උන්ට වර්ජන ලෙඩ්ඩුන්ට ගර්ජන – තර්ජන

31 අගෝස්තු 2014 – wedabima.lk

 

වැඩ වර්ජනයන් ආගන්තුක නොවන සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ ඉකුත් සතියේදී රෝගී ජනතාව පීඩාවට පත් කරනු ලබන තවත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ඇරැඹිණි. සේවා ඉල්ලීම් හයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඇරැඹි මෙම වර්ජනය සාමාන්‍ය වර්ජනයක සීමාවන් ඉක්‌මවා යමින් හදිසි සේවාවන් ඉවත් කරගැනීම දක්‌වාම දීර්ඝ වූයේ වර්ජනය ඇරැඹී දින දෙකක්‌ පමණ ගතවූ පසුය. රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියාත්මක කරන කිසිදු වර්ජනයක්‌ සාධාරණීකරණය කළ නොහැකිය. එය අවිවාදාත්මකව පිළිගත යුත්තක්‌ වන නමුත් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සිය වර්ජනය දියත් කර කෙටි කලකින්ම එය දැඩි කරන ලද්දේ කුමන හේතුවක්‌ මතදැයි විමසා බැලිය යුතුව ඇත.

 

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් (එම්එල්ටී) භෞතවේදී චිකිත්සකයින් (පිසිසියෝතෙරපිස්‌ට්‌ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයින් යන පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන ලද්දේ සිය ඉල්ලීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දිගු කලක්‌ මුළුල්ලේ විසඳුම් ලබා නොදුන් බව පවසමිනි.

 

මෙය පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් පමණක්‌ නොව පසුගිය වසර කිහිපය තුළදී සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ දියත් වූ බොහෝ වර්ජනයන් මෙහෙයවූ සෞඛ්‍යය වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව නඟන ලද චෝදනාවකි.

 

සැබැවින්ම මෙය අවාසනාවන්ත තත්ත්වයකි. සේවක වර්ජනයක්‌ දියත් වනුයේ බොහෝ විට වර්ජනයට මුල් වන ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරින් සමග සාකච්ඡා කොට ඉල්ලීම්වලට විසඳුම් නොලද විටදීය. ඇතැම් වෘත්තීය සමිති ලබාදෙන විසඳුම්වලට එකඟ නොවන අවස්‌ථාද පවතින නමුදු මෑත කාලය තුළදී සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ දියත් වූ බොහෝ වර්ජනයන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදිය හැකිව තිබියදීත් සෞඛ්‍ය සේවක ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඇති වූ වර්ජනයන් බව පෙනී යයි.

 

ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් වසර හතක්‌ හෝ අටක්‌ පැරැණි ඒවාය. එම ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා පවත්වන අවස්‌ථාවලදී ඒවාට විසඳුම් ලබාදීමට යම් කාලසීමාවක්‌ වෘත්තීය සමිති වෙතින් ලබාගන්නා බලධාරිහු ලබාගත් කාලසීමාව තුළදී පොරොන්දු වූ ප්‍රකාරව විසඳුම් ලබා නොදෙන බවට බොහෝ වෘත්තීය සමිති නායකයන් විසින් නගනු ලබන චෝදනාවක්‌ බවට පත්ව තිබේ.

 

ඇතැම් අවස්‌ථාවලදී ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය වෘත්තික වර්ජනයක්‌ මෙසේ සතියකින් හෝ සති තුනකින් ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බව පවසමින් තාවකාලිකව නවතාලන සෞඛ්‍ය බලධාරින් එම පොරොන්දුව ඉටු නොකළ තැන නැවත ඉහත කී වර්ජනය දියත් කිරීම මේ වන විට පොදු සිදුවීමක්‌ බවට පත්ව තිබේ.

 

මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරනු ලබන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ වරක්‌ පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට සවුත්තු අමාත්‍යාංශයක්‌ බවට පත් වී ඇති බවයි. ඒ තරමටම වෘත්තීය සමිති ගැටලු විසඳීමේදී අමාත්‍යාංශ නිලධාරීන් අකාර්යක්‌ෂම බව උන්වහන්සේ විසින් සඳහන් කර තිබිණි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම අකාර්යක්‌ෂමතාවයට හේතු වී ඇත්තේ එහි උසස්‌ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක්‌ නොතිබීම බව පෙනී යන කරුණකි. හෙද, පරිපූරක, වෛද්‍ය, කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල, පවුල් සෞඛ්‍ය ඇතුළු ඕනෑම සෞඛ්‍ය වෘත්තියකට අයත් වෘත්තීය සමිතියක්‌ සමග සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා එසේත් නැත්නම් අතිරේක ලේකම්වරයකු සාකච්ඡා පැවැත්වූ විටදී බොහෝ විට එක්‌ නිලධාරිවරයකු වෘත්තීය සමිතියකට ලබාදෙන පොරොන්දු අනෙක්‌ නිලධාරිවරයා නොදන්නා තත්ත්වයක්‌ පවතී. මෙම තත්ත්වයම සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෘත්තීය සමිති වර්ජනයන් කරා යාමට හේතු වූ අවස්‌ථා පවතී.

