උපාධිධාරීන් 50,000ක් ගත්තොත් ආර්ථිකයට බිලියන 18ක කම්පනයක්

  • ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ස්ථායිතාව අනතුරේ වැටී තිබෙන්නේ ඇයි?

ආර්ථිකයේ ස්ථායිතාව ළඟාකර ගැනීමට නොහැකිවීමට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයක් ලෙස අර්ථකථනය කිරීමයි. කෙසේ වුවත් අද කෘෂිකාර්මික අංශයේ දායකත්වය 8%කටත් වඩා පහළට බැස තිබෙනවා. අද වනවිට අප ඉහළට ගොස් තිබෙන්නේ සේවා අංශයේ දායකත්වයෙන්. අපි මීට කාලයකට පෙර ආර්ථිකය හැඩගස්වද්දී වැරදි න්‍යායන් භාවිත කළා. එනම් සාපේක්ෂ වාසි න්‍යායයි. ( Comparative Advantage Theory ) එහිදී එක් රටකට නිෂ්පාදනය අතින් සාපේක්ෂ වාසියක් ගෙන දෙන භාණ්ඩ නිෂ්පාදනය කර අනෙකුත් භාණ්ඩ ආනයනය කළ යුතු බව කියනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව එළවළු වවනවා. ජපානය යන්ත්‍ර නිපදවනවා. ශ්‍රී ලංකාව තම එළවළු ජපානයට අපනයනය කර ජපානයෙන් යන්ත්‍ර ආනයනය කරනවා. මෙය පැවති සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදයයි. එහෙත් මෙහිදී අපට තේරුම් ගැනීමට නොහැකි වූ දෙයක් වන්නේ කෘෂිකර්මය යනු ඉතාම අස්ථාවර ආර්ථික ප්‍රභවයක් බවයි. එය ඉතා ක්ෂණිකව වෙනස්විය හැකි, මිල උච්චාවචනය වීම් සිදුවිය හැකියි. දේශගුණික කාලගුණික විපර්යාසයන්ට මුහුණදීමට සිදුවනවා. ඒ වගේම වෙනත් රටකට එය ඉතා ඉක්මනින් අනුකරණය කළ හැකියි.

එහෙත් කාර්මික ක්ෂේත්‍රයට කරන ලද ආයෝජන අනුකරණය පහසුවන්නේ නැහැ. මට හෙට දිනයේ අවශ්‍ය නම් ලංකාවේ ටොයොටා වැනි සමාගමක් ආරම්භ කළ නොහැකියි. එහෙත් ටොයොටා සමාගම ඇති ජපානයට අවශ්‍ය නම් හෙට වුවත් කුඹුරු අස්වද්දා එහි ඵලදාව ලැබිය හැකිය. එනිසා සාපේක්ෂ වාසි න්‍යාය අනුව අප වැරදි තැනකට යොමුවුණා. කෘෂිකාර්මික ආදායම මත අනෙක් රටවලින්, අවශ්‍ය අනෙකුත් දේවල් මෙරටට ආනයනය කළ හැකියි යන තැනට අප පැමිණියා. මේ වැරැද්ද නිසා අද වන විට අපේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපට නිදහස ලැබුණු අවධියේ ජපානයට වඩා අපේ ආදායම එක් ඩොලරයක වෙනසක් තිබූ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් තිබූ රටක් ලෙස අප ඉතිහාසය ගැන කතා කරනවා. එහෙත් අද අප මෙසේ පසුගාමීවීමට ප්‍රධානතම හේතුව කෘෂිකර්මය මත නිතර රැඳීම නිසා එම ආදායම් නිතර උච්චාවචනය වෙද්දී අපට ආර්ථිකය කළමනාකරණය කරගැනීමට නොහැකිවීමයි. එයින් ප්‍රයෝජන ගත් එක් රටක් වන්නේ චීනයයි. චීනයත් සමග අප එක් අවස්ථාවකදී රබර් සහල් ගිවිසුම අත්සන් කරනවා. එහිදී අප චීනයට රබර් අපනයනය කර එරටින් මෙරටට සහල් ගෙන්වනවා. අප රබර් අපනයනය කරද්දී චීනය ශ්‍රී ලංකාවෙන් රබර් ගන්නා අතරතුර මෙරටින් හොඳම රබර් ඇට එරටට ගෙන ගොස් එහි රබර් වගාව ආරම්භ කරනවා. එනිසා අපට අද රබර් සඳහා වෙළෙඳපොළක් නැතිවී තිබෙනවා. කෘත්‍රිම රබර් නිෂ්පදානය වනවා. ඒ හරහා අපේ රබර් වෙළෙඳපොළ කඩා වැටෙනවා. එනිසා දැන්වත් අප කෘෂිකාර්මික ආර්ථිකය යන සංකල්පයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යායුතුයි. එසේ කළ හැකි නම් අපට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකියි. අද සංවර්ධිත යැයි කියන බොහෝ රාජ්‍යයන් එක්කෝ නිෂ්පාදන ආර්ථිකයක් නැතිනම් ශක්තිමත් සේවා ආර්ථිකයක් වෙනවා. සිංගප්පූරුව හොඳ සේවා ආර්ථිකයක්.

