ඇමෙරිකානු යුරෝපා වෙළඳපළ කඩා වැටීම හමුවේ අපේ ඇඟලූ‍ම් කර්මාන්තයට කුමක් වේද ?

ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය අවුරුදු විසිහය දහසක් එපිට පැවැති ”මහා සම්මත රාජ වංශය” තරම්ම පැරණිය. එකල ලංකාවේ දක්ෂිණ දේශයෙහි ජීවත් වූ ”මනු” නම් හැඩිදැඩි තරුණයකු  මන්නාරමේ පැවැත්වූ පරීක්ෂණයකින් සමත් වී ”මහාසම්මත” නමින් රාජාභිෂේකය ලබද්දී දක්ෂිණ දේශයේ නිපදවන ලද කපු පිළියක් පළඳා ඔහු පිළිගන්නා ලද බව පැරණි වෘත්තාන්ත වල සඳහන්ය.නොයෙකුත් ශාකවලින් ලබා ගන්නා කෙඳි වර්ග පිළිවෙලට තබා සකස් කොට ඉන් පිළියක් තැනීම තනි පුද්ගලයකුට කළ හැකි දෙයක් නොවේ. මෙය සාමූහික ප‍්‍රයත්නයක් වන බැවින් හා නොයෙකුත් ආකාරයේ යන්ත‍්‍රසූත‍්‍ර උපකරණ අනිවාර්ය වූ හෙයින් ඒ යුගයේ පටන් ම මෙය කර්මාන්තයක් විය. විජය ලංකාවට පැමිණෙන විට කුවේණිය රෙදිපිළි කර්මාන්තයට අවශ්‍ය කපු නූල් තනමින් සිටිය බව මහාවංශයේ සඳහන්ය. භාරතයේ කසී රට හා තම්බපණ්ණිය හෙවත් නූතන ශ‍්‍රී ලංකාව ලෝකයේ ඉස්තරම්ම රෙදිපිළි නිපදවන්නන් බවට අතීතයේ පටන් නම් දරා  පැවැතියේ ය. එනම් ඒ යුගයේ සිටම අපනයන ඇඟලූ‍ම් කර්මාන්තය ශ‍්‍රී ලාංකිකයන්ට හුරුය.

වර්තමාන ලාංකීය ඇඟලූ‍ම් කර්මාන්තයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ විමලජීව ගනේගොඩ මහතාය.හෙතෙම තම සොහොයුරන් වන රත්නජීව, ආනන්ද, චන්ද්‍රසිරි කරුණාජීව යන මහත්වරුන් සමග ”නුර්ටෙක්ස්” නම් ඇඟලූ‍ම් ව්‍යාපාරයක් පටන් ගත් අතර ඒ ආසන්නයේම ”ජිල්” , ”මයුරා”, ”යුරෝ ලංකා” , ”ඉන්ටනැෂනල්” , ”රැක්‌ ඇපරල්”, ට‍්‍රාන්ස් ලංකා” ආදි ඇඟලූ‍ම් කර්මාන්තශාලා ගණනාවක් ආරම්භ කරන ලදී.. ඇමරිකානු හා එංගලන්ත වෙළඳපල ඉලක්ක කොටගෙන ආරම්භ කළ මෙම ව්‍යාපාර සමූහයෙන්  සෘජුව හා වක‍්‍රව යැපෙන්නන් සංඛ්‍යාව 20,000 ඉක්මවීය. ඇඟලූ‍ම් කර්මාන්තයේ සීග‍්‍ර වර්ධනයක් ඇති වූයේ ජේ ආර් ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ බිහිවූ නිදහස් වෙළඳ කලාප තුළය.ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් තමන්ගේ ඇඟලූ‍ම් අවශ්‍යතාවය නිෂ්පාදනය කරවා ගැනීමට හා ඇඟලූම් නිපදවන දිළිඳු රටවල් වලට සහනයක් ලබාගත හැකිවන පරිදි ”කෝටා” (සලාක) ක‍්‍රමයක් හඳුන්වා දුන්නේය.

