එට්කා හදන්නේ දැනුම ඇති අය නොවෙයි – වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරි

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වරලත් ඉංජිනේරු අර්ජුන මනම්පේරී ඒකාබද්ධ වෘත්තීවේදීන්ගේ සංගමය වෙනුවෙන්

*යෝජිත-ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හා වෙ‍ළඳ සහයෝගිතා ගිවිසුම හෙවත් එට්කා රටට අහිතකරද?

එට්කා නමින් තාම ගිවිසුමක් නෑ. සැකිලි රාමුවක් පමණක් තියෙන්නේ. එහෙව් ගිවිසුමක් නැති අවස්ථාවක ඒ පිළිබඳ යෝජනා වෙමින් තියෙද්දී අපට ඕනම දෙයක් වෙනස් කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව තියෙනවා. අනෙක් අතට මේකෙ රටට අහිතකර දේවල් තියෙනවද කියන කාරණයත් අපි තාම දන්නේ නෑ. එට්කා ගිවිසුම ඇතිවෙන්නට නියමිත වන්නේ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමක් හැටියටයි. මේ වගේ ගිවිසුම් වෙනත් රටවල් සමගත් ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන්. මේක ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඇතිකරගන්නා එක්තරා ක්‍රමවේදයක්. ඉස්සරලා තිබුණේ සීපා ගිවිසුමක්.

* තාම හරිහැටි සකස් නොවුණු ගිවිසුමක් ගැන වෘත්තීවේදීන්ගේ විරෝධතා මැදිහත්වීම් සිදුවෙන්නේ කොහොමද?

මේ වැඩපිළිවෙළ ගැන වෘත්තිකයින් හැටියට අපි කියන්නේ ඒ සම්බන්ධයෙන් යන ක්‍රියාපටිපාටිය මීට වඩා ක්‍රමානුකූලව දත්ත ඇතිව ගෙනයා යුතු බවයි. උදාහරණයක් විදිහට සැකිලි රාමුවක් තුළ කරගෙන යන්නේ ඇයි. සම්පූර්ණයෙන් විස්තර සහිතව කරුණු සහිතව මේක ගෙනියන්න බැරි ඇයි? දෙවෙනි කාරණය නම් ඉන්දියාව සමග කරන්න යන්න වැඩපිළිවෙළකදී ලාභ අලාභ මොනවාද යන්න පිළිබඳ පැහැදිලි තක්සේරුවක් තිබිය යුතුයි. මන්ද යත් මෙවන් ඕනම ගිවිසුමකින් වාසිදායක දේවල් විතරක් කාටවත් ලැබෙන්නේ නෑ. කෙටිකාලීනව හා දිගුකාලීනව විමසා බලා මේ පිළිබඳ තීරණයක් ගත යුතුයි. තුන්වෙනුව මෙහි තිබෙන විශේෂත්වය නම් පළමු වතාවට ලංකාවේ වෘත්තීය අංශය ලිහිල් කිරීමට යාමයි. ඒකත් එක්ක ගනුදෙනු කිරීමට යාමයි. එහි ආරම්භය තොරතුරු තාක්ෂණය හා නාවික ඉදිරිකිරීම් තමයි.

මේවගේ දෙයක් කරද්දී මේ රටේ අදාළ වෘත්තිකයන් හිඟයි කියන එක තමයි ඒ අය කියන්නේ. ඒත් ඒකට අදාළව ‍ඒ ගැන තාමත් අධ්‍යයනයක් කරලා නෑ. එහෙව් අධ්‍යයනයක් රටට අවශ්‍ය බව අපගේ හැඟීමයි. සමහර විට එහෙම අධ්‍යනයක් කර බැලුවහොත් මේ අංශවලට නොව වෙනත් අංශවලට අපට වෘත්තීයවේදීන්ගේ සහය අවශ්‍ය වෙන බව තහවුරු වෙන්න පුළුවන්. අනෙක් අතට තුන්වෙනුව වෘත්තිකයින් ලෝකයේ කොයි යම් හෝ රටකින් තවත් රටක සේවයට එනවාම් එහි ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. ලෝකේ කොහේවත් අපට ඕන විදිහට ගිහින් රස්සා කරන්න බෑ. ලංකාවෙ අයත් පිටරට ගිහින් රස්සා කරනවා. ජාත්‍යන්තර මට්ටමින් ‍ලෝකයේ ඕනෑම රටක වෘත්තිකයින්ට භූගෝලීය සීමා නොතකා ගිහින් සේවය කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඒත් ඒකට ප්‍රමිතියක් තියෙනවා. දුප්පත් පොහොසත් ඕනම රටකට ගිහින් වෘත්තිකයින් ලෙස වැඩකිරීමට බෑ. ඒ ඒ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රමිතියට තම වෘත්තීය කුසලතාව පෙන්නුවාම රස්සාව කරන්නට පුළුවන්. ලංකාවේ මේ තත්ත්වය දැනට තියෙන්නේ වෛද්‍ය වෘත්තිය සඳහා පමණයි. ඉතිං අනෙකුත් වෘත්තීන් සඳහාත් අපි මේ ප්‍රමිතිය හදන්න ඕන. එහෙම කළ යුත්තේ ජාත්‍යන්තරය සතුටු කරන්නට නෙවෙයි.අපේම රටේ ජනතාවට හරිහැටි සේවය කරන්නත් ඒක අවශ්‍යයි.