ජපානය, තායිලන්තය, චීනය ගතහොත් ඒවා හොඳ නිෂ්පාදන ආර්ථිකයන්. ඉන්දියාවේ ටාටා සමාගම ආරම්භ කරන කාලයේ ලංකාවේ උපාලි විජේවර්ධන උපාලි ෆියට් නම් ලංකාවේ පළමුවන කාර් එක හැදුවා. ඉන්පසු ඔහුට හැකියාව තිබුණා ‘යුනික්’ නම් රේඩියෝව හදන්න. අපි ඒ කාලයේම එවැනි දේ ආරම්භ කළා. එහෙත් අපි දේශපාලනිකව ඔවුන්ව ඝාතනය කළා. සහ දේශපාලනිකව ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කළා. උපාලි විජේවර්ධන තමන්ගේ චොක්ලට් කර්මාන්තශාලාව අරඹා වෙන රටවලටත් එය ව්‍යාප්ත කළා. කාර්මික අංශයට අප මුලින්ම පය තැබුවත් එයට රටින් දිය යුතු සහයෝගය ලබා නොදී ඒවා විනාශ කර දැම්මා. අද අප කතා කරන රෝද දෙකේ ට්‍රැක්ටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙක්. එහෙත් ඔහුට සිය නිර්මාණ අයිතියවත් මේ රටේ ලියාපදිංචි කරගන්න නොහැකි වුණා. කොන්ක්‍රීට් ගැන කතා කරද්දී කුලසිංහ මහතාගේ නම මතකයට නැගෙනවා. ඔහුට ඒ සම්බන්ධව ගැටලු ගණනාවක් තිබුණා. නාසා ආයතනයේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරු 17 දෙනෙක් සිටිනවා. ඒත් අපට අභ්‍යවකාශ යානයක් යැවීමට අවශ්‍ය නම් චීනයට ගොස් මුදල් බැඳීමට සිදුවෙනවා. අපට දේශපාලනික වශයෙන් මෙම නිර්මාණකරුවන්, නිෂ්පාදකයන් රැකගන්න වැඩපිළිවෙළක් නැහැ. රජය නිතරම ඔවුන්ව විනාශ කළා. මන්ද ආනයන අපනයන හරහා දේශපාලනඥයන් කොමිස් හෝ වෙනත් ආදායම් උපයනවා. ඉතිහාසයේ ඒ වුණු වැරැද්ද දැන් නිවැරදි කළ යුතුයි. ඇපල්, දොඩම් ගේන්න අපි බිලියන ගණන් වියදම් කරනවා. ඒත් අපේ රටේ දොඩම් ටික අප විනාශ කරගන්නවා. මේ දේවල් නැති වුණා කියා මිනිස්සු මියයන්නේ නැහැ. එනිසා අනවශ්‍ය ආනයනයන් දැඩි ලෙස සීමා කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. ඉන්පසු ආනයන ආදේශ කර්මාන්තවලට යොමුවීම, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මෙහිදී දේශපාලන හා ආර්ථිකය පටලවා නොගත යුතුයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ මිනිසුන්ට කන්න නැති වුණත් මෙරටේ හොඳම ආර්ථික සංවර්ධන පදනම ඇති කළේ එතුමිය බව මගේ පෞද්ගලික අදහසයි. ඒ කාලයේ වානේ, පොහොර, සීනි, කඩදාසි ආදී බොහෝ කර්මාන්ත ආරම්භ කළා. අද ඒ සියල්ල එක්කෝ වසා දමා තිබෙනවා. නැතිනම් පෞද්ගලික අංශයට ලබාදී තිබෙනවා. මිනිසුන්ට කන්න නැහැයි කියූ විට විපක්ෂය සිතුවා මිනිසුන්ට කන්න දුන්නම ඡන්ද ලැබෙයි කියා. මේ නිසා 1977දී ආර්ථිකය විවෘත කළා. අන්තිමේදී අපේ සියලු ව්‍යවසායකයන් නැතිවී ගියා. එනිසා දේශපාලන වාසි පසකින් තබා රට ගැන සිතිය හැකි මනසක් හැදිය හැකි නම් 2020දී නැවත අපට මේ වැරදුණු තැන් නිවැරදි කරගත හැකියි.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ණය උගුලේ ස්වභාවය මොකක්ද?