ඇඟලූ‍ම් සලාක ක‍්‍රමය (Quota System)

ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සිය  ඇඟලූ‍ම් අවශ්‍යතාවයන් කොතෙක්දැයි ගණන් බලා එය ඇඟලූ‍ම් නිෂ්පාදනය කරන  මේ මේ රටවල්වලින් මේ මේ ප‍්‍රමාණය පමණක් ලබා දිය යුතු යයි එක් එක් රටවල් සමඟ ගිවිසුම් අත්සන් කළහ. මෙහිදී එක් එක් ඇඟලූ‍ම් වර්ග සඳහා අංකයක් ලබා දුන් අතර  එම රටවල් වලට එම ඇඟලූ‍ම් වර්ගය නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවය ඇත්දැයි ද (Capability) සැළකිල්ලට ගන්නා ලදී. තවද රටේ දරිද්‍රතාව කෙරේද විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබීය. සලාකයෙන්  වැඩිම ප‍්‍රතිශතයක් ලැබුනේ චීනයටයි. ඉහල ජනගහනයක් ඇති චීනයේ ඇඟලූ‍ම් කර්මාන්ත ද විශාල ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන් රටක් හැටියට ගත් කළ ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව ද ඉතා ඉහල විය. එබැවින් සලාකයෙන්  සියයට 55 ක ප‍්‍රතිශතයක් චීනයට ලබා දුනි. ශ‍්‍රී ලංකාවට ලැබුණේ 4% කි. ඇඳුම් නිෂ්පාදනයේ දුර්වල තත්වයන් පෙන්වන රටවල්වලට පවා විදේශ ගැනුම්කරුවන්ට යාමට සිදුවූයේ ඔවුන්ගෙන් ලබා ගන්නා ප‍්‍රමාණයද  නොගතහොත් සිය රටවල්වල ඇඟලූ‍ම් අවශ්‍යතාව පිරිමසාලීමට නොහැකි වන නිසාය. මේ හේතුව නිසා නිෂ්පාදනය කරන රටවල් වලට නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් සමග තරගකාරී බවක් ඇති වූයේ නැත. සමහර රටවල් වලට මින් සිදු වූ හානිය නම් තමාගේ  අපනයන නිෂ්පාදන ධාරිතාවය වැඩි කර ගැනීමේ හැකියාව තිබුණද කෝටා ක‍්‍රමය නිසා අපනයන ඉල්ලූ‍ම සීමාවී තිබීමයි.

