එකම පිරිසක් වෘත්තීය සමිතියක බලඅධිකාරිය දරද්දී සිදුවිය හැකි අකටයුතුකම් වැඩියි

අජිත් මුණසිංහ උපසභාපති(අභ්‍යන්තරික)-ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

 

  • වෘත්තීය සමිති ක්ෂේත්‍රයට ඔබේ ආගමනය සිදුවෙන්නේ කොහොමද?

විදුලිබල මණ්ඩලයේ අපි නියෝජනය කරන තාක්ෂණික ඉංජිනේරු ශ්‍රේණියේ වෘත්තීය සමිති ගණනාවක් තිබුණා. මෙම ශ්‍රේණියට බඳවා ගනු ලබන අධ්‍යාපන සුදුසුකම් හා ස්වරූපය අනුව වෘත්තීය සමිති බෙදී තිබුණා. ඉංජිනේරු ඩිප්ලෝමාව හදාරපු, කාස්ල්රී පුහුණු පාසලෙන් අධ්‍යාපනය හදාරපු, ආයතනය තුළින්ම උසස්වීම් ලබපු වගේම දේශපාලන පදනමින් බෙදුණු එන අයත් මෙතන හිටියා. ඒ අය එකී විවිධත්වය අනුවම කණ්ඩායම් ගැහිලා හිටියා. මේ තත්ත්වයත් එක්ක වැඩකිරීම අපහසු බව මං මණ්ඩලයේ සේවයට ආව මුල් කාලයේදීම තේරුම් අරන් තිබුණා. ඒ හින්දම ඒ ගැන බොහෝ අය සමග සාකච්ඡා කළා. ඒකෙ අවසාන ප්‍රතිඵලය හැටියට 2012 අවුරුද්දේ  ‘තාක්ෂණික ජිනේරු හා අධිකාරි සංගමය‘ පිහිටෙව්වා.  මං ඒකේ ආරම්භක සභාපති.

  • වෘත්තීය සමිතිවල බොහෝවිට දැකගත හැක්කේ යාවජීව නායකත්වයන්. ඔබ නියෝජනය කරන සංගමයේ ඒක එහෙම නෙවෙයි නේද?

ඔව්. නායකත්වය වෙනස්විය යුතුයි. හැමෝටම අවස්ථාව ලැබිය යුතුයි. මං අද සංගමයේ සිටින උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් කෙනෙක්.එකම පිරිසක් වෘත්තීය සමිතියක බලඅධිකාරිය දරද්දී සිදුවිය හැකි අකටයුතුකම් වැඩියි. විනිවිද භාවයකින් තොරයි. අපේම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිතුළ පවා මේ තත්ත්වය දකින්න පුළුවන්.

  • එකී වෘත්තීය සමිති මොනවාද?

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික සේවක සංගමය,ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිදහස් සේවක සංගමය වගේම ජ.වි.පෙ නියෝජනය කරන විදුලි සේවක සංගමය තුළත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.පක්ෂයේ ඉහළ අධිකාරියෙන් අහන්නෙ නැතුව සේවකයින් ගැන හිතලා තීන්දුවක් ගන්න බෑ. මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවයක් නෑ. අපි ආණ්ඩුවේ දූෂණ, වංචා අක්‍රමිකතා ගැන කතා කරනවා.ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කඩවීම ගැන අරගල කරනවා. ඒත් අපේම වෘත්තීය සමිති තුළත් ඒවා එහෙමම තියෙනවානම් ඒ ගැන ලජ්ජා විය යුතුයි. මං අපේ වෘත්තීය සංගමය තුළ මේ තත්ත්වය මුළුමනින්ම ඇතිකිරීම සඳහා උත්සාහ කරමින් ඉන්නවා. වාර්ෂිකව මහ සමුළුවට පමණක් ඉදිරිපත් කරන අය වැයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීමේ ඉඩ ප්‍රස්ථා අඩුයි.  ඒ වෙනුවට මාසික කමිටු රැස්වීමෙන් රැස්වීමට අදායම් වියදම් පෙන්වීමට හා ප්‍රමාණය ඉක්මවා වියදම් වනවානම් ඒ තත්ත්වය සීමා කරන්නට කටයුතු කරනවා. එතකොට තමයි විශ්වසනීයත්වයෙන් යුතුව මේ ගමන යන්න පුළුවන්.

  • මෙතනදී සාමාජිකයින්ගේ පාර්ශවයෙනුත් සහයෝගයක් ලැබිය යුතුයි නේද?

අනිවාර්යයෙන්ම. අද බොහෝ විට සිදුවෙන්නේ සාමාජිකයින් තම සාමාජික ගාස්තුව ගෙවීමෙන් පමණක් සෑහීමට පත්වී නිලධාරී මණ්ඩලය සෑම දේම බලාගනීවි යයි වගකීමෙන් නිදහස් වෙනවා.නායකයිනුත් තමන්ට ඕනම දෙයක් කිරීම සඳහා සාමාජිකයින් විසින් බලය පවරා ඇති බවට ඒත්තු ගෙන කැමති කැමති විදිහට වැඩකරනවා. මේකෙන් සිද්ධවෙන්නේ නායකත්වයයි සාමාජිකත්වයයි පොදුවේ වෘත්තීය සංගමයයි හැමෝම පිරිහීමට ලක්වීමයි.

