ඉසබෙලා සේවකයින්ට වසර 4 ක නොගෙවූ ව්‍යවස්ථාපිත හිමිකම් දිනා ගනී

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ජාත්‍යන්තරයට මේස් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් වන ඉසබෙලා පුද්ගලික සමාගමේ සේවක සේවිකාවන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ශාඛාවක් පිහිටුවා ගැනීමෙන් පසුව එම සේවක සේවිකාවන් හට සෙනසුරාදා කෙටි වැඩ දිනයේ සහ සති අන්ත ඉරිදා දිනවල සේවයේ යොදවා ඇතත් එම දිනයන්ට හිමි නියමිත ගෙවීම් සිදු කර නොමැති බව හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් සහ එම සේවක සේවිකාවන් මුහුණ දෙන වෘත්තීය සෞඛ්‍ය ගැටළු පිළිබඳව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් මීගමුව සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට කරන ලද පැමිණිළිවල ප‍්‍රතිඵලයක් ලෙස මෙසේ එම සේවක සේවිකාවන්ට හිමිවිය යුතු ව්‍යවස්ථාපිත හිමිකම් නොගෙවීම පිළිබඳව ගණනය කරමින් මේ වන විටත් එහි සේවකයින් කොටසකට ඔවුන්ට හිමි හිඟ මුදල් ද සමග ගෙවීමට සමාගම කටයුතු කර ඇත.

ඉතිරි සේවක සේවිකාවන්ට ද අදාල හිඟ මුදල් ගණනය කර ගෙවීමට මීගමුව දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී කළමණාකාරීත්වය එකඟව ඇත. එසේ එකඟ වූ ව්‍යවස්ථාපිත හිමිකම් නොගෙවා මග හැරීමට එහි කළමණාකාරීත්වය විසින් විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බවට තමන්ට වාර්ථා වී ඇති බවත්, ඒ සඳහා නිර්ණාමික පෝස්ටර්, දැන්වීම් කර්මාන්තශාලාවේ නිල දැන්වීම් පුවරුවේ පළ කිරීමට කටයුතු යොදා ඇති බවත්, නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවී එම හිඟ මුදල් ගෙවීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන බවත් තමන්ට දැන ගන්නට ලැබී ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය කියා සිටී.

කෙසේ වෙතත් ඉසබෙලා කර්මාන්තශාලාවේ සේවකයින් මේ වන විටත් තම වෘත්තීය සමිතිය ශක්තිමත් කර ගනිමින් තමන්ට හිමි ව්‍යවස්ථාපිත හිමිකම් පමණක් නොව ඊට පරිබාහිරව අළුත් ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඒවා දිනා ගැනීමට පෙළ ගැසෙමින් සිටින තත්ත්වයක් තුල කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් හමුවී එම ගෙවීම් වලින් මග හැරීමට උත්සාහ දරන්නේ නම් එයට කිසිසේත් එම සේවක සේවිකාවන් ඉඩ නොදෙන බව තමන්ට විශ්වාස බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය කියා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435