රටට ලබාදෙන ලද ඇඟලූ‍ම් සලාකය එරට රජය මගින් එක් එක්  කර්මාන්තශාලා වෙත දෙනු ලබයි. ශ‍්‍රී ලංකාවේ මෙම කටයුත්ත කළේ ඇඟලූම් සලාක මණ්ඩලය (Textile Quota Board) මගිනි. ඒ යුගයේ මෙම බෙදා දීමේදී තම නෑදෑ හිතවතුන්ට හා මුදල් වලට සැලකිලි දැක්වීම තුළින් යම් යම් අසාධාරණකම්ද  සිදුවිය. අවශ්‍ය නිෂ්පාදන හැකියාවන් නොමැති ආයතන සඳහා සහ කිසිදු කර්මාන්ත ශාලාවක් නොමැති අයට පවා සලාකය නිකුත් කිරීම නිසා සලාකය අපතේ ගිය අවස්ථාද අවශ්‍ය තරම් විදේශ ඇනවුම් ඇති නිෂ්පාදකයින්ට සලාකය නොලැබීම නිසා ඇනවුම් වෙනත් රටවල් වලට ගිය අවස්ථාද දක්නට ලැබිණ. සමහර නිෂ්පාදකයින්ට  වැඩි මුදල් ගෙවා සුදුසුකම් නොමැතිව සලාකය රජයෙන් ලබාගත් අයගෙන් ඒවා මිලදී ගැනීමටද සිදුවිය. බොහොමයක් වැරදි හා දූෂණ සිදු වුයේ දේශපාලන මැදිහත්වීම් නිසා ය.මේ යුගයේ කෝටා බ්‍රෝකර් ලා කණ්ඩායමකුත් සැදී සිටියේය. 2005වසරේ සලාක ක‍්‍රමය අහෝසි කිරීම හේතුවෙන් සලාක විකිණීමෙන් මුදල් ඉපයූ ඇඟළුම් කර්මාන්තකරුවන්ට, එයින් ප‍්‍රයෝජන ගත් දේශපාලකයින්ට, නිලධාරීන්ට හා බ්‍රෝකර්ලාට තරු පෙනිණ. තමා වංචනිකව උපයාගත් මුදල් ප‍්‍රයෝජනවත් කාර්යයකට යොදා නොගත් නිලධාරීන් හිටියාටත් වඩා අසරණ විය. අධ්‍යාපනය සඳහා විදේශගත තමාගේ දූදරුවන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට සමහරුන්ට සිදුවිය. තැටිය වෙනස් කර ගැනීමට දේශපාලකයින් නම් සමත් වූහ. කෝටා ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුව ලෝකයේ අනෙකුත් ඇඟලූ‍ම් නිෂ්පාදන රටවල් සමඟ තරග කිරීමට ලංකාවේ නිෂ්පාදකයන්ට සිදුවිය. බොහොමයක් ගැනුම් කරුවන් පහසුකම් ඇති චීනය වෙතද අඩු මිලට ඇඟලූ‍ම් ලබාගත හැකි බංගලාදේශය බලාද ගියහ.සලාක ක‍්‍රමය තිබු ඇඟලූ‍ම් කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ රෙදි ඇතුළු අමුද්‍රව්‍යය ලංකාව තුළ නිෂ්පාදනය කිරීමට බලධාරීන් උනන්දු නොවූයේ ඒවා පිටරටින් ගෙන්වන විට තමන්ට ලැබෙන ප‍්‍රතිලාභ නොලැබෙනු ඇතැයි කල්පනා කළ නිසා විය හැකිය.

ආර් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූ‍ම් කර්මාන්තය ප‍්‍රාදේශීයකරණයෙන් රටේ විවිධ ප‍්‍රදේශ වල කර්මාන්ත ශාලා සියයකට වැඩි ප‍්‍රමාණයක් ස්ථාපනය විය.රටට ලැබී තිබු සලාකයෙන් වැඩි ප‍්‍රමාණයක් අපතේ නොයවා රැක ගැනීමට මෙම ක‍්‍රමවේදය මහෝපකාරී විය.ආර් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට මා විසින් ඉදිරිපත් කරන ලද මේ සංකල්පය එවකට ජනසවිය කොමසාරිස් ”සුසිල් සිරිවර්ධන” මහතා සමඟ පවත්වන ලද සාකච්චා වට ගණනාවකින් අමතරව ක‍්‍රියාත්මක කිරීමට හැකිවිය.

ලෝකයේ ඉස්තරම්ම Made In Sri Lanka ඇඟලූ‍ම් 

මීට වසර දෙක තුනකට ඉහතදී මාගේ හොඳම පාසැල් මිතුරා ඇමරිකාවේ සංචාරය කොට පැමිණියේය. මා අමතක නොකල ඔහු ඩෙනිම් කලිසමක් සහ ලා නිල් පැහැති කමිසයක් මා වෙත තෑගි කොට ඒවා  ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සුපිරිම වෙළඳසැළෙන් මිළදී ගත් බව කීවේය. ඒ දෙකෙහි ලේබල් පරීක්ෂා කළ මට දක්නට ලැබුණේ Made In Sri Lanka යන වචන පෙළයි. ”ඇත්ත වශයෙන්ම ලෝකයේ ඉස්තරම්ම ඇඳුම් ඔබ මට තෑගි දුන්නා” යැයි මම ඔහුට කීවෙමි.

