උන්නු තැන අහිමි වී පාරට වැටුණු නාවල ‘වැලි පාර්ක්’ රියැදුරෝ

එදා ඔවුන්ගේ රජදහන නොදන්නා අයකු ලංකාවේ උන්නේ නැත. නගර මධ්‍යයේ ඉදිවූ ඒ රජ දහනේ ඔවුහු අවිහිංසකව තම ජීවිතය ගෙවූහ. හිටි හැටියේම රජදහන බිඳ වැටුණි. ජල උද්‍යානය ඉදිවූ අතර ඔවුනට උන්හිටි තැන් අහිමි වී ගියේය.

එදා ඒ තැනට කීවේ “වැලි පාර්ක්” කියා ය. මෙය තිබුණේ නුගේගොඩ නාවල පාරේ මැද ය. අද එතැන ඇත්තේ “වෝටර් පාර්ක්” එක ය. නගරය අත්‍යලංකාර වුවද ඔවුන්ගේ ජීවිත අඳුරු විය. එදා මහියංගනයේ, මනම්පිටියේ හෝ අම්පාරේ සිට වැලි පුරවාගත් ලොරි රථ තුන් හාර සියයක් මෙතැනට පැමිණියේය. වැලි ගඩොල් රාජධානිය ඉදිවූයේ එසේය. උදෑසන තුන හතරේ සිට ගැනුම්කරුවෝ මේ වෙළෙඳපොළට ආහ. හිස් අතින් ආ ඔවුන් නැවත නිවෙස බලා ගියේ එක්කෝ ගඩොල් පුරවා ගත් ලොරියකය. නැතහොත් වැලි ලොරියකය.

නුගේගොඩ නගරාලංකරණ සැලසුමට අනුව “වැලි උයන” එතැනින් ඉවත් කෙරිණ. ඔවුනට ඊට සරිලන ලෙස නව බිමක් ද දුන්නේ ය. නුගේගොඩින් ඔවුන් පාරට මාරු කෙරුණේ බලධාරීන්ගේ අනුදැනුම ඇතිවය.

මේ වෙළෙන්දන්ගේ ජීවිත අඳුරින් අඳුරට වැටුණේ ඉන් පසුවය. ඒ කතාව දන්නේ ඔවුන්ය. “නුගේගොඩ පාගොඩ පාර වැලි පාර්ක් එක කිව්වම ඒ කාලෙ කවුරුත් දන්නවා. නුගේගොඩ නගරෙ අලුත් කරන අතරෙ අපිට එතනින් යන්න වුණා. ලංකාව ලස්සන වෙනවට අපි හැමෝම ආසයි. අපේ අමුද්‍රව්‍ය යොදාගෙන කරන්නෙත් ලස්සන ඉදිකිරීම්. මේ හින්දම අපි කිසිම උද්ඝෝෂණයක් නැතුව එතනින් ඉවත් වුණා. එතනට පස්සෙ කොළඹගේ මාවතේ තැනක් අපට ලැබුණා. ඒ ඉඩම ගොඩකරල හදාගන්න කියලත් අපට බලධාරීන් උපදෙස් දුන්නා. ඉතිං අපි ඉඩම ගොඩකරලා අපිටම කියල තැනක් හදාගත්තා. ඊට පස්සෙ වෙච්ච දේ කියල වැඩක් නෑ.

සුරාජ් කතාව අතරමඟ නතර කළේ කොටුකරන ලද ඉඩම් කැබැල්ල දෙස බලමිනි. “මේක තමයි ඉඩම”