  • ඔබත් මැදිහත් වුණු මෑත කාලයේ අමතක නොවන අරගලයක් තියෙනවද?

ඔව්.2012 අප්‍රේල් මාසයේදී විදුලිබල මණ්ඩලයේ විධායක ශ්‍රේණි වලට පමණක් වැටුප් වැඩිවීමක් සිදුකළා. නීතිමය විධිවිධාන හා සම්ප්‍රදායන්ට පිටින් තමයි මෙම වැටුප් වැඩිකිරීම සිදුකළේ. අපි මෙහිදී විදුලි සේවක සංගමයත් එක්ක එකතුවී වර්ජනයක් දියත් කළා. දින හතර හමාරකට පස්සේ කම්කරු කොමසාරිස් ගේ මැදිහත්වීමෙන් එකී වර්ජනය අත්හිටෙව්වා. ඉන් පසුව වර්ෂයකට වැඩි කාලයක් මේ පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්චා පැවෙත් වෙමින් තිබුනා. ප්‍රතිපලයක් නැති තත්වයක් තුල අපි නැවත්තත් උද්ගෝෂණ ක්‍රියා මාර්ග වලට එළඹෙන්න තීරණය කළා. එය අධිකරණ නියෝගයකින් වාරණය කළා. ඒත් 2014 මහ සමුළුවට කලින් එහි ප්‍රමාණාත්මකව සාධනීය ප්‍රතිඵල දිනාගන්නට අපට හැකිවුණා. මෙහිදී අධිකරණ නියෝගය විධිමත් ලෙස අපට නොලැබුණු නිසා අපි දිගටම උද්ගෝෂණය කළා. එතනදී පාලක පක්ෂය අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ ජූනි මාසය වන විට වැටුප් වැඩිවීමක් සිදුකිරීමට නියමිතව තිබියදීත් අසාධාරණ ලෙස වර්ජනයක නිරතව සිටිනා බවයි.ඒ නිසාම අධිකරණමය කරුණු කාරණාත් එක්ක එම අවශ්‍යතා බැඳී පැවතුණු නිසා වැටුප් වැඩිවීම නොදී සිටින්නට බලධාරීන්ට හැකියාවක් ලැබුණේ නෑ.

  • වෘත්තීය අරගල වලට එරෙහිව අධිකරණ වාරණ නියෝග ගැනීම මෑත කාලයේ ප්‍රවණතාවක් වෙලා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ඒක දැන් වෘත්තීය සමිති ක්ෂේත්‍රයට පමණක් නොව සරසවි සිසුන්ටත් අදාළයි.මෙතනදී වෘත්තිකයන් යම් පමණකට අධිකරණය කෙරෙහිත් යම් සංයමයක් ඇති කර ගනිමින් තම ගැටළු විසඳා ගැනීමට උත්සාහ කළත් ශිෂ්‍යින් එහෙම නෑ. ඒ අය අධිකරණ තීන්දු තුට්ටුවකට හෝ මායිම් නොකොට තම අරගල ගෙනියනවා. ඒ නිසාම මේක හුදෙක් වෘත්තීය සමිති අරගලයක් හෝ ශිෂ්‍ය අරගලයක් බවට ලඝු නොවී සමස්තයක් ලෙස අධිකරණය තවදුරටත් සමාජයේ හෑල්ලුවට ලක්වෙනවා.ඒක ඉතාමත් නරක ආදර්ශයක්.

  • මේ තත්ත්වයට වගකිව යුත්තේ කවුද?

ආණ්ඩුව හෝ අධිකරණය පමණක් නොව සමාජයක් ලෙස අප සියලුදෙනා මේ තත්ත්වයට වගකිව යුතුයි.මෑත කාලයේ දුම්රිය වර්ජනය සලකා බැලුවත් ඒක එහෙම්මම තමයි.වෘත්තිකයින් ලෙස ඔවුන්ට නිදහසේ සේවය කිරීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි.වර්ජනය කිරීම හෝ විරෝධය දැක්වීම මූලික මිනිස් අයිතිවාසිකමක්.ඒ අයිතිය අධිකරණය විසින් උදුරා ගන්නේනම් අධිකරණය විසින් වෘත්තිකයන්ගේ,කම්කරුවන්ගේ කඩවෙමින් පවත්නා අයිතිවාසිකම්වලටත් සාධාරණයක් ඉටු කළ යුතුයි.

  • වෘත්තීය සමිති දේශපාලන පක්ෂ සමග අනන්‍යවී පැවතීම පොදුවේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයට කරන බලපෑම කොබඳුද?

වෘත්තීය සමිති කරන්නේම යම් දේශපාලනික මැදිහත්වීමක්. ඒවා දේශපාලනයෙන් ස්වාධීන විය යුතු යයි මං විශ්වාස කරන්නේ නෑ.මොකද වැඩකරන ජනතාව වෙනුවෙන්, පොදුවේ කම්කරු ජනතාව වෙනුවෙන් ඒවා වැඩකරන නිසා ඒවායේ දේශපාලනය පොදු සුබ සිද්ධිය සඳහාම විය යුතුයි.

