ඉදිරි අය-වැයෙන් උපාධිධාරී විරැකියා ගැටලුව විසඳන්නැයි ඉල්ලීමක්!

පිළිගත් විශ්වවිද්‍යාල මඟින් උපාධිය ලබා ඇති සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට එළැඹෙන මාර්තු අය-වැය අනුව රැකියා ලබා නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් දැවැන්ත සටනක් ආරම්භ කරන බව උපාධිධාරි ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ රට පුරා විසිරී සිටින 57,000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් මුදල් වෙන් කිරීමට පියවර ගන්නා ලෙසයි.

පසුගිය වර්ෂයේ අගෝස්තු මාසය වන විට 57,000ට ආසන්න රැකියා විරහිත උපාධිධාරි පිරිසක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමු කර තිබුණද ඉන් සංවර්ධන නිලධාරි තනතුර සඳහා උපාධිධාරීන් 4000ක් පමණක් බඳවා ගත් බවත් ඉන් පසු කිසිම උපාධිධාරියකුට රැකියා අවස්ථා හිමි නොවූ බවත් ඔහු මෙම ලිපිය මඟින් පෙන්වා දෙයි.

පළාත් රාජ්‍ය සේවයේ, මධ්‍යම රාජ්‍ය සේවයේ, සංවර්ධන නිලධාරි සේවයේ හා ගුරු සේවයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බව ඉතා පැහැදිලිව පෙනෙන නිසා එම පුරප්පාඩු සඳහා රැකියා විරහිත උපාධිධාරීන් අනුයුක්ත කොට මෙම ප්‍රශ්නය සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් ඇතැයිද රැකියා විරහිත උපාධිධාරීන්ගේ මූලික අයිතීන් රැකෙන ලෙස රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නැයිද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පසුගිය අගෝස්තුවේදී බඳවාගත් රැකියා විරහිත උපාධිධාරීන් අතුරෙන් බාහිර උපාධිධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය මින් පෙර ක්‍රියාත්මක නොවුණු නිසා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් පසු අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් සුදුසුකමින් සමාන වන නිසා බාහිර උපාධිය අසමාන ලෙස සැලකීම රටේ නීතිය හා මූලික අයිතීන් අභියෝගයට ලක් කිරීමක් බවත් ඔහු පෙන්වා දෙයි.

බාහිර උපාධිධාරීන්ට රැකියා ලබා නොදීමේ තීරණයක් ගත්තේ නම් එය රටේ සංවාදයට ලක් කොට බාහිර උපාධි ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් එවැනි වාරණයක් නොමැති මොහොතක මෙවැනි කප්පාදු කිරීමක් යුක්ති සහගත නොවන බවන් ඔවුහු පෙන්වා දෙති.

මුලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435