ඉහළ සාක්ෂරතාවයකින් යුත්  ලංකාවේ වැසියන්ට යමක් ඉක්මනින් වටහා ගැනීමේ හැකියාව හා ඊට අනුගතව කටයුතු කිරීමේ හැකියාව ඇත.ශ‍්‍රී ලාංකික ඇඟලූ‍ම් සේවක සේවිකාවන්ට ද මෙය පොදුය. එබැවින් ලංකාවේ ඇඟලූ‍ම් නිෂ්පාදනයේදී ඊට අදාළවන තාක්ෂණික ක‍්‍රමවේදයන් ක්‍ෂණිකව වටහා ගැනීම හා ඊට අනුගතව ක‍්‍රියා කිරීම අප නිෂ්පාදන ලෝකයේ ඉස්තරම්ම තත්ත්වයට පත්වීමට හේතු විය. අනෙක් රටවල් සමඟ තරග කිරීමට උසස් තත්ත්වයේ ඇඟලූ‍ම් නිෂ්පාදනයට  ඇති හැකියාව ශ‍්‍රී ලංකාවට ආශීර්වාදයකි. කලට වෙලාවට වැඩ කිරීම අතිනුත් ලංකාවේ ඇඟලූ‍ම් කර්මාන්ත ශාලාවලට ඇත්තේ ප‍්‍රමුඛ ස්ථානයකි. ඇඟලූ‍ම් ඇණවුමක් කලට වෙලාවට නිම කිරීම සඳහා ඉරිදා පෝයදා, තමන්ට හිමි නිවාඩු පවා නොගෙන සමහර දිනවල රැබෝ වනතුරු සේවය කරන ඇඟලූ‍ම් සේවක මහත්ම මහත්මීන් අපි දැක ඇත්තෙමු. ජාත්‍යන්තර උපදෙස් පිළිපැදීම ගැන ද ශ‍්‍රී ලංකාව පෙරමුණේ සිටින්නේ ඉහල සාක්‍ෂරතාවය නිසාය. මේ හේතු නිසා  තමන්ගේ ඇඟලූ‍ම් ව්‍යාපාරය රැක ගැනීම පවත්වාගෙන යාම එතරම් අසීරු කටයුත්තක් වුණේ නැත. එහෙත් බොහොමයක් අනෙකුත් ආසියානු රටවල් හා චීනය සමග සංසන්දනය කර බැලීමේදී අප මුහුණ දෙන බරපතළ ගැටලූ‍වක් වී ඇත්තේ රට තුළ ඇඟලූ‍ම් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහිම නිෂ්පාදනය නොවීමයි. අලූ‍ත් ඇණවුමක් ආරම්භ කිරීමට පෙර එයට යොදන අමුද්‍රව්‍යයන් ගැනුම්කරුවන්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුය. ඒවා අනුමත නොවුණහොත් යළි යළි වෙනස්කම් කොට අනුමත කරවාගත යුතුය.මෙහි නිෂ්පාදනය නොකරන අමුද්‍රව්‍යය  පිටරටින් ගෙන්වා ගැනීමට අමතර කාලයක් ගත වීම අමුද්‍රව්‍ය ඇති ඇඟලූ‍ම් නිෂ්පාදනය කරන රටකට වඩා අපට ඇති අවාසියකි. සියළුම අමුද්‍රව්‍ය අප රට තුළ නිපදවීමට අපට හැකියාව තිබියදී එසේ නොකිරීම කණගාටුවට කරුණකි. බටහිර රටවල සෘතුවෙන් සෘතුවට ඔවුන්ගේ කාලගුණය ශීතල හා උෂ්ණත්වය වෙනස් වන නිසා නියමිත වේලාවට නොලැබෙන ඇඳුම් පැළඳුම් වලට එම රටවල වෙළඳ පළක් ඇත්තේ නැත. ඊළඟ වසරේ එම වෙළඳපලට කලින් වසරේ ඇඳුම් නොගැලපෙන්නේ ඔවුන්ගේ මෝස්තර ද වසරින් වසර වෙනස්කම් වලට භාජනය වන හෙයිනි. කෝටා ක‍්‍රමය අහෝසි වීමෙන් පසුව අපනයනයෙන්  වැඩි කොටසක් චීනය වෙත ගලා ගියේ ඉදිකටුවේ සිට සියලූ‍ම වර්ගයේ මහන යන්ත‍්‍ර දක්වාත් , අවශ්‍ය අමුද්‍රව්‍ය, බොත්තමේ සිට ඕනෑම රෙදි වර්ගයක් දක්වාත් පහසුවෙන් හා ගැණුම්කරුවන්ට අවශ්‍ය පරිදි ලබා ගැනීමට නිෂ්පාදකයාට ඇති හැකියාව නිසාය.මේ හේතුවෙන් දිළිඳු රටවල ඇඟලූ‍ම් කර්මාන්තය අනතුරේ වැටෙනු දුටු ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් GSP + නමින් ක‍්‍රමවේදයක්(Generalised Scheme of Preferences Plus) හඳුන්වා දුන්නේය.