සෑම වසරකම අපේ ආනයන අපනයන පරතරය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. එසේ වූ විට ඒ වැඩිවන අමතර ප්‍රමාණය අප වෙනත් රටකින් ණයක් ලෙස ලබාගන්නවා. එම ණය ප්‍රමාණය එක්වී අද වන විට විශාල ණය බරක් එකතු වී තිබෙනවා. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටක ආර්ථික සංවර්ධනයට ණය ලබාදෙනවා. එහෙත් ඔවුන් ඒ සඳහා විවිධ කොන්දේසි පනවනවා. මන්ද අපි ණය ලබාගෙන එය වැරදි ආකාරයට භාවිත කරනවාට ඔවුන් කැමති නැහැ. එහෙත් කළුකඩ මුදලාලි කෙනෙක් ඊට වඩා වෙනස්. ඔහු කෙනකුට ණය ලබාදෙන්නේ අදාළ පුද්ගලයා දියුණුවීම වෙනුවට ඔහු විනාශ වෙලා ඔහුගේ දේපොළ තමන්ට හිමිවේවා කියන අපේක්ෂාවෙන්. ඉහත කියූ කොන්දේසිවලට බියවී නිවැරදි මූලාශ්‍රවලින් ණය ගැනීමට නොහැකි වූ විට වෙළෙඳපොළ ණය මූලාශ්‍රවලට අප යොමුවනවා. එසේ කළු කඩවලින් ණය ගැනීම හේතුවෙන් අපි අද අපේ දේපොළ වෙනත් රටවලට පවරනවා. ඒ නිසා පසුගියදාක ණය ගෙවා ගැනීමට නොහැකිව අපි හම්බන්තොට වරාය චීනයට විකුණුවා. වර්තමාන ආණ්ඩුව පැමිණිය හැටියේම ෂැංග්‍රිලා හෝටලය ආසන්නයේ අක්කර 03ක් සහ ලේක්හවුස් ආයතනය ඉදිරියෙන් තවත් අක්කර 6ක් සිංගප්පූරුවට ලබාදීමට උත්සාහ කරනවා. ණය ලබාගෙන ඒවා ගෙවා ගැනීමට නොහැකි වූ විට ගෙදරක තිබෙන කනකර, දේපොළ උකස් කරනවා වගේ අද අපි රටේ දේපොළ විකුණා ණය සේවාකරණය කිරීමෙන් අපි ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්වී තිබෙනවා.

අනෙක් අතින් ණය කළමනාකරණය කිරීම පිළිබඳවත් අප කල්පනා කළ යුතුයි. අප ණයක් ගතහොත් එය නැවත ගෙවාගත හැකි මූලාශ්‍රවල ආයෝජනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%-90%ක ප්‍රමාණයක් ණය දෝලනය වනවා යැයි අපි කතා කරනවා. එය ඉතා බරපතළ ගැටලුවක් කියා කෙනෙකුට හිතෙන්නට පුළුවන්.