සුරාජ් නැවතූ තැනින් කතාව අරඹන්නේ රෝයි විසිනි. “අපි පස් ගෙනල්ලා දාලා, වැලි දාලා හෙලක් වගේ තිබුණු ඉඩම ගොඩකළා. ලස්සනට පාර දාලා ඉඩමෙ හට් එකකුත් ගැහුවා. අපි හිතුවා වැඩේ හරි කියලා. ලොරි ඔක්කොම ඇවිත් එතනට ගාල් වුණා. දවසින් දවස ලොරි වැඩිවෙලා බිස්නස් එක දියුණු වෙන්න පටන් ගත්තා. ඒ සතුට අපේ ජීවිතවලට උරුමවෙලා තිබුණෙ ටික කාලයයි. එක දවසක් උදේ අපි එතනට එද්දි ආරක්ෂක අංශයේ මහත්තුරු වැලි පාර්ක් එකට ඇවිත් තිබුණා. එතනින් ඉවත් වෙන්න කියල ඒ අය දැනුම් දුන්නා. අපි ගොඩකරගත්ත ඉඩම “පණ්ඩිත් අමරදේව සූරීන්ගේ පදනමට අයිති ඉඩමක් කියල තමයි කිව්වෙ. මේ පාර්ක් එක හදන්න අපට ලක්ෂ ගාණක් ගියා. ඒ සේරම දියවෙලා අපි ආයෙමත් මහ පාරට වැටුණා. අපි හදපු ඉඩමෙ අපට යන්න බැරිවෙන්න කම්බි බැඳුණා. අපි හෙවණට ඉන්න අටවපු හට් එක අපි ඉස්සරහම කැඩුවා. අපට වුණේ කබලෙන් ළිපට වැටෙන්න.

නේද දිසා… රෝයි කතාව දිගට කියන්නට බාර දුන්නේ දිසානායකටය. දිසාගේ මුහුණ හැඟුම්බරය. කෙටි නිහැඬියාවකි. උගුරු පෑදීමත් සමඟ ඇරඹෙන්නේ ශෝකජනක කතාවේ තවත් පරිච්ඡේදයකි.

“මෙතන පාර්ක් එකෙන් අපිව එළියට දැම්මට පස්සෙ කරකියා ගන්න දෙයක් නැතිවුණා. හරිම වචනෙ අපි අනාථයො වුණා. ලොරි ටික පාර්ක් කළහම ඉස්සර පොලිසියේ මහත්තුරු ඒව එතනින් ඉවත් කරන්න කිව්වා. පුදුම කරදර ගොඩකට අපි මූණ දුන්නා. තවමත් මූණ දෙනවා. එදා අමරදේව පදනමට අයිතියි කියල කිව්වෙ පර්චස් පහයි නැතිනම් දහයයි. නමුත් අපිව එළියට දාල ඒ අය මුළු ඉඩමම කම්බි වටකළා. අපි ලක්ෂ ගාණක් වියදම් කරල ඉඩම ගොඩකරනකම්ම හිටිය ඉඩමේ අයිතිය එළියට එන්න. මෙහෙම මහ පාරෙ හිඟන ජීවිතයක් තමයි අපි ගතකරන්නෙ.

ගඩොල් හා වැලි සැපයුම්කරුවන්ගේ සමිතිය තමයි මේතාක් කිසිම ඉල්ලීමක් කරල කිසිම රජයකට කරදර කරල උද්ඝෝෂණය නොකළ එකම සමිතිය. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නෙ අපේ ‍රස්සාව කරන්න තැනක් දෙන්න කියල. ඒක හරි සාමකාමී සාධාරණ අහිංසක ඉල්ලීමක්.

අද අපි ඉන්නෙ ගස් යට. මහ පාරෙ දූවිලි කාල දැන් ඇතිවෙලා. ඒත් ඉතිං අපි දන්න රස්සාව මේක. තිබහට වතුර එකක් ගන්න තැනක් නෑ. දාඩිය ටික නිවාගන්න ඉඳගන්න තැනක් නෑ, අපේ රස්සාව අනතුරේ.

දිසා කතාන්දරය නවතන්නේ ප්‍රේමලාල්ට අවස්ථාව ලබා දෙමිනි.

“මේ කාරණෙ දිහා බලධාරීන් මීට වඩා අවධානය යොමුකළ යුතුයි. මේ තැන රස්සා 600 ක් විතර තියෙනවා. ඒ වගේම වක්‍රවත් රස්සා ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපේ සංගමය ලංකාවෙ එකතුවෙලා වැඩ කරන හැම වෙලාවෙම සමාජ සද්කාර නො අඩුවම කරපු සංගමයක්. ආරක්ෂක අරමුදලට මුලින්ම සංගමයක් විදියට මුදල් පරිත්‍යාග ක‍ළේ අපි. සුනාමියට ගෙවල් හදන්න වැලි කියුබ් පනහක් දුන්නා. ඒ වගේම රටේ ස්වභාවික විපත්වලදී අපි අවතැන් වූ ජනතාවට ගොඩක් අතදීල තියෙනවා. එහෙම වෙච්ච අපි අද අවතැන් වෙලා පාරටම වැටිල. අපිට අත දෙන්න ඉන්නේ එක්කෙනයි දෙන්නයි.