 

ඇතැම් අවස්‌ථාවලදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලු සොයා බැලීම සඳහා පත් කරනු ලබන කමිටු වාර්තා හුදෙක්‌ ක්‍රියාත්මක නොකර හමස්‌ පෙට්‌ටියට දමා තබන නිලධාරින්ද පසුගිය කාලය පුරාවට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටි බව ප්‍රසිද්ධ රහසකි. සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෘත්තීය සමිති, වර්ජනයන් කරා යොමු වීමට ප්‍රධාන වශයෙන් හේතු වනුයේද ඉහත කී සේවක ඉල්ලීම්වලට අදාළ විසඳුම් ක්‍රියාත්මක නොකර එම විසඳුම් සහිත වාර්තාවන් හමස්‌ පෙට්‌ටියෙහි දමා ගෙන සිටින නිලධාරීන්මය.

 

අවසානයේදී සෞඛ්‍ය ක්‌ෂේත්‍රයෙහි ගැටලු විසඳීමට රජයට මැදිහත් වීමට සිදු වූ අවස්‌ථාවන් පසුගිය කාලයේ එමට දක්‌නට ලැබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෘත්තික ගැටලුවලට විසඳුම් නොලැබෙන විට එම වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබා දීමට ජනාධිපතිවරයාට පුද්ගලිකව මැදිහත් වීමට සිදු වන තත්ත්වයක්‌ මේ වන විට සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ නිර්මාණය වී අවසානය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් එකිනෙකා හා කුලල් කා ගනිමින් නොසිට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කළේ නම් මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වන්නේ නැත. අනෙක්‌ අතට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලු විසඳීමේ අවසන් අයිතිය මහා භාණ්‌ඩාගාරය සතු වන අවස්‌ථාවලදී හෝ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මහා භාණ්‌ඩාගාර නිලධාරීන් හා සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කර දීමට අවංකව උත්සාහ ගන්නේද යන්න ගැටලුවක්‌ බව සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කර සිටිති.

 

මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අසහනකාරී තත්ත්වය වර්ධනය වී අවසානයේ රෝගීන් දැඩි පීඩාවකට පත් වන වර්ජනයන් කරා එම වෘත්තිකයන් විසින් යොමු වීමයි. සති දෙකකට පෙර වෘත්තීන් 30 කට අධික සංඛ්‍යාවක්‌ විසින් ක්‍රියාත්මක කළ සෞඛ්‍ය සේවක වර්ජනය විසඳීම සඳහා අවසානයේ මැදිහත් වූයේ ජනාධිපතිවරයාය.

 

එහෙත් එම වෘත්තීය සමිති නායකයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගි වී සිටි බව වාර්තා විය. එසේ නම් අදාළ ගැටලු සම්බන්ධව සාර්ථක විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සෘජුව මැදිහත්විය නොහැක්‌කේ මන්ද යන ගැටලුව මෙහිදී පැන නගී. අද අමාත්‍යාංශය ගමන් කරනුයේ ඉබාගාතේ යන ගමනක්‌ බව පෙනී යන කරුණකි. සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වර්ජන තර්ජන ඉදිරිපත් කරන විට ඒ පිළිබඳව තැකීමක්‌ නොකොට වර්ජනයක්‌ දියත් වූ පසුව එම වෘත්තීය සමිති අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කිරීම බලධාරීන් වැඩි දෙනකුගේ ප්‍රතිපත්තිය වී ඇත.

 

ඉකුත් සතියේ ක්‍රියාත්මක කළ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනයට අදාළ වූ ප්‍රධානතම ඉල්ලීමද වසර 8 ක්‌ පැරැණිය. එවැනි පැරැණි ඉල්ලීමකට විසඳුම් ලබා දීමට හැකියාවක්‌ නොමැති බලධාරීන් අලුතින් ඉදිරිපත් වන සේවක ඉල්ලීම් කෙසේ විසඳනු ඇත්දැයි සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයක්‌ මේ වන විට උද්ගතව තිබේ.

 

සෞඛ්‍ය වෘත්තීය සමිති විශාල සංඛ්‍යාවක්‌ හා ගැටෙමින් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ වර්තමානයේ පවතින ප්‍රධානතම අභියෝගය වනුයේ මෙකී සෞඛ්‍ය වෘත්තීය සමිතිවල පැරැණි ඉල්ලීම්වලට නිසි විසඳුම් සෙවීමේ ක්‍රමවේදයක්‌ සොයා ගැනීමය. අමාත්‍යාංශ නිලධාරීන් දැන්වත් එකිනෙකා අතර පවතින අමනාපයන් නැති කර ගනිමින් මනා සම්බන්ධීකරණයකින් කටයුතු කරන්නේ නම් එම අභියෝගය ජය ගැනීම අසීරු නොවනු ඇත. අවශ්‍ය වනුයේ ඒ සඳහා උනන්දු වීම පමණකි.

 

එවැනි තත්ත්වයක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඇති වන්නේ නම් දැනට පවතින වෘත්තීය සමිති ගැටලු බොහෝ දුරට නිරාකරණය කරගනු හැකි වනවා පමණක්‌ නොව සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ද අවම කර ගැනීමට හැකි වනු ඇත.

 

මූලාශ්‍රය – දිවයින

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435