ආර්පිකෝ වතු කාර්ය මණ්ඩලය මහ පාරට

වැටුප් අර්බුදයක් හේතුකොට ගනිමින් ආර්පිකෝ සමාගම් සමූහයට අයත් කෑගල්ල, මස්කෙළිය, නමුණුකුල වතු සේවක කාර්ය මණ්ඩලය 1200ක් පමණ මේවන විටත් වැඩවර්ජනයකට එක්ව සිටියි.

ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා වැඩබිමට කියා සිටියේ කාර්මික සබඳතා පිළිබඳ කම්කරු කොමසාරිස් විසින් ගැටළුව සමථයකට පත් කිරීම වෙනුවෙන් අද (29) ආර්පිකෝ පාලනාධිකාරියට හා වෘත්තීය සමිති නියෝජිතයින්ට සාකච්ඡාවක් ලබාදී ඇති බවයි.

වතු හාම්පුතුන් හා වතු කාර්ය මණ්ඩල සේවකයින් අතර ඉදිරි වසර 3ට බලපැවැත්වෙන පරිදි පසුගියදා සාමූහික ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඔක්තෝම්බර් මස 01වන දා සිට බලපැවැත්වෙන පරිදිය.

වතු සමාගම් 22ක් එහිදී සාමූහික ගිවිසුම තුළින් එකඟවී සිටියේ 25%ක වැටුප් වැඩිවීමක් සිය මූලික වැටුපට එකතු කරන බවට බැව් ලංකා වතු සේවක සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පෙන්වාදෙයි.

එසේ වුවද ආර්පිකෝ වතු හිමිකරුවන් සිය පාලනයට අයත් වතු 22ක කාර්ය මණ්ඩලයේ වැඩි වූ 25%ක වැටුප මූලික වැටුපට එකතු නොකොට දීමනාවක් ලෙස පමණක් ලබාදීමට කටයුතු කිරීම නිසා වතු කාර්ය මණ්ඩලය මේ මස වැටුප ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව අද වන විට මෙම ආර්පිකෝ සමාගමට අයත් වතු කාර්ය මණ්ඩලයේ සේවකයින් 1200ක් පමණ වර්ජනයට එක්ව සිටින අතර ගැටළුව සමථයකට පත් කරනු පිණිස සාකච්ඡාවක් කැඳවා තිබේ.

කෙසේ වුවද, මෙම 25%ක වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු නොකරන්නේනම් එතැනින් මෙපිට කිසිදු සමථ ක්‍රියාවකට සහය නොදක්වන බවත්, සිය ඉල්ලීම් ලැබෙනතුරු අඛණ්ඩව වර්ජනය කරන බවත් චතුර සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435