දැන් අපි ඉන්න තැන අපිට හොඳටම හොඳයි. ඉඩ පහසුකම්, අනෙකුත් දේවල් නැති වුණත් මෙතන අපිට ස්ථිර වශයෙන් ලබා දෙන්න කියල තමයි ඉල්ලන්න තියෙන්නෙ. මොකද මේක ටිකක් වෙනස් රස්සාවක්. කස්ටමර්ස්ලා එන්නෙ පුරුදු තැන හොයාගෙන. දවසින් දවස තැන මාරු වුණාම කස්ටමර්ස්ල කැඩෙනවා. මේ බිස්නස් එකේ තියෙන‍්නෙ සුළු ලාභයයි. ඉතින් දවසකට එකම බිස්නස් එකක්වත් නැති වුණොත් වැඩක් නෑ. අපේ දරුවොත් කන්න බොන්න ඕනෙ. ඉස්කෝලෙ යන්න ඕනෙ. අපිත් අර කීකරු හරක් වගේ කියන කියන තැන ලගිනවා. ඒ ජීවිතේ දැන් එපාවෙලා තියෙන්නෙ.

ජීවිතය සැබෑවටම එපා වී ගිය බවක් ඒ කතාවල ඇතුළත්ය. බලධාරීන්ගේ ඇසට හසු නොවූ ඔවුන්ගේ ජීවිත රැලිවලට හසුවූ වැලි ‍මෙන් එහා මෙහා යමින් උඩු යටිකුරු වෙමින් ගෙවී යන්නේය. ඒ ජීවිතය ගැන සමන්ටද කීමට බොහෝ දේ තිබෙන්නට පුළුවන.

“නාවල ඉන්න කාලෙ අපේ සංගමේ තුන්සිය දෙනෙකුට වැඩිය හිටියා. දැන් ඉන්නෙ එකසිය විසි අටයි. ගොඩක් අය රස්සාව අතෑරියා. අපට හරි තැනක් නැති නිසා වැලි ගඩොල් බිස්නස් එකට හොරු පහත් වුණා. බාල වැලි, ප්‍රමිතියෙන් තොර ගඩොල් ගෙනල්ල හැමෝම පාර අයින්වල තියාගෙන විකුණන්න පටන් ගත්තෙ අපේ තැන නැතිවීමේ ප්‍රතිඵලයක් ‍විදියට.

එක එක දිහාවෙන් ආපු කූට වෙළෙන්දො අපේ නම පාවිච්චි කරල ජනතාව නොමඟ යවල බාල බඩු දෙනවා. අදටත් ඒ වැඩේ වෙනවා. හරියට ලියාපදිංචි සංගමයක සාමාජිකයන්ට බිස්නස් එක කරන්න නියමිත තැනක් නැතිවීමේ ප්‍රතිඵලයක් තමයි මේක. 100% බැහැල තිබුණු බිස්නස් එක දැන් ඩිංගක් හරි. අපි ඉල්ලන්නෙ මේ තැන අපට දෙන්න. අපි කාටවත් හිරිහැර කරන උදවිය නෙවෙයි.

හැම දෙනාගේම අවිහිංසක ඉල්ලීම එකක්. ඒ තමන්ට නිදහසේ ව්‍යාපාරය කරගෙන යාමට තැනක් ය. මේ සියල්ලන්ම කෝට්ටේ හිටපු නගරාධිපති චන්ද්‍රා ද සිල්වා මහතා. ‍ෙජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා හා මේ මොහොතේ ඔවුනට දිරි දෙන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මතක් කළේ ගෞරවයෙනි.

මේ ජීවිත සැබෑවටම දුක්බරය. අපට සැපවත් ජීවිත ගතකරන්නට හිසට සෙවණක් තනන්නට උදව්වක් වන ඔවුන්ගේ ජීවිත කඳුළකි. ඔවුනට දැන් කියන්නට ඇත්තේ අලුත් සීපදයකි.

“අනේ මහතුනේ මේ වුණ වියෝයා 

දුන්නු ඉඩම හොරු අරගෙන ගියෝයා”

චතුර ගීතනාත් බණ්ඩාර – දිනමිණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435