උපාධිධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශය මෙන්න!

රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ක්‍රියාත්මක වීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් හෝ ජනපතිවරයා ලෙස තමන් බලාපොරොත්තු නොවන බවත් සමස්ත මහජනතාවගේ ම නිදහසට ගරු කරන බවත්, එය වර්ධනය කර අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කැපවෙන බවත් ජනපතිවරයා සඳහන් කරන්නේ ය. එය යුගයේ අවශ්‍යතාවයකි. මහජන පීඩා ඇති කරන යල්පැන ගිය නීති රීති සංශෝධනය විය යුතුය. යල් පැන ගිය නීති හේතුවෙන් ජනතාවත් විවිධ දූෂණ සහ විෂමාචාරවලට පෙළඹීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී තිබේ.

ගෙවුණු වසර ගණනාව පුරාම රැකියා විරහිත උපාධිධාරින් උද්ඝෝෂණ කරමින් අරගල කළේ මෙරට විශ්වවිද්‍යාලවලින් උපාධිය හිමිකරගත් සියලු දෙනාට කඩිනමින් රැකියා ලබාදීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන්නැයි පාලක පක්ෂයට බලපෑම් කිරීමට ය. එය යථාර්ථයක් බවට පත් කරමින් වත්මන් රජය, රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන දියත් කොට තිබේ.

රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණ වී තිබීම කාලෝචිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වැඩසටහන සැලසුම් කොට ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ. රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට ජනපතිවරයා ගෙන ඇති පියවර ද යහපත් ය. වසර ගණනාවක් පුරා අධ්‍යයන කටයුතු කර කඩඉම් පසුකළ උපාධිධරයා පසුගිය කාලය පුරා ම සිටියේ ප්‍රධාන නගරවල උද්ඝෝෂණයේ යෙදෙමින් මහ පාරේය. එක් පැත්තකින් මහජනතාව උපාධිධරයන් පිළිකුල් කරන තැනට පත් වූයේ මාර්ග අවහිර කරමින් අරගල කිරීම නිසා ය. ඊට විසඳුමක් ලෙස උද්ඝෝෂණය කරන්නන් හට කොළඹ ගෝල්ෆේස් පිටිය ආසන්නයේ වෙනම තැනක් වෙන් කරන්නත් වත්මන් පාලනය පියවර ගෙන තිබේ. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න එකිනෙකට වත්මන් රජය විසඳුම් සොයන බවකි.

බැටන් පොලු කඳුළු ගෑස්

දීර්ඝ කාලයක් පොලිස් බැටන් සහ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වූ මෙරට බුද්ධිමත් ප්‍රජාව අද ආයාසයකින් තොරව තම ඉල්ලීම් දිනා ගන්නා වගද මෙකී වැඩසටහනෙන් පෙන්නුම් කරන්නේ ය. රටක අනාගතය සැලැසුම් කරන බුද්ධිමතුන් මහා මාර්ග අවහිරකරමින් පසුගිය කාලයේ රජය අපහසුතාවයට පත් කරමින්, වැඩකරන ජනතාව ද අපහසුතාවයට පත් කළේ ය. එය දියුණු වෙමින් පවතින රටකට සුබ ලකුණක් නොවන්නේ ය. එනිසා ඊට නිශ්චිත පිළිතුරක් ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවරයාගේ පාලනයෙන් ලැබෙන බව පැහැදිලි ය.

රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ පෙන්වා දී තිබුණේ 46,000ක පමණ උපාධිධාරීන් පිරිසක් රැකියා නොමැතිව සිටින බව විශ්වාස කරන බවය. එපමණක් නොව උන්වහන්සේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වූ පාලකයෙක් 2008 වසරේ සිට නොසිටි බව ය. වත්මන් ජනපතිවරයා උපාධිධාරීන් රැකියාගත කිරීමේ පළමු අදියර සඳහා වන වයස් සීමාව අවුරුදු 35 සිට 45 දක්වා වැඩි කර තිබේ. මෙතෙක් උපාධිධාරී රැකියා සඳහා අයැදුම් කළ හැකි වයස් සීමාව ලෙස සඳහන් වූයේ අවුරුදු 35ය. නමුත්, වයසින් වැඩි උපාධිධාරින් සහ මහජන සංවිධාන ජනපතිවරයාගෙන් කළ ඉල්ලීම් සලකා වයස් සීමාව වැඩිකරන්නට පියවරගෙන තිබේ.