GSP+ (Generalised Scheme of Preferences) ක‍්‍රමවේදය හඳුන්වා දීම.

ඇමෙරිකාව හා යුරෝපීය රටවල් තම රටට භාණ්ඩ ආනයනය කිරීමේදී ආනයන බද්දක් පනවා ඇත. ජීඑස්පී +  සහනය යනු තෝරාගත් රටවල් කීපයක් සඳහා මෙම ආනයන බද්දෙන් යම්කිසි ප‍්‍රමාණයක් නිදහස් කිරීමයි. ලංකාවට ද මේ සහනය ලැබිණි. එවිට එම රටවල්වල ගැනුම්කරුවකු අප රටෙන් ඇඟලූ‍ම් ලබාගන්නාවිට ඔහුට බදු සහනයක් ලැබේ. එවිට එම රටවල්වල ගැනුම්කරුවන් ජී එස් පී සහනය ඇති ලංකාව වැනි රටකින්  ඔහුගේ රටට ආනයනය කරන විට වෙනත් රටකින් ගන්නවාට වඩා ලාභදායී විය. මේ හේතුව නිසා ජී එස් පී + සහනය ඇති රටවල් වෙත ගැනුම්කරුවන් යාමට වඩාත් උනන්දු විය. ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට එක කොන්දේසියක් වූයේ නිෂ්පාදනය කරන රටින් අපනයනය කරන භාණ්ඩයේ මුළු වටිනාකමින් සියයට 60 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සඳහා  එම රටේ දායකත්වයක් තිබිය යුතු බවයි. ඇඟලූ‍ම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම විදේශයන්ගෙන් ගෙන්වන විට ඇඟලූ‍ම් සඳහා ලංකාවේ දායකත්වය 60% මට්ටමේ තබා ගැනීම අසීරු කාර්යයක් විය.එයට හේතුව ලංකාවේ දායකත්වය ශ‍්‍රමය පමණක්ම වීමය . මේ නිසා එම ඇඟලූ‍ම් නිෂ්පාදනයට අමතරව තවත් යමක් එක් කිරීමට සිදුවිය. එනම් එම්බ්‍රෙයිඩර්,ඇප්ලික් , නොයෙක් ආකාරයෙන් පින්තාරු කිරීම, පින්ටැක් කිරීම, වැඩි මිල ගණන් එකතු වන සේදීම් වර්ග, එනම් ස්ටෝන් වොෂ් සෑන්ඞ් වොෂ් ආදිය සිදු කිරීම, විසිතුරු ගල් වර්ග ඇල්ලීම ආදිය යි. මේ නීතිය නිසා ඇඳුමක වටිනාකමින් වැඩිම කොටසක් වන රෙදි නිපදවන බංග්ලාදේශය වැනි රටවලට වැඩි අවස්ථාවක් ලැබිණ. ශ‍්‍රමය පමණක් යොදන ලංකාව වැනි රටකට ඇණවුම් ලබා ගත හැකිවූයේ තෝරාබේරා ගෙනය. ජී එස් පී සහනය ලැබෙන්නේද 2023 දක්වා පමණක් හෙයින් එතනින් එහාට විකල්ප ක‍්‍රමවේද සොයා බැලිය යුතුය.

