ඊනියා උපහාර මුවාවෙන් ගුරුවරුන් දේශපාලන ව්‍යාපෘතිවලට කොටුකරලා

06 October 2013 – wedabima.lk

“ගුරු ප‍්‍රතිභා ප‍්‍රණාම” යනුවෙන් දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජය ගුරුවරුන්ට ඊනියා උපහාර පිරිනමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ හෙට (06) සැමරුවද දේශපාලකයින් මේ වන විට ගුරුවරු තම දේශපාලන ව්‍යාපෘති තුළට කොටු කර ගනිමින් සිටින බවට හෙතෙම චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ජෝසප් ස්ටාලින් මහතා නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

ලෝක ගුරු දිනය අදට යෙදී තිබේ. මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ “වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් වඩාත් යහපත් ලොවක් ගොඩ නැඟීම සඳහා ගුරු ප‍්‍රජාවට කෙරෙන ආමන්ත‍්‍රණය” යන්නයි.

ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවිනි. ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදා ය.

ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි.

“වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් වඩාත් යහපත් ලොවක් ගොඩ නැඟීම සඳහා ගුරු ප‍්‍රජාවට කෙරෙන ආමන්ත‍්‍රණය” යන තේමාව යටතේ ලෝක ගුරු දිනය ලොව පුරා සැමරෙද්දී ලංකාවේ වත්මන් අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරුන්ගේ නිදහස් චින්තනය මොට කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් ගුරුවරයා වහල් බවට පත් කෙරෙමින් තිබේ.

“ගුරු ප‍්‍රතිභා ප‍්‍රණාම” යනුවෙන් තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගුරුවරුන්ට ඊනියා උපහාර පිරිනැමීමක් කරන රජය මේ වන විට ගුරුවරු තම දේශපාලන ව්‍යාපෘති තුළට කොටු කර ගනිමින් සිටිති. 1997 සිට පවතින ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පියවර නොගත්තා පමණක් නොව ගුරුවරුන්ට ලබාදීමට එකඟවූ අතුරු වැටුප් යෝජනාව ද මේ වන තෙක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන නැත.

රාජකාරි වේලාවෙන් පසු සේවාස්ථ සැසි පවත්වමින්, පාසල් කාලය ප.ව. 3.00 දක්වා අත්තනෝමතික ලෙස දීර්ඝ කිරීමට පියවර ගනිමින් ගුරුවරයා ලැබිය යුතු කායික හා මානසික විවේකය අහිමි කිරීමට පියවර ගැනීම තුළ ගුණාත්මක අධ්‍යාපනය පාසල් පද්ධතියෙන් බැහැර කිරීමට රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින්නේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතියි අහිමි කිරීම උදෙසාය.

ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත වූ 1994 ඔක්තෝම්බර් 6 දිනය ලෝක ගුරු දිනය ලෙස ලංකාවේ සැමරුවද වත්මන් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ඇතුළු අධ්‍යාපන බලධාරීන් ඉතා අත්තනෝමතික ලෙස එම සේවා ව්‍යවස්ථාව වෙනස් කර මේ වන විටත් නව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇත්තේ ගුරුවරයා වෙත තම අධිකාරී බලය මුදා හැරෙන ලෙසය.

මෙම නව ගුරු සේවා ව්‍යවස්ථා කෙටුම්පතේ ගුරුවරයා හඳුන්වා ඇත්තේ “ගුරු සේවයේ තැනැත්තන්” ලෙසය. මෙය ගුරුවරයාගේ ගෞරවය අහිමි කරමින් ඔවුන් වහල් භාවයට පත් කිරීමේ උත්සාහයකි. ලෝක ගුරු ප‍්‍රඥප්තියට අනුව ගුරුවරුන් සම්බන්ධයෙන් රජය ගන්නා සෑම තීන්දුවක්ම ගුරුවරු නියෝජනය කෙරෙන ගුරු වෘත්තීය සමිතිවල නියෝජිතයන්ගේ අදහස් හා එකඟතාවයන්ට අනුව සිදු කළ යුතුය.

නමුත් වත්මන් අධ්‍යාපන ඇමතිවරයා ගුරුවරු සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන පද්ධතියටම අදාළ සියලූ තීරණ ගනු ලබන්නේ තම දේශපාලන අවශ්‍යතාවන් පමණක් සැපිරෙන පරිදි අත්තනෝමතික ලෙසය.

මීට කදිම නිදසුන වන්නේ 2013 – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ලෝක ළමා දිනයේදී නිකුත් කිරීමය.

ලෝක ගුරු දිනය සැමරෙන අද දිනයේ මෙලෙස ගුරුවරයා වහල් භාවයට පත් කරමින් ඔවුන්ට නිදහස් චින්තනයක් සහිත පුරවැසියන් ලෙස තම වෘත්තියේ යෙදීමට ඇති අයිතිය අහිමි කිරීමට ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.

එසේම දෙලක්ෂ විසිපන්දහසකට ආසන්න සමස්ත ශී‍්‍ර ලාංකික ගුරුවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ගුරුවරයා සම්බන්ධයෙන් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් නිදහස් චින්තනයෙන් යුතු වෘත්තිකයෙක් ලෙස කටයුතු කිරීමට එක් වන ලෙසයි.

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්

මුලාශ‍්‍රය – sinhala.adaderana.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435