පසුගිය රාජ්‍ය පාලන සමයන්හි උපාධිධාරීන් තොග පිටින් රාජ්‍ය ආයතනවලට බඳවා ගත් නමුත් එම බඳවාගැනීම්වල විද්‍යාත්මක පදනමක් නොතිබුණි. කුමන විෂය පථය හැදෑරූ උපාධිධාරියා වුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගාල් කොට තැබූවේ ය. එය දියුණු වෙන රටකට කොතෙක් දුරට ගැලපෙන්නේ ද යන්න සිතා බලන්නට කවර පාලකයකු හෝ කාලය වෙන් නොකළේ ය.

වත්මන් ජනපතිවරයාගේ මූලික කාර්යය වී තිබෙනුයේ රටේ සමාජ ආර්ථික ප්‍රගමණයක් ඇති කිරීම ය. ස්වයං ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ මෙරට මානව සම්පත නිවැරැදි ස්ථානගත කිරීමකට අනුව සිදුකළ යුතු බවට විද්වතුන් පෙන්වාදුන් අවස්ථා අපමණ ය. එවැනි අදහස්, මත තඹයකට හෝ මායිම් නොකළ යුගය අවසන් කර වත්මන් ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් නිවැරැදිව සහ විද්‍යාත්මකව ස්ථානගත කිරීමේ කාලය එළඹෙමින් තිබේ.

සේවා කොන්දේසි

තෝරා ගන්නා පිරිස අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවලට අනුයුක්ත කෙරෙන බව නිවේදනය කොට තිබේ.

වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000ක දිමනාවක් සහිතව බඳවා ගනු ලබන උපාධිධාරීන් දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක කාලයක් සේවයේ නිරත විය යුතුය. එය කොතෙක් දුරට යුක්ති යුක්ත ද යන්න පසුගිය පාලන සමයන් හි පත්වීම් ලද උපාධිධාරීන් දේශපාලන හිතවතුන් හරහා ස්ථාන මාරුවීම්, සේවා අනුයුක්තයන් ලබා ගත්තේ ය. පාසල් පද්ධතියක් තුළ එවැන්නක් වීම කොතෙක් දුරට අයුක්ති සහගත ද යන්න විමසා බැලිය යුත්තේ, ඇතැම් ප්‍රාථමික පාසල්වල ගුරු හිඟය නිසා නොයෙක් අර්බුද නිර්මාණය වී තිබූ නිසාවෙනි. බඳවා ගැනීමේ කොන්දේසි හෝ උල්ලංඝණය කළ නොහැකි අයුරින් ස්ථානගත කිරීම මේ රටේ යහපත් රාජ්‍ය සේවයක් පවත්වා ගැනීමට පිටිවහලක් වන්නේ ය. එහි ප්‍රතිලාභ ලැබෙන්නේ මහජනතාවට ය.

ජනතා අයිතිය

මහජන සේවා සපයන ආයතන ශක්තිමත් කිරීමේ පළමු වෑයම සාර්ථකත්වය කරා ගමන් ගනිද්දී 72 වැනි ජාතික නිදහස් දින උළෙල චාම්ව අභිමානවත් අයුරින් පැවැතිවිණි. ජනපති ගෝඨාභය රාජපක්ෂ යනු 30 වස් යුද්ධය නිමා කිරීමට දායක වූ රණවිරුවන් අතරින් කෙනෙකි. “ஶශ්‍රී ලංකාව තුළ ජීවත් වන සෑම පුරවැසියකුට ම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන් ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිට ම තහවුරු කරනවා. සෑම පුරවැසියකුට ම තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිට ම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන් ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියකුට ම අයිතිය තිබෙනවා. මේ සියල්ල ම කිසිවකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.” යැයි ජනපතිවරයා පැවසුවේ සියලු ජාතීන්ගේ බාරකරුවා ලෙස ජනතා පරමාධිපත්‍යයට හිස නවා ආචාරය කරමිනි.

ස්වෛරී රාජ්‍යයක බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනපතිවරයාගේ මතය වනුයේ සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගත යුතු බව ය. පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන් ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව මතක තබා ගත යුතුය යන්නත් ජාතික නිදහස දින ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් මතු විය. දියුණු මානසිකත්වයකින් යුත් ජන සමාජයක් ගොඩනඟා එකිනෙකාට ගරුකරන යුක්තිගරුක යහපත් සමාජයක් ගොඩනැඟීමට රාජ්‍ය නායකයා පෙරමුණ ගත යුතු බව සත්‍යයකි. එතැන් සිට සියලු ධූරාවලි නියෝජනය කරන සියල්ලෝම රාජ්‍ය නායකයාගේ වෑයම වෙනුවෙන් කැපවිය යුතු ය. රජය හා ජනතාව අතර මනා සම්බන්ධීකරණයක අවශ්‍යතාවය මතුවන්නේ මෙරට කළ යුතු විප්ලවවලදී ජනතාව ප්‍රකෝප ගැන්වීමේ සහ රජය අපහසුතාවයට ලක් කිරීමේ කූඨ උපායන් ක්‍රියාත්මක විය හැකි බැවිනි.

රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ක්‍රියාත්මක වීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් හෝ ජනපතිවරයා ලෙස තමන් බලාපොරොත්තු නොවන බවත් සමස්ත මහජනතාවගේ ම නිදහසට ගරු කරන බවත්, එය වර්ධනය කර අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කැපවෙන බවත් ජනපතිවරයා සඳහන් කරන්නේ ය. එය යුගයේ අවශ්‍යතාවයකි. මහජන පීඩා ඇති කරන යල්පැන ගිය නීති රීති සංශෝධනය විය යුතුය. යල් පැන ගිය නීති හේතුවෙන් ජනතාවත් විවිධ දූෂණ සහ විෂමාචාරවලට පෙළඹීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වී තිබේ. යම් එක් සමාජ විරෝධී පුද්ගලයකුගේ වරදකට සමස්ත සමාජයම දඬුවම් විඳින අවස්ථා බොහෝ ය. එවැනි සුළු පිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමත් බහුතරය මත අනවශ්‍ය සීමා පැනවීමත් නොකළ යුතුය යන්න ජනපතිගේ මතය ය. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් ජනතාවට ලබා දිය යුතුය යන විශිෂ්ට මතයේ රාජ්‍ය නායකයා පසුවීම නිසා මෙරට ජනතාව සැබෑ ම ජයග්‍රාහී ජනතාවක් බවට පත් වන්නේ ය.

අතීතයෙන් පාඩම්

ජාති, ආගම්, කුල බේදයෙන් තොරව ජනතාවගේ නායකයා ලෙස පෙනී සිටින්නට තමන් ඉතා කැමැත්තෙන් පසුවන බව ජනපතිවරයා සඳහන් කරන්නේ ය.

“මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනුණ වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලු දෙනාගේ ම නායකයා ලෙස, රටේ සුබසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලු ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට.”

උතුර – දකුණ, උඩරට – පහතරට ලෙස බෙදා වෙන්කොට සංවර්ධන ක්‍රියාවලි සිදු වූ කාල පරිච්ඡේදවලදී ජනතාව එකිනෙකා නොරිස්සුම් ස්වභාවයෙන් ජීවත් වූහ. දේශපාලන හිතෛෂීන්ට පමණක් රැකියා ලැබෙන අන්‍ය ආගමිකයන්, ජාතීන් අපහසුතාවයට පත් කරමින් රැකියා ලබා දෙමින් ජනතාව බේද බින්න කළ බැවින් මේ රටේ තරුණ කැරැලි කෝලාහල ඇති විය. එම අතීතයෙන් උගත් පාඩම් වත්මන් පාලනයට බෙහෙවින් වැදගත් වන්නේ, ජනපතිවරයා වත්මන් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත නවමු ආර්ථිකයක් සහිතව බලගන්වන්නට යන නිසා ය. ඊට භෞතික සම්පත් මෙන්ම මානව සම්පත නිසි කළමනාකරණයකට යටත් කිරීම වඩාත් වැදගත් වනු ඇත.

72 වැනි ජාතික නිදහස් දින ජනපති ගෝඨාභය රාජපක්ෂයන් සමස්ත ජාතියේ ම බාරකරුවා පමණක් නොව, නිවහල් දේශයක යුග පුරුෂයකු බව පසක් කළේ ය. ජනපතිවරයා පුරවැසියන් ඉදිරියේ නිර්භයව, අභිමානයෙන් සිට ගනිද්දී ජනතාව ද සීරුවෙන් සිටිනුයේ වත්මන් ශ්‍රී ලංකාවේ හෙට දවස කුමක් වේදැයි දෑස් අයාගෙන ය. දීර්ඝ කාලයක් ජනතා හදවත් තුළ කැකෑරෙමින් තිබූ දූෂිත, පාලන නිමා කරමින් ජනතාවට සැබෑ නිදහස රැගෙන එන්නට කැපවීම ජනපතිවරයාගේ යුග මෙහෙවරට එක් වූ විශිෂ්ට කාර්යයකි. ශ්‍රී ලාංකීය ජනතාව ද ජනපතිවරයාගේ අභියෝගාත්මක ගමනට ආචාර කළ යුතු ය. එය නිවහල් ශ්‍රී ලංකාවේ අනාගතය ජයගැනීමට කරන කැප කිරීමකි.

උපුටා ගැනීම- දිනමිණ

සුලෝචන ගමගේ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435