අවු 30 කට එපිට හා වර්ථමානය සංසන්දනය කිරීමේදී පෙනෙන ලොකුම ගැටළුව 

1982 වසර වන විට ඩොලරයක අගය වූයේ රුපියල් විසි පහකි. අද වන විට එය රුපියල් 195 ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසන්න වශයෙන් අට ගුණයක වැඩි වීමකි. එදා ඩොලරයක් ගෙවූ ඇඟලූ‍මකට අද ගෙවන්නේත් ඩොලර් එකක් හෝ ආසන්න මුදලකි. හේතුව බොහෝ විට බටහිර රටවල්වල භාණ්ඩ මිළෙහි වැඩි වෙනසක් ඇති නොවන නිසාය.රුපියල් වලින් ගත්කල 1982 දී මෙන් අට ගුණයක් කර්මාන්ත කරුවාගේ ආදායම ඉහළ ගොස් ඇත. 1982 දී මහන යන්ත‍්‍ර ක‍්‍රියාකරවන්නියකට ගෙව්වේ රුපියල් තුන්සීයක වැටුපකි. අද වන විට එය රුපියල් විසිපන්දාහක් පමණ වේ. එනම් ආසන්න වශයෙන් අසූ තුන් ගුණයක වැඩි වීමකි. මෙම වැටුපට ගැළපෙන සේ ම ආයතනයක අනෙකුත් සියලූ‍ වියදම් ද ඉහළ ගොස් ඇත. එලෙස බැලූ කල ඇඟලූ‍ම් ක්ෂේත‍්‍රයේ ආදායම අට ගුණයකින් ඉහළ යද්දී වියදම අසූ තුන් ගුණයකින් ඉහළ ගොසිනි. ඇඟලූ‍ම් කර්මාන්තය පවත්වාගෙන යෑම අද ඉතා සකසුරුවම් ලෙස නොකලොත් අමාරුවේ වැටෙනවා නියතය.

ඇඟලූ‍ම් කර්මාන්තය වැනි කර්මාන්ත තුන්වැනි ලෝකයේ රටවල් වලට ලැබෙන්නේ ඒවා ශ‍්‍රමය මූලික කොටගෙන ක‍්‍රියාත්මක වන හෙයිනි. අනෙකුත් කර්මාන්තමෙන්  අඩු ශ‍්‍රමයක් යොදාගෙන නිෂ්පාදන කටයුතු කිරීමට ඇඟලූ‍ම් කර්මාන්තයකට නොහැක. එබැවින් මෙම කර්මාන්තය ගැලපෙන්නේ ඉතාමත් අඩු මුදලට ශ‍්‍රමය ලබාගත හැකි රටවල්වලට පමණි. බොහෝදුරට ලංකාවේ තිබුණු කර්මාන්ත බංග්ලාදේශයටත් ඉන්පසු වියට්නාමයට හා  ඉතියෝපියාව වැනි ඉතාමත්ම අඩු ගෙවීම් සහිත රටවල් වලටත් සංක‍්‍රමණය වේ. එහෙත් එම රටවල් වල කාර්යක්ෂමතාවය බැලූ කල ලංකාවේ ඇගලූ‍ම් කර්මාන්තය පවත්වාගෙන යාම තවමත් සාධනීය බව පෙනේ. ලංකාවේ වැටුප් ඉහල නැගීමට හේතුව රට දියුණු වීම නොව දිගින් දිගටම ගත් විදේශ ණය වලින් රටේ කාරක ප‍්‍රාග්ධන  අවශ්‍යතා පිරිමැසීම ය. කිසියම් ව්‍යාපෘතියක් සඳහා ගත් විදේශ ණය මුදල්ද අවසානයේ වැයවී ඇත්තේ මහජනතාවගේ පාරිභෝජනය වෙනුවෙනි. දිගින් දිගටම ණය ගැනීම නිසා මහජනයාගේ අතේ මුදල් ගැවසුණද රුපියලේ අගය පහල වැටීමෙන් මහජනයාට සෙතක් සැලසුනේ නැත. ඇඟලූ‍ම් කර්මාන්තය වැනි ශ‍්‍රම මුලික කර්මාන්තයක් ඔස්ටේ‍්‍රලියාව  වැනි රටක ආරම්භ කලේ නම් එහි ශ‍්‍රමිකයෙකුට පැයකට ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 20 ක් ගෙවිය යුතු වේ.එනම් ශ‍්‍රී ලංකා රුපියල් 2600කි. පැය 8 ක් සහිත දින 25 ක මාසයක් සඳහා රු 520,000/ ක් ගෙවිය යුතුවේ.එබැවින් එවැනි රටවල කිසිසේත් ඇඟලූ‍ම් කර්මාන්තයක් පටන් ගන්නේ නැත. එම රටවල් වලට ඇඟලූ‍ම් සැපයීමේ ඒකාධිකාරය පවත්වාගෙන යනු ලබන්නේ චීන සමාගම් විසිනි.මා පෞද්ගලිකව එහි ගොස් අපගේ ඇඟලූ‍ම් එහි සුපිරි වෙළඳසැල් ජාලයනට එක්  කිරීමට ගත් උත්සාහයද ඵල රහිත විය.

