ඇන්සල් ලංකා අඛණ්ඩ වර්ජනයේ

25 November 2013 – wedabima.lk

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔක්තෝම්බර් මස 11 වැනි ආරම්භ කර මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වා ගෙන යනු බියගම නිදහස් වෙළඳ කළාපයේ ඇන්සල් ලංකා සමාගමේ සේවක වැඩ වර්ජනයට මෙතෙක් විසඳුමක් ලැබී නැත.

මෙම සේවක වැඩ වර්ජනයට විසඳුම් ලබා ගැනීම සඳහා කම්කරු ඇමතිවරයාගේ සහ කම්කරු කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇන්සල් ලංකා පාලනාධිකාරියේ නියෝජිතයන් හා සේවකයන් නියෝජනය කරමින් නිදහස් වෙළඳ කළාපය හා පොදු සේවා සේවක සංගමය අතර නොවැම්බර් 13 වනදා සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇත.

ඇන්සල් ලංකා සේවක ඉල්ලීම් වී ඇත්තේ, සේවයෙන් ඉවත් කරන ලද වෘත්තීය සමිති ශාඛාවේ සභාපති ඇතුළු නිළධාරීන් 11 දෙනා වහාම සේවයේ පිහිටුවීම, සේවක වෘත්තීය සමිතිය පිළිගැනීම, සේවකයනට එරෙහි පළිගැනිම් නැවැත්වීම, මෑන් පවර් එජන්සින් හරහා ලබා ගන්නා පිරිස් සේවයේ යෙදවීම නැවැත්වීම, මව් සංගමයට එරෙහිව දිසා අධිකරණයෙන් ලබා ගෙන ඇති වාරණ නියෝග ඉවත් කිරීම, කම්කරු දෙපාර්තමේන්තුව කර ඇති නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සහ දිරි දීමනා කප්පාදු නතර කිරීම යන ඉල්ලීම්ය.

මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඇන්සල් ලංකා සමාගමේ සේවක සේවිකාවන් 800 කට අධික ප‍්‍රමාණයක් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරතව සිටින අතර බියගම නිදහස් වෙළඳ කළාපයේදී නොවැම්බර් 11 වැනිදා ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබීය. ඊට පෙර ඔක්තෝම්බර් 17 වැනිදා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

ඇන්සල් ලංකා සේවක ඉල්ලීම් වලට මූලිකවම බලපා ඇත්තේ එහි පාලනාධිකාරිය රට තුළ ස්ථාපිත මූලික කම්කරු නීති රීති පවා පිළිගැනීමට අකමැති වීමය. ඒ අනුව ආයතනයේ මුළු සේවක සංඛ්‍යාවෙන් 40%ක ප‍්‍රමාණයකටත් සාමාජිකත්වය දරණ සේවක වෘත්තීය සමිතිය පිළිගැනීම ඇන්සල් ලංකා පාලකයන් මේ දක්වාම ප‍්‍රතික්ෂේප කරමින් සිටින අතර සාමාජිකත්වය වෘත්තීය සමිතිය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරිම සඳහා පැවැත්වීය යුතු මත විමසුම ද මග හරිමින් සිටී.

ඒ වෙනුවට ඇන්සල් ලංකා පාලනාධිකාරීන් සිදුකර තිබුනේ වෛද්‍ය අත්වැසුම් අංශයේ සේවිකාවන් බලහත්කාරයෙන් වැඩ කරගන්නට උත්සාහ කිරීම සහ, කාර්මික අත්වැසුම් අංශයේ සේවකයින්ගේ දිරි දීමනා කප්පාදු කිරීම වැනි සේවක විරෝධී ක‍්‍රියාය. මෙවැනි ක‍්‍රියාවන්ට විරුද්ධව සේවක වෘත්තීය සමිතිය පැමිණිලි කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණ වලින් පසු කම්කරු දෙපාර්තමේන්තුව ලබා දුන් නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමද ඇන්සල් ලංකා සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ තමන්ගේ මූලික කම්කරු නීති රීති පවා අනුගමනය නොකරන බව ප‍්‍රදර්ශනය කරමින්ය.

කම්කරු අයිතිවාසිකම් පිළිබඳව වූ මෙම අරගලයේ ප‍්‍රතිපලයන් වී ඇත්තේ වෘත්තීය සමිති ශාඛාවේ සභාපති කේ. ඒ .ඞී අතුළ කමල්ට එරෙහිව චෝදනා 08 ක් ඇතුලත් චෝදනා පත‍්‍රයක් දින 10 ක කාලයක් ඇතුළත පිළිතුරු සපයන ලෙස දන්වමින් ඔක්තොම්බර් 09 වන දින පාලනාධිකාරිය නිකුත් කිරීමය. එහෙත් එම චෝදනා පත‍්‍රය පිළිබඳව සාමාජිකයින් හට කරුණු පහැදිලි කිරීමට ගත් උත්සාහය විෂමාචාර ක‍්‍රියාවක් ලෙස දක්වමින් ඔක්තෝම්බර් මස 11 වන දින ශාඛා සභාපතිවරයාගේ සේවය අත් හිටුවා ඇත.

සේවක අයිතිවාසකම් සම්බන්ධයෙන් වූ ඇන්සල් ලංකා අරගලය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා මේ මොහොත වන විට පරිවර්තනය වී ඇත්තේ ඉන් අනතුරුවය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435