එහෙත් ජපානයේ සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 225% පමණ ණයයි. ඔවුන්ට එය ගැටලුවක් වන්නේ නැහැ. මන්ද ඔවුන්ට සිය ණය සේවාකරණයට වැයවන්නේ ඔවුන්ගේ ආදායමෙන් 18%ක පමණ ප්‍රමාණයක්. එහෙත් ශ්‍රී ලංකාවේ අපි ණය සේවාකරණයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 80%-90% වඩා ප්‍රමාණයක් වැය කරනවා. රුපියල් 100 ගෙන ඉන් රුපියල් 90ක් ණය ගෙවුවහොත් ඉතිරිවන්නේ රු. 10යි. ඊළඟ අවුරුද්දට වියදම් කරගත නොහැකි වුණාම අපි නැවතත් ණය ලබාගන්නවා. අපේ වැරැද්ද වුණේ අප ලබාගත් ණය බොහොමයක් එක්කෝ ත්‍රිවිධ හමුදාවට වාහන ගැනීමට, නැතිනම් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි ඉදිකිරීමට වැනි ඍජු ප්‍රතිලාභ නොලැබෙන දේවලට යෙදවීමයි. එහෙත් මේ ආදායම උපයෝගී කොටගෙන අධිවේගී මාර්ගයක් ගොඩනගා එයින් ආදායමක් උපයනවා නම්, වෙනත් ව්‍යාපෘතියක් කර ඉන් ආදායම් උපයනවා නම් එවැනි දේවලට ණය ආයෝජනය කිරීමේ ගැටලුවක් නැහැ. එහෙත් අප බොහෝ විට ණය ලබාගෙන ඇත්තේ ආයොජනය සඳහා නොව පරිභෝජනය සඳහායි. දේශපාලන වුවමනා සඳහා ලබා ගත් මේ පරිභෝජන ණය අද ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට අප නැවතත් ණය ලබා ගන්නවා. මෙසේ සිදුවී අද අප බෙල්ල මුලටම ණයවලින් හිරවී සිටිනවා. ඒ නිසා මේ වසරේ පමණක් අපට ඩොලර් බිලියන 4.9ක් ණය ලෙස ගෙවීමට තිබෙනවා. අපේ ආදායම සමග සසඳා බලන විට එය දරාගත නොහැකි කම්පනයක්. අනිවාර්යයෙන්ම මේ රජය අලුතින් තවත් ණය ගනීවි. අද වනවිට රජයේ ආයතනත් දේශපාලනය කරනවා. රාජ්‍ය සේවකයන් 50,000ක් බඳවා ගැනීමට දැන් සූදානම් වනවා. රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන් සිටිනවා පමණක් නොවේ එය අතිශය අකාර්යක්ෂම බව දැන දැනම තවදුරටත් අප රාජ්‍ය සේවය පුරවන්නේ තනිකරම දේශපාලන අරමුණකින්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපනය නොමිලේ ලබාදී රැකියාවත් ලබාදිය යුතුද නැද්ද යන්න විවාදාත්මකයි.

අප කළයුත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා රැකියාවක් සොයාගත හැකි අධ්‍යාපනයකට හුරු කිරීම මිසක විශ්වවිද්‍යාලය තුළ ඕනෑම දෙයක් සිදුකර සාමාන්‍ය සාමාර්ථයක් ලබාගත් විට රජයේ රැකියාවක් ලබාදීම නොවේ. දැනට කියන ආකාරයට 50,000 දෙනා රජයේ රැකියාවට ගෙන, එක් උපාධිධාරියෙකුට රු. 30,000 වැටුප් ගෙව්වොත් රුපියල් බිලියන 18ක කම්පනයක් ආර්ථිකයට ඇතිවනවා. ඒ අය කෙදිනක හෝ විශ්‍රාම යනතුරු එය ආර්ථිකයට බලපානවා. මෑතකදී දිගට හරහට බදු අඩු කළා. මිලියන 300ට වඩා ණය ලබාගත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැරීම ගැන අප මේ දිනවල කතා වනවා. මේ හැම දෙයකින්ම නැවත වරක් සිදුවන්නේ රජයේ ආදායම අඩුවීම හා වියදම වැඩිවීමයි. එසේ වූ විට අප ණය උගුලේ තවදුරටත් පැටලෙනවා මිසක ඉන් පිටතට ඒමට වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව තුළ මා දකින්නේ නැහැ.