දේශීය වෙළඳපොලේ අද තත්ත්වය

දේශීය වෙළෙඳ පළට  ඇඟළුම් සපයන බොහෝදෙනෙක් ඉතා කුඩා කර්මාන්ත ශාලා හිමි අය වෙති. තම නිවසේ මහන යන්ත‍්‍ර දෙක තුනක් යොදාගෙන පවුලේ අය එකතුව කරන කුඩාම ඒකක ද තිබේ. මෙවාට හොඳ ඉල්ලූ‍මක් ද පවතී. දේශීය වෙළඳපොළට ඇඳුම් සපයන මහා පරිමාණ කර්මාන්ත හිමියෝ ද නැත්තේ නොවේ. මහන ඇඳුම්වල තත්වය මත ඉහළ සාප්පු සංකීර්ණ සඳහාද  මොවුන්ගේ නිෂ්පාදන මිළදී ගනු ලැබේ.විටින් විට පැමිණෙන රජයන්හි ප‍්‍රතිපත්ති වෙනස්වීම් නිසා කුඩා පරිමාණ දේශීය කර්මාන්තකරුවන් විශාල අපහසුතාවයට පත්වූ අවස්ථාද ඇත. කාලයක් පිටරට මිනිස්සු භාවිතාකොට ඉවත දැමූ ඇඳුම් සෝදා ලංකාවට ගෙනෙන ලදී. මෙහිදී ඒවාට ටැග් යොදා හොඳට අසුරා වෙළඳපලට එවීමෙන් දේශීය නිෂ්පාදකයාට තරග කිරීමේ හැකියාව නැති විය.තවද ඉන්දියාව බංගලිදේශය වැනි රටවල අපනයනය කොට ඉතිරිවන ඇඳුම් හා ඔවුන්ගේ ගැනුම්කරුවන් ප‍්‍රතික්ෂේප කළ ඇඳුම් ඉතා අඩු මිළට ලබාගෙන ඒවාද ලංකාවට ආනයනය කරන කණ්ඩායම් සිටියහ.ලෝකයේ උසස්ම ඇඟලූ‍ම් අපට නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී පිටරටින් නිමි ඇඳුම්  ගෙන්වුයේ කුමන දේශපාලකයාගේ වුවමනාවට දැයි දන්නෝ දනිති. අපේ ගම්මිරිස් කුරුඳු ඇතුළු සුළු අපනයන විනාශ කලෙත් මේ අන්දමටය.

