ආයුර්වේදයේ මූලික සිද්ධාන්ත කොවිඩ් -19 වෛරසයෙන් මිදීමට පාවිච්චි කළ හැක

කොවිඩ් – 19 යනු  යනු   ලොවට අලුතින්ම පැමිණි  වෛරසයක්  මගින් බෝවන රෝගයකි. ඕනෑම වෛරස් ආසාදනයක් පුද්ගලයකුට වැළඳුනු එයට විරුද්ධව  එම පුද්ගලයාගේ ශරීරය සටන් කරන්නේ ශරීරයට විරුද්ධව එයට ප්‍රතිශක්තියක් ඇත්නම් පමණි. මෙසේ ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම රෝගය ඊට පෙරඅපගේ ශරීරයට ඇතුළු වී අපගේ ශරීරය එම වෛරසයට එරෙහිව ප්‍රතිදේහනිපදවා තිබුණොත් පමණි. නව වෛරසයක්  සදහා ප්‍රතිදේහ අපගේ ශරීරයේ නොමැති නිසා ශරීරයට එම වෛරසය එකවර විනාශ කළ නොහැක. නව වෛරසයට  විරුද්ධව පුද්ගලයකුගේ ප්‍රතිශක්තිකරණ  පද්ධතිය ප්‍රතිදේහ නිපදවන්නේ ටික දිනකට පසුවය.මෙම කාලය තුල එම වෛරසය විසින් ශරීරය තුළ රෝග ලක්ෂණ ඇති කොට, රෝගය ඇති කොට ඉතාමත් අසාධ්‍ය  තත්ත්වයක් දක්වා එය වර්ධනය කළ හැක. මෙයට හේතුව නව වෛරසය  ශරීර ගත වූ විගසින් එය විනාශ කිරීම සදහා ශරීරය තුළ ප්‍රතිදේහ නොමැති වීමය.

එසේම අප ශරීරිය තුළ ප්‍රතිදේහ නිපදවීමේ අනෙක් ක්‍රමය  වන්නේ එන්නතක් මගින් ප්‍රතිදේහ නිපදවීමයි. කෙසේ නමුත් කොවිඩ් – 19 අලුත් වෛරසයක්  මගින් බෝවන ආසාදනයක්  නිසා එවැනි වෛරසයක්  සඳහා එන්නතක් නිපදවීමට තවත් කාලයක් ගත වනු ඇත. ශරීරය තුළ ප්‍රතිදේහ නොමැති නම් ශරීරයට ඇතුළු වූ යම් රෝග බීජයක් නැති කිරීමේ අනෙක් ක්‍රමය  වන්නේ ඖෂධ මගින් වෛරසයට  විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කිරීමයි.   එසේ නමුත් කොවිඩ් -19 නව වෛරසයක් බැවින් එයට එරෙහිව ස්ථිරවම ක්‍රියා  කරන ඖෂධ  මෙතෙක් නිපදවා නැත. ඇතැම් විට එවැනි ඖෂධයක් නිපදවීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇත. දැනට කරන ප්‍රතිකාර ක්‍රමවලින් සිදුවන්නේ රෝගය ඇති වූ පසු, එය උත්සන්න වූ පසු, එම රෝගියාගේ අනෙකුත් ඉන්ද්‍රියන්  පවත්වාගෙන යාම සදහා උපකාර ලබා දීමය. මෙසේ ශරීරයේ උපකාර පවත්වාගෙන යන කාලය තුල රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඇති කරන ප්‍රතිදේහ මගින් වෛරසය  විනාශ වීම සිදු වනු ලැබේ.

වාසනාවකට මෙන් මෙම කොවිඩ් – 19 රෝගය වැළදුණු අයකු, එම රෝගය අසාධ්‍ය වී මිය යෑමට ඇති සම්භාවිතාවය  සියයට 1-2 දක්වා වන බවට සොයාගෙන ඇත. ඇතැම් වෛරස් රෝගවලින් මිය යාමේ ප්‍රතිශතය සියයට 60 වඩා වැඩි වන අතර සාර්ස් වෛරසයේ  මරණ ප්‍රතිශතය  සියයට 10ක් විය. එසේ නමුත් මෙම රෝගයේ භයානකත්වය ඇත්තේ ලෝකයේ බොහෝ  පුද්ගලයන්ට  මෙම වෛරසයට  මුහුණ දීමට ප්‍රතිශක්තියක් නොමැති වීමය.එයට හේතුව වන්නේ මෙය නව වෛරසයක් වීමය. මේ නිසා ලොව ජනගහණයෙන් විශාල පිරිසකට මෙය වැළදිය හැක. මෙම තත්ත්වය “පැන්ඩමික් ” තත්ත්වයක් ලෙස හදුන්වයි. විශාල පිරිසකට මෙය වැළදෙන නිසා එමගින් අසාධ්‍ය  වන පිරිසද ඉහළ  යා හැක.

