ඊශ්‍රායලයේදී ඔබ මුහුණ දෙන පොදු ගැටළු වලට පිළිතුරු

රැකියා සඳහා ඊශ්‍රායලයට සංක්‍රමණය වූ ඔබට මුහුණ දීමට සිදු විය හැකි ගැටළු සහ එම ගැටළු වලට පිළිතුරු..

  • මගේ ස්වාමියා මගේ ගමන් බලපත්‍රය රැගෙන මා පිටුවහල් කරන බවට තර්ජනය කර ඇත. මට කල හැක්කේ කුමක්ද?

ඔබගේ සේවායෝජකයා නීතිය කඩ කර ඇත. සංක්‍රමණික සේවකයින්ට සහය වන රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන අමතා එය වාර්තා කරන්න. කිසිසේත්ම ඔබ යම් නිශ්චිත සේවායෝජකයෙකුට සීමා නොවන අතර, ඔබට වලංගු රැකියා වීසා බලපත්‍රයක් ඇතිනම් සහ තවත් සේවායෝජකයෙකු වෙනුවෙන් වැඩ කිරීමට කැමති නම්, අභ්‍යන්තර කටයුතු අමාත්යාංශය විසින් ඔබට එසේ කිරීමට ඉඩ කඩ ලබා දෙනු ඇත.

  • සංක්‍රමණික සේවකයින් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරන්නේ ඇයි? එයින් වැළකී සිටීමට මා කළ යුත්තේ කුමක්ද?

ප්‍රධාන වශයෙන්ම ඊශ්‍රායල් නීතිය කඩ වන ආකාරයට ක්‍රියා කරන සංක්‍රමණික සේවකයන් මෙන්ම සිය වීසා කොන්දේසි කඩ කරන සංක්‍රමණික සේවකයන් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරනු ලැබේ. ඔබට එයින් වැලකි සිටීමට අවශ්‍ය නම් පහත සඳහන් දේ පිලිබඳ සැළකිලිමත් වන්න.

  • ඔබේ සේවායෝජකයාගේ නම සඳහන් වලංගු රැකියා වීසා බලපත්‍රයක් ඔබ සතුව තිබිය යුතුය.
  • ඔබට ඔබගේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය නම් අදාළ කාලය අවසන් වීමට පෙර වීසා දීර්ඝ කරගැනීමේ පටිපාටිය ආරම්භ ක‍රන්න.
  • ඔබේ වීසා බලපත්‍රයේ නිශ්චිතව සඳහන් වන වෘත්තියට පරිබාහිර වෘත්තියක නිරත නොවන්න.
  • ඔබට ඔබගේ සේවායෝජකයා හැර යාමට අවශ්‍යනම් පූර්ව ලිඛිත දැනුම් දීමක් කරන්න. එහෙත් සේවායෝජකයා ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අවස්ථාවකදී එවන් කිසිදු පියවරක් ගැනීමට පෙර සංක්‍රමණික සේවකයින්ට සහය ලබා දෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල උපදෙස් ලබා ගන්න.
  • ඔබට ඔබේ වීසා කාලය දීර්ඝ කරගත නොහැකි අවස්ථාවක ඔබ වහාම නියමිත කාලය ඉකුත්වීමට පෙර ඊශ්‍රායලයෙන් පිටවිය යුතුය. අවශ්‍යනම් ඔබට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ නෛතික ආධාර ලබා ගත හැකිය.
  • රැකියා නියෝජිතායතනයක් මට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා දුන්නා. දැන් ඔවුන් මාව කෝකියෙකු ලෙස සේවයේ යොදවන්නට උත්සහ දරනවා. එයට අවසරයක් තිබෙනවාද?

