උසස් පෙළ සමත් වුණත් රැකියා නෑ

2019 වසරේ පළමු භාගය තුළ දී වයස් මට්ටම් අනුව සේවා වියුක්තියෙහි විෂමතාවය සැලකිය යුතු මට්ටමක තවදුරටත් පැවැත්වී තිබේ.

වයස් මට්ටම් අනුව සලකා බැලීමේ දී, අවුරුදු 30 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ සේවා වියුක්තිය පුද්ගලයන් 22,571කින් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ සේවා වියුක්ති පුද්ගලයන් 8,370 න් ඉහළ ගොස් ඇති බව කිව හැකිය.

පෙර වසරේ පළමු භාගය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු භාගයේ දී තරුණ සේවා වියුක්තිය පුද්ගලයන් 2,081 කින් පමණක් ඉහළ යමින් අවම ඉහළ යෑම වාර්තා කරන ලදී.

කෙසේ වුවද, පෙර වසරේ පළමු භාගය තුළ තරුණ සේවා වියුක්ති අනුපාතිකය පහළ ගිය ද එය සියයට 20.8ක කැපී පෙනෙන ඉහළ මට්ටමක පැවතුණි.

අධ්‍යාපන මට්ටම අනුව සලකා ලැබීමේ දී අපොස උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද කාණ්ඩයෙහි ඉහළම සේවා වියුක්ති අනුපාතිකයක් වාර්තා විය.

කෙසේ වුවද මෙම කාණ්ඩය තුළ සේවා වියුක්ති අනුපාතිකය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ සියයට 9.2 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 8.7 දක්වා පහළ ගොස් තිබේ.

ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සහ පවතින කුසලතා අතර නොගැළපීම්, රැකියා සඳහා අවශ්‍ය අත්දැකීම් අඩු බව, අපේක්ෂිත සහ සැබෑ වේතන මට්ටම්වල ඇති වෙනස්කම් සහ ඇතැම් වෘත්තීන්වල පවත්නා ස්ත්‍රී පුරුෂ විෂමතාවය, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය ඉහළ අගයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

අ.පො.ස (ස/පෙ) ට  අඩු සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය 2018 වසරේ පළමු භාගය තුළ පැවති සියයට 3.2 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 3.0 දක්වා සුළු වශයෙන් පහළ ගිය අතර, අ.පො.ස (සා/පෙ) සමත් පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ සියයට 5 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේය.

සලකා බලන කාලපරිච්ඡේදය තුළ සේවා වියුක්ති ජනගහනය පිළිබඳව සලකා බැලීමේ දී අ.පො.ස (සා/පෙ)  සමත් පුද්ගලයන් 23,303 කින් ද, අපොස සාමාන්‍ය පෙළ මට්ටමටවඩා අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් 7,702 කින් ද, අපොස උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම්ලාභී පුද්ගලයන් 2,018 කින් ද සේවා වියුක්ත ජනගහණය ඉහළ යන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනයෙහි මේ බව සඳහන් වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435