ඇඳිරි නීතිය නිසා කාන්තා හිංසනය වැඩිවෙලා?

කොරෝනා හෙවත් කෝවිඩ් 19 යනු අද වනවිට ලෝකයම වෙළාගත් වංසගතයකි. ශ්‍රී ලංකා රජයද, තත්ත්වය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. විටෙක රජයේ නිවාඩු ලෙස දින දෙකක්ද, ඉක්බිතිව නිවසේ සිට රාජකාරි කටයුතු කෙරෙන සතියක්ද වශයෙන් නම් කළ ආණ්ඩුව මේවන විට දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ. දෛනික ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුවට පිළියම් ලෙස ඇතැම් ප්‍රෙද්ශවල ඇඳිරි නීතිය ඉවත් කොට නැවත පැනවීම් සිදුකරනු ලබයි. මෙවැනි වාතාවරණයක් තුළ පවා අප රටේ ඉතාම කනගාටුදායක වාතාවරණයක් නිවෙස්වල නිර්මාණය වෙමින් තිබේ. ඒ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වර්ධනයකි.

වසංගත තත්වය හේතුවෙන් රට තුළ දින තුනක් තිස්සේ ඇඳිරි නීතිය පනවා තිබියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට මුහුණදෙන්නට සිදුව තිබෙන අළුත්ම ගැටළුව වී ඇත්තේ සිය සැමියන්ගේ පහරදීම් නිසා තුවාල ලබා රෝහල්ගතවන කාන්තාවන් බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මිය පෙන්වාදී තිබේ.

ෆේස්බුක් සටහනක් මගින් ඇය මේ පිළිබඳ ඊයේ (22) අනාවරණය කළාය. විශේෂයෙන්ම ඇදිරිනීති තත්වය නිසා මේ වනවිට අති බහුතරයක් ස්වාමි පුරුෂයන් නිවෙස්වලට වී කාලය ගතකරන අතරතුර ඇතිවෙන විවිධ අඹු-සැමි ගැටුම් නිසා අනතුරුවලට ලක්වී තුවාල ලබා රෝහල්ගත වන කාන්තාවන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ඇය කියා සිටියි. වෙනත් හදිසි අනතුරු තත්වයන් එතරම් වාර්තා නොවන කාලයක සියලුම වෛද්‍ය සහ හෙද නිලධාරීන් කොරෝනා තත්වය මර්දනය සඳහා පූර්ණ අවධානය යොමුකර තිබියදී මෙලෙස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාතවන් රෝහල්ගත වීම ඉතා බරපතල ඛේදවාචකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

CEDAW (Convention on the Elimination of All Forms of Discrimination Against Women) සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවද බැඳී සිටියි. එකී සම්මුතියට අනුව කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමකි. අදාළ හිංසනයන්ට එරෙහිව නීතිය ඉතා දැඩි බැවින් අදාල පරීක්ෂණ සිදුකර නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. ජාත්‍යන්තර කාන්තා දිනය (08) පසුවී තාම දෙසතියක්වත් ඉකුත්ව ගොස් නැති බවද මෙහිලා සිහිපත් කරනු වටියි. එහෙත් මේ මොහොත දැවැන්ත ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක් බවද අමතක නොකළ යුතුය.

එක් පසෙකින් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවෙයි.
ඉකුත් සිකුරාදා දින සවස 6.00 සිට ඊයේ රාත්‍රී 10 වන තෙක් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම නිසා පොලීසිය විසින් 1589 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන අන්දමට මෝටර් රථ, ත්‍රී රෝද රථ හා මොටර් බයිසිකල්ද ඇතුළත් පොලිස් බාරයට ගන්නා ලද වාහන ප්‍රමාණය 362කි. මේ සියල්ල මධ්‍යයේ ඇඳිරි නීතිය නිසා නිවෙස් තුළ රැඳී බිරින්දෑවරුන්ට පහරදෙන පිරිමින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කෙතරම් අසීරු වනු ඇතිද?

-පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435