නැත. ඔබේ රැකියා වීසා බලපත්‍රය වලංගු වන්නේ එක් නිශ්චිත වෘත්තියක් සඳහා පමනයි. ඔබට වෙනත් ක්ෂේස්ත්‍ර වලද රැකියා වල නිරත විය හැකි පවසන රැකියා නියෝජිතායතන හෝ අතරමැදියන්ව කිසිසේත් විශ්වාස නොකරන්න. එයින් අමාරුවේ වැටෙන්නේ ඔබයි.

  • රැකියාව කරමින් සිටින අතරතුර ගැබ්ගත් නිසා සේවායෝජකයා මාව රැකියාවෙන් ඉවත් කළා. මා කළ යුත්තේ කුමක්ද? 

ඊශ්‍රායල් නීතිය අනුව තමන් නිරත වන රැකියාව කරගෙන යාමට හැකියාව ඇති ගැබිණි සේවිකාවක් සේවයෙන් ඉවත් කිරීමට සේවායෝජකයාට කිසිදූ හැකියාවක් නොමැත. එමෙන්ම අනිවාර්යයෙන්ම ඔබ වැටුප් සහිත මාතෘ නිවාඩු සඳහාද හිමිකම් ලබයි. ඔබගේ සේවායෝජකයා පිලිබඳ විදේශ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිනිලි කොට ඔවුන්ගේ සහය ලබාගන්න.

  • මට මගේ සේවායෝජකයා පිලිබඳ පැමිනිලි කිරීමට අවශ්‍යයි. එත් මට බයයි ඒ බව ඔහු දැනගත්තොත් මා ඉන්නා තත්වය තවත් නරක අතට හැරෙයි කියලා. 

සේවායෝජකයෙකු පිලිබඳ පැමිනිල්ලක් කිරීම හෝ එසේ කිරීමට තවත් අයෙකුට සහයවීම හේතු කොටගෙන තමන් යටතේ සේවය කරන සේවකයෙකුට දඬුවම් කළහොත් එය ‘අපරාධ වරදක්’ ලෙස සළකනු ලැබේ. ඔබට එවැනි තත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් විදේශ කම්කරු දෙපාර්තමේන්තුව හෝ සංක්‍රමණික සේවකයින් සඳහා වන ක්ෂණික ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දෙන්න.

  • මා සමඟ මගේ දරුවනුත් ඊශ්‍රායලයේ වාසය කරනවා. ඔවුන්ට ඇති අයිතිවාසිකම් හා නීතිමය තත්වය කුමක්ද?

නීතිමය අතින් ගත් විට ඔවුන්ගේ සංචාරක වීසා කාලය අවසන්වූ පසු ඊශ්‍රායලයේ රැඳී සිටීමට ඔබේ දරුවන්ට කිසිදු හිමිකම්ක් නැහැ. නිලවශයෙන්, නියමිත කාලය අවසන් වූ පසුත් ඔබේ දරුවන් ඔබ සමඟ ඊශ්‍රායලයේ රැඳී සිටිනවානම් ඔවුන්ව සළකන්නේ නීති විරෝධී පිටස්තරයින් හැටියටයි.

කෙසේවෙතත් මෑතකදී ඊශ්‍රායල් රජය පහත සඳහන් තත්වයන් යටතේ ඊශ්‍රායල් සංක්‍රමණික සේවකයින්ගේ දරුවන්ට ස්ථීර පදිංචිය ලබා දීමට කටයුතු කරයි.

  • අවම වශයෙන් ඊශ්‍රායලය තුළ අවුරුදු පහකට වැඩි කාලයක් අඛණ්ඩව ඊශ්‍රායලයේ රැකියාවක නිරත විය යුතුය.
  • හීබ්‍රෑ භාෂාව කතා කළ හැකි විය යුතුය.
  • වයස අවුරුදු 13 පිරීමට පෙර ඊශ්‍රායලයට පැමිණි දරුවකු විය යුතුය

මේ ලිපිය ප්‍රයෝජනවත් වේයැයි ඔබට හැඟෙන අයෙකු අතර බෙදාහරින්න 🙂 

වැඩබිම

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

Israeli Government Portal ඇසුරින්

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435