මෙවැනි විශාල රෝගීන් පිරිසකට ප්‍රතිකාර  කිරීමට රෝහල්වල ප්‍රමාණවත්  පහසුකම් නොමැති වීමෙන්,  වසංගත රෝග තත්ත්වයක් ලෙස මෙය පැතිර යාම වැළක්වීම ඉතා වැදගත්ය.  දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක පර්යේෂණ අනුව මෙම රෝගය පැතිර යන්නේ එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුටය.මෙහි ඇති අනෙක් ප්‍රශ්නය  වන්නේ රෝගය ශරීර ගත වූ පසු රෝග ලක්ෂණ පහළ වීමට දින 14ක පමණ කාලයක් ගතවීමය.  දින 14 ක අවසානයේ රෝග ලක්ෂණ ඇති වූ පසුවද ශරීරය තුළ වෛරසය පවතී.

එසේ මෙම දින 14 කාලය තුලද ඉන් අනතුරුවද පුද්ගලයා තුල වෛරසය තිබිය හැකි අතර එම අසාදිත පුද්ගලයා මගින් තවත්  පුද්ගලයන් සිය දහස් ගණනකට වෛරසය අසාදනය විය හැක. මිනිස් සිරුර තුළ මෙම වෛරසය දින ගණනක් පැවතුනද , මනුෂ්‍ය ශරීරයෙන් පිට මෙම වෛරසයට පැවතිය හැක්කේ පැය දොළහක් වැනි කෙටි කාලයක් පමණි . මිනිසුන් අතර මෙම රෝගය පැතිර යාම පාලනය කළ  හැක්කේ එක් පුද්ගයකුගෙන් තවත් පුද්ගලයකුට එම රෝගය පැතිර යාම අඩු කිරීමෙනි. දැනට රෝගය පැතිර යාම වැළක්වීම සදහා යොදාගනු ලබන මුඛ ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, නිවාඩු දින ප්‍රකාශ  කිරීම, පොදු ස්ථානවල ජනතාවට ගැවසීමට ඉඩ නොදීම වැනි ක්‍රියා මෙම රෝගය පැතිර යාම වැළැක්වීමට අතිශයින් වැදගත්ය.

පුද්ගලයන් අතර සම්බන්ධතා අඩු කිරීම මගින් මෙම රෝගය ව්‍යාප්ත  වීම පාලනය කළ හැකි අතර එමගින් ඉතා කෙටි කාලයක් තුළ මෙම වෛරසය  මගින් රෝගය පැතිර යාම පාලනය කළ  හැක . එසේම යම් වෛරසයක් ලොව ඇති වූ පසු එම වෛරසය මිහිතලය තුළ  පැවතිය හැකි කාලය කෙටි කළ හැක්කේ මෙසේ පුද්ගල ශරීරයෙන් තවත් පුද්ගල ශරීරයකට රෝග බීජය පැතිර යාම නවතා දැමීමෙනි. මෙම රෝග නිවාරණ ක්‍රමය  අතිශයින් වැදගත් වේ. එසේම ආර්යුවේද වෛද්‍ය විද්‍යාවේ  මුලික සිද්ධාන්තද මෙම රෝගයට විරුද්ධව ක්‍රියා  කිරීමට යොදා ගත හැක.

නමුත් කොවිඩ් -19 වෛරසයට විරුද්ධව  ස්ථිරවම ක්‍රියා කරන ඖෂධ ඇති බවට විද්‍යාත්මක පර්යේෂණ සිදු නොකර කිසිවක් පැවසිය නොහැකි බවයි.  එසේ වුවත් ආයුර්වේදයේ මුලික සිද්ධාන්ත මෙම රෝගය පාලනය කිරීමට අතිශයින් වැදගත් වේ. ආයුර්වේදයේ  සිද්ධාන්ත අනුව මනුෂ්‍ය  ශරීරයක් තුළ යම් රෝගයක් හට ගන්නේ ශරීරයේ වාතය, පිත සහ සෙම යන මුලික සංඝටක තුනෙහි අසමතුලිතාවක් ඇතිවීම නිසාය. මෙම සංඝටක සමතුලිතව පවතින තාක් අපට නිරෝගීව පැවතිය හැක. එසේම හොදින් කල්පනා කර බැලු විට පැහැදිලිවන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ස්වසන පද්ධතිය ආශ්‍රිතව  හටගන්නා රෝග ආයුර්වේදයේදී හදුන්වන්නේ සෙම උත්සන්න වීම නිසා ඇතිවන රෝග ලෙසයි.