මෙම උගුලින් පිටතට පැමිණීමට නම් අපට වැරදුණු තැන ආමන්ත්‍රණය කළ යුතුයි. අපි වහාම නිෂ්පාදන ආර්ථිකයකට යොමුවිය යුතුයි. අද ලංකාවේ වෙළෙඳපොළ නැතිවීමට එක් හේතුවක් වන්නේ විදේශ වෙළෙඳපොළවලින් අඩු මිලට මෙරටට ඕනෑම දෙයක් ගෙන ආ හැකිවීමයි. ජාතික කොඩියත් චීනයෙන් ගෙන ආවා කියා අප කිසිදු ලැජ්ජාවකින් තොරව පවසනවා. මේ දේවල් අප තහනම් කළොත් අඩුම ගණනේ ජාතික කොඩියට තිබෙන ඉල්ලුම ලංකාව තුළින් සැපිරිය හැකියි. එවිට ලංකාවට ජාතික කොඩි හදන නිෂ්පාදකයකු බිහිවේවි. එවැනි අනවශ්‍ය ආනයනයන් වහාම තහනම් කළ යුතුමයි. ඒ වගේම ඒ සඳහා ආනයන ආදේශන කර්මාන්ත ගොඩනැගිය යුතුයි. 1996 වනතුරු ඉන්දියාවේ සංවෘත ආර්ථිකයක් පැවතුණා. ඒ නිසා ඔවුන් තමන්ට පාවිච්චි කළ හැකි එම්බැසඩර් කාර් එක, ටාටා, මහේන්ද්‍රා වාහන නිපදවූවා. අප එසේ නොකළ නිසා ලංකාවේ මයික්‍රො වාහන සෑදුවත් ඔවුන්ට හිස ඔසවා ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ ජනාධිපතිවරයාට එම්බැසඩර් කාර් එකේ ගමන් කළ හැකි නම් අපේ ජනපතිගේ වාහන පේළියේ වාහන ගණන අඩු කිරීම පමණක් නොවේ, ඔහු අඩු වියදම් සහිත වාහනයක් පාවිච්චි කර ආදර්ශමත් වී පෙන්විය යුතුයි. මේ ආණ්ඩුවේ සාධනීය පැති රාශියක් තිබෙනවා. අප එය අගය කළ යුතුයි. ජනාධිපතිතුමාගේ හැසිරීම් රටාව ඉතාම සාධනීයයි. ඒ වගේම ඔහුගේ කාර්ය මණ්ඩලයේ සමහර ලේකම්වරු මේ වනවිට තම වැටුප 50%කින් කපා හැර තිබෙනවා. ඔවුන්ගේ වාහන හා නිල නිවාස ඉවත් කර තිබෙනවා. ඒවා ඉතාම යහපත් දේවල්. එය තවදුරටත් පහළට ගෙනවිත් ඇමතිවරුත් එම සීමාවන්ට ගෙන ආ හැකි නම්, ඇමතිවරුන්ගේ ලේකම්වරුන්ට වාහන භාවිතය සීමා කර සිය වරප්‍රසාද අවම කළ හැකි නම් එය ඉතා යහපත් ප්‍රවණතාවක් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය තිබුණු ගොඩනැගිල්ල පිළිබඳව අවුරුදු ගණනාවක් විවාද තිබුණා. මෙම ආණ්ඩුව බලයට පත්වූ වහාම ඔවුන් එයින් ඉවත් වුණා. එසේ ඉවත් වුණත් එයට 2022 වන තුරු කුලී ගෙවා තිබෙනවා. ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට නොපැමිණියත් අප ජනාධිපති මන්දිරය නඩත්තු කරනවා. නැතිනම් එම මන්දිරය රාජ්‍ය ආයතනයකට ලබාදී එයින් ප්‍රයෝජනයක් ගත යුතුයි. එසේ නැතිව ඒවා වසා දමා විදුලි බිල් ගෙවා දැමීම අපරාධයක්. ජනාධිපතිතුමා එක් තැනක කියා තිබුණා විදේශ ආයෝජන පිළිබඳ විශාල පාලනයක් කළ යුතුයි කියා. ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගිය විට මොනතරම් අල්ලස් හා දූෂණවලට පරිපාලකයන් නතුවී ඇත්දැයි අප දන්නවා. එවැනි දේ සීමා කර, ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර, ව්‍යාපාරිකයන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇතිකර, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය හැකි නම් ආර්ථික අර්බුදය හා ණය ගැටලු විසඳිය හැකියි. ඍජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් අපට ණය ලබාගැනීමට ඇති අවශ්‍යතාව අඩුවනවා.

වින්ද්‍යා ගමගේ – රාවය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435