ඇතැම් වර්ජන අත්හිටුවයි – තවත් වර්ජන දිග්ගැසෙයි

දුම්රිය රියදුරන්,නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිය සමිති විසින් පසුගිය බදාදා දිනයේ ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 7 ක කාලයක් ගත වී තිබේ.  සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් පිළිගත හැකි විසදුමක් නොලැබීම හේතුවෙන් වැඩවර්ජනය තවදුරටත් සිදු කිරීමට පියවර ගන්නා බව දුම්රියරිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

කෙසේ වෙතත් දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත් කිරිම සඳහා සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කළ නිර්දේශවලට ඊයේ (01) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වාර්තා විය. මෙවන් තත්ත්වයක් තුළ දුම්රිය වෘත්තිය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ ද මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත්, පොදු බස් ප්‍රවාහනයේ තදබදයක් නිර්මාණය වී ඇති බවත් පැහැදිලිවම දකින්නට ලැබුණි. මේ අතර වැටුප් විෂමතා ගැටළු මුල් කර ගනිමින් පරිපාලන හා විධායක ශ්‍රේණියේ නිලධාරීන් ක්‍රියාත්මකකර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය  අත්හැරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පැවසුවේ ඊයේ දිනයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ සැලකිල්ලට ගනිමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට තීරණය කළ බවයි.  දින 5 ක කාලයක් පුරා විධායක නිලධාරීන් සිදුකළ වැඩවර්ජනය ද අද දිනයේ සිට නතර කිරීමට තීරණය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසු වේය.

මේ අතර ගුරු -විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වී ඇත. ඒ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවෙය.  කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

වැඩවර්ජනයට අදට දින 23 ක කාලයක් ගතවන අතර පළමු වරට විෂයභාර අමාත්‍යවරයා විසින් තමන්ට සාකච්ඡාවක් ලබාදී ඇති බව විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩී.රිච්මන්ඩ් මහතා පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435