ආයුර්වේදය යනු ප්‍රතිකාර  ක්‍රමයක්  පමණක් නොව ජිවන දර්ශනයකි. එහි විශාල කරුණු ප්‍රමාණයක සදහන් වන්නේ නිරෝගී ජිවිතයක් ගතකිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග  පිළිබදවයි. අපගේ සිරුරට කුමන වෛරසයක් ඇතුළු වුවද, ශරීරයේ වාතය, පිත හා සෙම යන සංඝටක සමබරව ඇත්නම් එම වෛරසය  ශරීරගත වුවත් රෝග ලක්ෂණ පල නොවේ. බටහිර වෛද්‍ය  විද්‍යාව අනුවද සෑම වෛරස්  රෝගයක් සදහා රෝග ලක්ෂණ පහළ වන්නේ නැත. එයින් අදහස් වන්නේ රෝග බීජය ශරීරිය තුළට ඇතුළු වුවද, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටින පුද්ගලයන් අප සමාජයේ සිටින බවය. ආයුර්වේදය අනුව සෙම සංඝටක උත්සන්න වීමට ඉඩනොදෙන ජිවන රටාවක් පවත්වා ගෙන යාමෙන් නොරෝගී ජිවිතයක් ගත කළ හැක.  සෙම නැමැති සංඝටකය උත්සන්න කරන අහාර වර්ග ලෙස ආයුර්වේදයේ සදහන් වන්නේ ශීත කළ අහාර, ශීතල යැයි ආයුර්වේදයේ හදුන්වන ආහාර, නිදි මැරීම, අධික ලෙස මහන්සිය වැනි කාරණාය.

මෙම උපදෙස් පිළිපැදීම මගින් ශරීරයේ සෙම සංඝටකය සමබරව තබා ගත හැකි බව ආයුර්වේදයේ සදහන් වේ. ඒ වගේම සෙම තත්ත්වයක් ඇති වූ පසු එය වර්ධනය වීමට ඉඩ නොදී, පාලනය කර ගැනීමේ ඖෂධ වර්ගද , ප්‍රතිකාර ක්‍රමද  ආයුර්වේදයේ සදහන් වේ.කොවිඩ් – 19 රෝගය බොහෝ පිරිසකට මුලින්ම ඇති වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව  වැනි රෝග තත්ත්වයක් වශයෙනි. නමුත් එම සෙම්ප්‍රතිශ්‍යාව උත්සන්න වන්නේ සුළු පිරිසකට පමණි. මෙම සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වය ඇති වූ පසු එය උත්සන්න නොවී සුව කළ හැකි ඖෂධ  ජනතාවට හදුන්වා දීම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ වගකීමය.

ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

එවැනි අවස්ථාවකදී ශීතකළ අහාර අනුභව නොකිරීම, නිදි නොමැරීම, අධික ලෙස මහන්සි නොවීම යන උපදෙස් පිළිපැදීම මගින් ඉතා කඩිනමින් සුවය ලබා ගැනීමට හැකි වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සිදුවන්නේ රෝග බීජය ශරීරයට ඇතුළු වුවද, එය රෝග ලක්ෂණ පල නොකොට ශරීරිය තුළ ප්‍රතිශක්තිය  ඇතිකොට විනාශ වී යෑමය. දෙවනුව රෝග ලක්ෂණ ඇති වුවත්, රෝගය උත්සන්න නොවී , රෝගියා අසාධ්‍ය  තත්ත්වයකට පත් නොකොට සුව වී යාමය. මෙවැනි ආයුර්වේදී උපදෙස් ජනතාවට නොදී, කොවිඩ් -19  රෝගයට ඖෂධ සොයාගත් බව පවසා දැන්වීම් පළකිරීමෙන් සිදුවන්නේ ආයුර්වේදී වෛද්‍ය විද්‍යාව  ගැන ජනතා විශ්වාසය කඩ වීමය.  එම නිසා මේ මොහොතේ  නිවැරදි ආයුර්වේදී දර්ශනය මිනිසුන් අතරට ගෙනයෑමට ආයුර්වේදී වෛද්‍යවරුන්ට  විශාල කාර්යභාරයක් පැවරී  තිබේ.

ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

 

 

 

ළමා රෝග හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435