  • ඒත් ඔබ ඉහතදී වෘත්තීය සමිති යම් දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වීම පිළිබඳ කතා කළා. මෙතනදි ඒක අදාළ නැද්ද?

අදාළයි.දේශපාලනය කිරීමයි ලියාපදිංචි දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වීමයි කියන්නේ කාරණා දෙකක්.පොදුවේ වැඩකරන ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට ගියවිට ‘මේක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක ගැලපෙන්නේ නෑ“ එහෙත් නැත්නම් ‘පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණය දැනුම්දෙන තුරු කරන්න බෑ“වගේ කතා කියමින් අධානග්‍රාහී විදිහට දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩකරන එක හරියන්නේ නෑ.වෘත්තීය සමිතිවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුයි.එහෙම නැතුව වෙන වෙන අයගේ තීන්දු තීරණ අපේ තීන්දු තීරණ හැටියට උලුප්පා දක්වමින් වැඩකරන්න බෑ.

  • මේ වෙලාවෙ විදුලිබල ක්ෂේත්‍රයේ තියෙන දැවෙන ප්‍රශ්නය මොකක්ද?

ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒත් පොදු හා දැවැන්තම ප්‍රශ්නය වන්නේ ඉදිරියේදී අර්බුදයක්වීමට නියමිත විදේශීය අතපෙවීම්. විශේෂඥ දැනුම,විදේශ තාක්ෂණය හා ආයෝජන ආදී සුන්දර නම්වලින් හැඩගන්වා තිබුණද ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් විදේශීය සමාගම් අතට පත්වෙමින් යනවා.මේ සම්බන්ධයෙන් අපි විතරක් නෙවේ හිටපු විදුලිබල අමාත්‍ය චම්පික රණවක මහතාත් පිළිඅරන් තියෙනවා. එතුමා ඒ ගැන කියන්න‘බලය සහ බලය‘කියලා පොතකුත් පසුගිය දවස්වල ප්‍රකාශයට පත් කළා.බොහෝ දෙනෙකු මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සවිඥානක නැතත් දැවැන්ත අනතුරක් අත ළඟ තියෙනවා.

  • වෙනත් ගැටළු මොනවාද?

සේවක වැටුප් වැඩිවීම්,වැටුප් විෂමතා,පාරිතෝෂික ගැටළු,මෑන් පවර් සේවක අර්බුදය ආදී අනෙක් සෑම ක්ෂේත්‍රයකම දකින්නට ලැබෙන ගැටළු ටිකත් ඒ විදිහටම තියෙනවා.

  • මෑන් පවර් සේවකයින්ගේ  ගැටළුව පිළිබඳ ඔබගේ ස්ථාවරය මොකක්ද?

ඒක නූතන වහල් සේවය වගේ එකක්. සමාගමේ ස්ථීර සේවකයින් තුන් දෙනෙකුයි,මෑන් පවර් සේවකයින් දෙන්නෙකුයි එකම රාජකාරියකට යෙදෙව්වොත් ස්ථීර සේවකයින් නිකම් ඉන්නවා.මෑන් පවර් සේවකයින් අර දෙන්නගෙ වැඩත් එක්ක මැරීගෙන වැඩ කරනවා.ස්ථීර සේවකයින්ට නිකම් ඉඳලා ඉහළ වැටුප් හා වරප්‍රසාද සියල්ල හම්බවෙනවා. මෑන් පවර් සේවකයින්ට සොච්චම් වැටුපක් විතරයි හම්බවෙන්නේ.එක පැත්තකින් කම්කරු අයිතිවාසිකම් පිළිබඳ සාධනීය මට්ටම් පිළිබඳ ප්‍රතිපත්ති හැදීගෙන එද්දී අනෙක් පැත්තෙන් හාම්පුතුන් ඒවායින් ලිස්සායාම සඳහා යොදාගත්තු මාර්ගයක් මේක. ලංකාවේ විතරක් නොවේ ලෝකයේම දකින්නට තියෙන ප්‍රවණතාවක්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. අපි නිදසිටියා ඇති නේද අපි තවත් රැවෙටුමුද අතීතය සොරාගෙන හමාරය අනාගතයද සොරගනිමින් සිටයි හෙටදවස වෙනුවෙන් අපි කුමක් කලුතුද

    (1)(0)



    0



    0
  2. sc liyanage says:

    swadena යැය් keyaganna නිලවරණ පවත්වන union walalth නායකයෝ වේදකරන්නේ ekadipathi wediyata thamay .එක එලියට පෙන්නේ ne .නිලවරණ දිනන්නේ maha වංචාවල් කරලා .සමහර desapalangayan වගේ .

    (0)(0)



    0



    0
  3. Seneviratne says:

    අපේ එවුන්ට කොහෙද ලැජ්ජා තියෙනනේ?

    (4)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435