන් පෙළෙන පිරිස් හැටියට සළකන්නේ නැහැ. ඒ අයටත් ආත්ම ගරුත්වයක් එක්ක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා කවුරුත් හිතන්නේ නැහැ.

පෙෘද්ගලික හා අර්ධ රාජ්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමිකයින් බහුතරයටත් වයස්ගත ජීවිතය ගෙවන්න වෙන්නේ එහෙමයි. එකවර අතට ගන්න අර්ථසාධකයෙන් ණය ගෙවලා, දුවලා පුතාලගේ අධ්‍යාපනයට, දෑවැද්දට මුදල් ටික වියදම් කරලා, ඊට පස්සේ මාසෙ වියදම හොයා ගන්න මොනවා හරි රැකියාවක් ආයෙමත් කරන්න වෙනවා.

මේ තත්ත්වය වඩාත් බරපතල වෙන්නේ දැන් පැතිර යන කොරෝනා වසංගතය සමග. ආර්ථිකය බිඳ වැටෙන ප්‍රමාණයට රැකියා වලින් දොට්ට වැටෙන සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කවුරුත් දන්නවා. හාම්පුතුන් ප්‍රසිද්ධියේ කියනවා රැකියා කප්පාදු කරන්න සිදු වෙනවා කියලා. දැනටම නොයෙකුත් උප්පරවැට්ටි සමග සේවකයින් රැකියාවලින් දොට්ට දමන්න හාම්පුතුන් සැළසුම් කරනවා. එවැනි පසුබිමක විශ්‍රාමිකයින්ට මාසිකව කීයක් හරි හොයා ගන්න තවත් අමාරු වෙනවා.

මෙහෙම සමාජයක හෙට දවස ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. රටේ සංවර්ධනය ගැන කතා කරන දේශපාලන නාකයින්ට, රට ගොඩ ගන්න පොරොන්දුවෙලා ආණ්ඩු බලය ඉල්ලන නායකයින්ට ඒ නිසා මේ සඳහා විසඳුම් තියෙන්න ඕනේ. විරැකියාවට උත්තර තියෙන්න ඕනේ. විශ්‍රාමික ජීවිතයට සමාජ රැකවරණයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලන්නේ

  1. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ක්ෂේත්‍රයේ සියලු විශ්‍රාමිකයින්ට සමාජ රැකවරණය වෙනුවෙන් රුපියල්15,000 ක මාසික දීමනාවක්
  2. රැකියාවක් නැති සහ රැකියා අහිමි වන සියල්ලන්ට රැකියාවක් ලැබෙන තුරු රුපියල්15,000 ක මාසික දීමනාවක්

සියල්ලන්ට ආත්ම ගරුත්වයක් ඇතිව මාසික ආදායමක් සමග ජීවත් වන්නට රැකියා උත්පාදනය කෙරෙන සමාජ ආර්ථික වැඩපිළිවෙලක් තහවුරු කිරීමේ වගකීමත් ජීවිත කාලයෙන් අවුරුදු 30 ක් 35 ක් රටේ ආර්ථිකයට දායක වූවන්ට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවිතයේ සැඳැ කාලය ගත කිරීමටත් සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් බාරගත යුතු සමාජ වගකීමක්.

එය ඉටු කරන මෙන් ඉල්ලා සිටින්නට අපට අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි එක් වෙමු. හඬ නගමු.

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435