උදේට නැගිටලා මාධ්‍ය වලට වොයිස්කට් දීමෙන් කම්කරු ප්‍රශ්න විසඳන්න බෑ – චතුර සමරසිංහ

වෘත්තීය සමිති ක්ෂේත්‍රයට ඔබේ ආගමනය සිදුවෙන්නේ කොහොමද?

මං 1998 දී ක්ෂේත්‍ර නිලධාරියෙකු හැටියට වතු ක්ෂේත්‍රයේ රැකියාවකට එකතුවෙනවා.ඊළඟ අවුරුද්දේ 99 දී ‘ලංකා වතු සේවක සංගමයට’බැඳෙනවා. 2001 වන විට ක්ලෝඩන් වතු යායේ ලංකා වතු සේවක සංගමයේ ඒකක ලේකම් ලෙස පත්වෙනවා. 2003 දී සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකත්වය ලැබෙනවා. 2006 දි අපේ සංගමයේ නිල පුවත්පත වන’ස්ටාෆ්’පුවත්පතේ කර්තෘ වෙනවා. 2008 දි ‘පස්දුන් රයිගම්’ශාඛා‍වේ සභාපති ලෙස විධායක කමිටුව නියෝජනය කරනවා. 2012 දි සංගමයේ ‘සමස්ත ලංකා උප සභාපති’බවට පත්වෙනවා.2014 දිත් නැවත ඒ තනතුර හිමිවී අද දක්වාම කටයුතු කරනවා.

ඔබ විසින් ඔබේ වෘත්තීය සමිති ජීවිතය තුළ කරනු ලැබූ තීරණාමක මැදිහත්වීමක් ගැන කිව හැකිද?

ඔව්. 2008 අවුරුද්දෙදි  පස්දුන් රයිගම් ශාඛාවේ සභාපති ලෙස කටයුතු කරමින් ලංකා වතු සේවක සංගමයේ විධායක සභාව නියෝජනය කරමින් සිටියා. ඒ කාලෙදි ‘ජීවන වියදම් දීමනාව’ අතහැර අවුරුදු 5ක සාමූහික ගිවිසුමකට එළඹීමට සංගමය තීරණය කරද්දී මං ඒකට විරුද්ධ වෙනවා. ඊට පස්සේ මගේ මතයත් එක්ක සංගමයේ ඉතාම සුළු පිරිසක් එකතුවෙලා අපි විකල්ප කණ්ඩායමක් හැටියට ඒ තීරණයට විරුද්ධව වැඩකළා. ඒත් සංගමයේ බහුතර මතය අභියස අපට පරාජය බාරගෙන නිහඬවෙන්නට සිදුවුණා. 2011 වෙද්දී මේ සාමූහික ගිවිසුම හේතුකොට ගෙන බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදීමට වතු සේවකයින්ට සිදුවුණා. සංගමයේ ජ්‍යෙෂ්ඨයින් අපේ මතයට එදා ඇහුන්කන් නොදුන්නත් අපි එදා පෙනී සිටි ස්ථාවරය ඉතාම නිවරදි බව අවුරුදු 3න් පස්සේ සේවකයින්‍ට තේරෙන්න ගන්නවා. 2012 වසරේදී මාව සමස්ත ලංකා උප සභාපති බවට පත් කිරීමට සේවකයින් ඡන්දය දෙන්නේ ඒ හින්දා. 2011 දී වැටුප් විෂමතාව මුල්කරගෙන රට පුරා උද්ෂෝණ ආරම්භ වුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට අවුරුදු 5ක ගිවිසුම අවුරුදු 3ක් දක්වා කාලය අඩුකර ගන්නට හැකිවුණා.

ඔබට ඔබේම වෘත්තීය සමිතිය ඇතුළේ එවැනි අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවුණත් රටේම වෘත්තීය සමිතිවලත් තත්ත්වය මෙයමැයි ඔබ සිතනවාද?

ඇත්තම කිවහොත් වෘත්තීය සමිතිවල, පංති ව්‍යාපාරය තුළ ‘මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය’ අහෝසි වෙමින් යනවා. අපිට එදා  සමාජය තුළ තරුණයින් ලෙස ඉදිරියට යාමට හැකිවීම පිළිබඳ සතුටුවෙනවා.අපට එහෙම ඉදිරියට ඒමට පුළුවන් වුණා. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර තුළ නෑ. විරුද්ධ මතයට ඉඩක් නෑ. පසුපෙළ නායකත්වයක් හදන්නේ නෑ. නිශ්චිත ඉලක්ක ගත කරගත් වැඩපිළිවෙළක් නෑ. මේ හේතුව නිසා සමස්ත පංති ව්‍යාපාරයම ඉදිරිපිට තියෙන්නේ බියකරු චිත්‍රයක්. තරුණ කොටස් අවශෝෂණය කර ගැනීමට වැඩපිළිවෙලක් පංති ව්‍යාපාරයට තිබිය යුතුයි. මෙම  තත්ත්වය අවබෝධ කොට ගෙන කරුණු කාරණා වෙනස් කර නොගතහොත් පංති ව්‍යාපාරය ඉදිරිපිට තියෙන්නේ විශාල අර්බුදයක්.

ඔබ නියෝජනය කරන වතු ක්ෂේත්‍රයේ මේවන විට තියෙන ගැටළු මොනවාද?

ගැටළු බොහොමයක් තියෙනවා. ඒත් එක ගැටළුවක් ගැන විතරක් අවධානය යොමුකරන්න කැමතියි.