ලංකාවේ බදු ප‍්‍රතිපත්තිය කලින් කලට වෙනස් වීමද දේශීය වෙළඳපොල ඉලක්ක කරන කර්මාන්තකරුවාට විශාල ගැටළුවකි.දේශීය නිමි ඇඳුම් නිෂ්පාදකයාට ගෙන්වන අමුද්‍රව්‍ය වලට පනවන බදු සඳහා යම් සහනදායි ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම හා විදේශයන්ගෙන් මෙරට පරිභෝජනයට නිමි ඇඳුම් ගෙන්වීම සහමුලින්ම නැවත්වීම දේශීය ව්‍යාපාරිකයා ඔසවා තැබීමට ඉවහල් වනු ඇත.

පසුගිය වසරේ ඇතිවූ පාස්කු ප‍්‍රහාරය හා මේ වසරේ කොරෝනා වසන්ගතය හේතුවෙන් දේශීය වෙළඳපල සහමුලින්ම කඩා වැටීමකට ලක් විය.

ඇඟලූ‍ම් කර්මාන්ත හිමියා රැක ගැනීම 

කොවිඞ් 19 වෛරස ආක‍්‍රමණය නිසා අපේ අපනයන  ඇඟලූ‍ම් සඳහා ලොකුම ගැනුම් කාරයින් වන ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල් බලවත් සේ පීඩාවට පත්ව ඇත. මේ හේතුවෙන් එම රටවල ගැනුම්කරුවන් අප වෙත දී ඇති ඇණවුම් බොහොමයක් තාවකාලිකව අත්හිටුවන ලෙසට දන්වා ඇත. එම රටවල් යථා තත්ත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගත වනු ඇත. මෙවන් තත්ත්වයක් යටතේ අප රටේ ඇඟලූ‍ම් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද? පෙරළුන පිට හොඳයි කියමින් දැන් තියෙන්නේ වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අපගේ නිෂ්පාදන වෙනස් කිරීමයි. දැනට ලෝකයේ මුව ආවරණ සඳහා මසකට බිලියන දෙකක ඉල්ලූ‍මක් පවතී. එමෙන්ම ලෝකයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා වීම සඳහා තම ඇඳුම් වලට පිටින් අඳින ආරක්ෂිත ඇඳුම සතියකට මිලියන දෙක ගණනේ  වුවමනා වී ඇත. මේවා නිෂ්පාදනය කළ හැකි බංගලාදේශය , ඉන්දියාව, වැනි රටවල් ද වෛරසයෙන් පීඩා විදිමින් සිටින අතර ඔවුන් ඉන් මිදෙන දිනය සම්බන්ධව සිතාගත නොහැක. චීනයෙන් ඒවා ගෙන්වා ගැනීමට ඇමරිකානු හා යුරෝපීය රාජ්‍යයන් මැලි කමක් දක්වති. ලංකාවේ මැනවින් වෛරසය පාලනය කර ඇති නිසා මෙම නිෂ්පාදනයට අපට ඉක්මනින් අවතීර්ණ විය හැකි වුවහොත් ලෝකයේ ඇඟලූ‍ම් ව්‍යාපාර යථා තත්ත්වයට පත්වන තෙක් කර්මාන්තශාලා පවත්වාගෙන යාහැකි වනු ඇත. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ශ‍්‍රී ලංකාව තුළම නිපදවිය හැක.අප කළ යුතුව ඇත්තේ ඉක්මන් ක‍්‍රියාමාර්ග ගැනීමයි. එමෙන්ම ඇඟලූ‍ම් කර්මාන්තශාලාවක් යනු වැඩි පිරිසක් ඒකරාශී වන ස්ථානයක් හෙයින් තම තම ආයතන වල සෞඛ්‍යාරක්ෂාව පිළිබඳවද ඉතා තද සැලකිල්ලක් ආයතන කළමනාකරුවන් විසින් දැක්වීම ද අනිවාර්ය වේ. ආර්ථික සටනින් හා ජාතික ව්‍යසනයෙන් ජයගැනීම සඳහා ගතින් නොව ක‍්‍රියාවෙන්  එක් වෙමු.

චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ /දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. ඇඟලුම් කර්මාන්තය ගැන එක ලිපියකින් දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා .ස්තුත්යි

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435