වතු ක්ෂේත්‍රයේ නිලධාරීන් විශාල පිරිසකට ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව නිලධාරීන් ඉහළ මට්ටමේ තියා කතා කළද ඔවුන්ට සමහරවිට උපන් බිමේ බිම් අඟලක් නෑ. වතු 150ක් විතර 10-12 ලයින් කාමරවලට කොටුකරලා තියෙනවා. අවුරුදු 65 ක විශ්‍රාම යනකල් ඉඳලා නිලධාරියෙකුට ඉඩමක් අරන් ගෙයක් හැදීම ප්‍රායෝගිකව කරන්න බෑ. සමාන්‍ය කම්කරුවන් ජීවත්වන ලැයින් කාමර නිලධාරියෙකුට නොව  සතෙකුටවත් සුදුසු නෑ. මේ වෙද්දිත් ඉඩම් හෙක්ටයාර 40,000 ක් වගා නොකො‍ට තියෙනවා. ඒ ඉඩම් වලින් ඉතාමත් සීමිත කොටසක් බෙදාදීමේ හැකියාව තියෙනවා. ජීවත්වීම සඳහා වතු ආශ්‍රිතව සුව පහසු ජීවිතයක් තිබිය යුතුයි. නිල නිවාස අවුරුදු 60 න් පස්සෙ දෙන්න වෙනවා. උඩරට පළාතේ බරපතළ ඉඩම් හිඟයක් තියෙනවා. මුදල් තිබුණත් ගන්න බෑ. මිල අධිකයි. මෙම ප්‍රශ්නයට විසඳුමක් විදිහට නිලධාරියෙකුට පර්චස් 10 බැගින් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කරලා අනුමැතිය ලැබිලා තිබුණා. නමුත් තාමත් ක්‍රියාත්මක නෑ.

බොහෝ වෘත්තීය සමිති කුමක් හෝ දේශපාලන පක්ෂයක හෝ සංවිධානයකට ඒකාබද්ධව කටයුතු කරනු දැකිය හැකියි. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

කම්කරු ව්‍යාපාර, වෘත්තීය සමිති බෙලහීනතාවට පත්වීමට ලොකුම හේතුව ධනපති දේශපාලන පක්ෂ සමග හවුල්වීමට යාමයි. ඒක අද ඊයෙක නෙවෙයි. 1920-30 ගණන්වල ඒ.ඊ ගුණසිංහගෙ කාලෙ ඉඳන් තිබුණා. කම්කරු ව්‍යාපාර මත පදනම්වුණු සම සමාජ-කොමියුනිස්ට් පක්ෂවලට පවා ඒවායේ වෘත්තීය සමිතිවලට පවා සිදුවුණේ ඒකයි. වැඩකරන ජනතාවට නිදහස ලබාදීමට නම් නිර්ධන පංති ආඥාදායකත්වයක් යටතේ පාලනය ස්ථාපිත විය යුතුයි. ඒ මොකද කියනවානම් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ගැටුම විසඳන්න බෑ. ඒකට කම්කරු රාජ්‍යයක් ගොඩනැඟීමට අවශ්‍යයි.

වෘත්තීය සමිති දේශපාලන බලාධිකාරියක් සමග ගැට ගැසීමෙන් ශක්තිමත් වන්නේ නැතිද?

වෘත්තීය සමිතියකට පක්ෂ දේශපාලනයක් අනවශ්‍යයි. ඒත් කම්කරු පංති දේශපාලනයක් අවශ්‍යයි. මැයි 01 වනදා ඒ කම්කරු දේශපාලනයේ හයිය පෙන්විය යුතුයි. ඒත් දැන් එහෙම වෙන්නේ නෑ. ඒ ඒ දේශපාලන පක්ෂවල නායකියින්, ආසන සංවිධායකවරුන්, බත් පැකට් එකට, අරක්කු බෝතලයට ඇවිත් කෑ ගහනවා. ඒ ඒ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හැටියට බෙදිලා බෙදාගන්න දෙයක් නෑ. ජයග්‍රහණය කළ හැක්කේ සාමූහික සටන් වලින් පමණයි. සමාජ ප්‍රශ්න , කම්කරු පංති දේශපාලනය මත පදනම් වෙලා විග්‍රහ කර ගැනීමට දැක්මක් තිබිය යුතුයි. උදේට නැගිටලා මාධ්‍යවලට වොයිස්කට් දීමෙන් කම්කරු ප්‍රශ්න විසඳන්න බෑ.

පුද්ගලික අංශයේ සේවකයින් ගැන මොකද කියන්නේ?

ලක්ෂ 60 වන පුද්ගලික අංශයේ සේවකයින්ට තියෙන ප්‍රශ්න ‍බොහෝමයි. ඒවා විසඳන්න කිසිම වැඩපිළිවෙලක් නෑ. අඩුම ගානේ දෙනවයි කීව 2500 වත් හරිහැටි දෙන්නේ නෑ. දැන් ඒකත් දෙකට කඩා දෙන තත්ත්වයක් තියෙන්නේ. පුද්ගලික අංශය දියුණු කරන්නට තරඟකාරිත්වය කළමානාකරණය කරන්න අවශ්‍යයි. දැන් වෙන්නේ පුද්ගලික අංශයේ ණය බොල් ණය හැටියට කපා හැරීමයි. ඒකෙන් හාම්පුතුන් තව තවත් තර වෙනවා. ඒත් කිසම සහනයක් සේවක සේවිකාවන්ට ලැබෙන්නේ නෑ.

චතුර සමරසිංහ

උප සභාපති

ලංකා වතු සේවක සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435