* මෙතනදී රටේ මුදල් විදේශයන්ට ඇදීයාමක් ගැනත් ඇතැමුත් මත පළකරනවා නේද?

ඔව්. විදේශ රටකින් කෙනෙකු අපේ ආයතනවලට ඇවිත් මෙහේ ආයෝජනය කළොත්, සේවය කළොත් ඒ අයට ලාභය ගෙනයාමට ඉඩකඩ තිබිය යුතුයි. මං වෙන රටක ගිහින් ඉපැයුවත් උපයන ආදායම මගේ රටට ගෙනියන්න බැරිනම් මං වෙනත් රටක ගිහින් ආයෝජන කරන්නේ නෑ. ඒක සාධාරණ ක්‍රමයක්. ඒත් එතනදී එහෙව් අයට බලපවත්වන බදු ක්‍රමයක්, වීසා ක්‍රමයක් තියෙනවා. ආවට ගියාට ඒක ට දොර අරින්න රටවල් සූදානම් නෑ. උදාහරණයක් විදිහට දැන් අපි අමෙරිකාවේ ගිහින් සේවය කරන විට ඒක්තරා මට්ටමකට පසු අපිට ගහන බදු වැඩියි, වීසා ගාස්තු හා ඒවායේ කොන්දේසි දැඩියි. නියමිත කාලයක් දක්වා පමණයි අපට සේවය කළ හැක්කේ. එනම් නියමිත සේවා කාලයෙන් පසු අපට ඒ රටේ තවදුරටත් රැඳී ඉන්න බෑ. එහෙව් ක්‍රමවේදයක් මේ අයට තියෙනවා. මේ ක්‍රමය තාමත් ලංකාවේ නිසි ලෙස ස්ථාපිත වී නෑ.දැනට ආයෝජන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන යම් යම් රෙගුලාසි තිබුණත් ඒවා කාලෝචිත හෝ ප්‍රමාණවත් නෑ. ඒ නිසා මෙවැනි ගිවිසුමකට රටක් සමග අත්සන් තැබීමට මත්තෙන් මෙම ක්‍රමවේදය ශක්තිමත් කළ යුතුව තිබෙනවා.

* මෙවන් ගිවිසුමක් සඳහා ඉඩකඩ පාදාගැනීම කෙසේ කළ යුතුද?

මේ සෑම දෙයක්ම කිරීමට යම් කාලවෙලාවක් අවශ්‍යයි. ණය බරින් මිරිකුණු සේවා ආර්ථිකය පදනම් වුණු රටක්. මෙහේ ආනයන ආදායම අඩුයි. කාලපරිච්ඡේදය කෙටිකරගන්න අවශ්‍ය නම් මුලින්ම යෝජනා කරන්නේ නාවික ක්ෂේත්‍රය හා තොරතුරු තාක්ෂණය නම් ඒකට විතරක් වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. යම් වැඩපිළ‍වෙළක් යම් රටක් එක්ක අවුරුදු 15 ක් තිස්සේ කරගෙන යද්දී මේ ක්‍රමවේදය ශක්තිමත් කරගන්න බැරි නම් මාස 6න් ගිවිසුම හදන්නෙ කොහමද? අපි කාගෙවත් කාලසටහන්වලට අනුව වැඩ කරන්න ඕන නෑ. මූලිකවම කළ යුතු කාරණය ගැන අවධානය යොමුවිය යුතුයි.

*ඔබ කියන්නේ යෝජිත ගිවිසුම විනිවිදභාවයක් නෑ කියන එකද?

නෑ. මං එහෙම කියන්නේ නෑ. දැනට මාස 6ක පමණ පෙර මේක ගනිද්දී විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. දැන් එහෙම නෑ. ගිය සැප්තැම්බර් මාසයේදී සීපා ක්‍රමය යටතේ අපි මේ ගැන සංවාදය පටන්ගත්තා. අපේ අදහස් උදහස් හා ආව කතා බහ ඇතුළේ දෙසැම්බර් මාසයේදී ඒක පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස්කරගන්නවා. ඊට පස්සේ ඉට්කා වැඩපිළිවෙළ ආවම අපි ආණ්ඩුවත් එක්ක පැහැදිලි සංවාදයක ඉන්නවා. මේ ගිවිසුමට අදාළ සැකිලි රාමුව මුලින්ම හම්බවෙන්නෙත් අපට. පාරදෘෂ්‍යභාවය පිළිබඳ නෙවෙයි අපේ ප්‍රශ්නය. මෙතන සාකච්ඡාවට ගියාම හැමෝම ඉන්නේ එකම තැන. ඒත් රටට අවශ්‍ය දේ කෙරෙන්නේ නෑ. ඒතනයි ගැටළුව තියෙන්නේ.

* එහෙම වෙන්නේ ඇයි?

මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ මේ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් තේරුම් තියෙන අය නෙවෙයි. ඒ අයත් එක්ක වෘත්තීය වශයෙන් දැනුම අවබෝධය හා අත්දැකීම් තියෙන අප සාකච්ඡාවට ගියාම රටට වඩා වැඩදායි ලෙස මේස ස්ථාපිත කරගැනීමේ අභියෝගය තියෙනවා. අපි කියන්නේ අපේ සේවයත් අරගෙන මේ වැඩේ සාර්ථක විදිහට කරන්න කියලයි. මොන වෘත්තිකයා වුණත් තමන්ගෙ වෘත්තීය සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. අද මේ රට තියෙන තත්ත්වයට වෘත්තිකයිනුත් වගකිව යුතුයි. සමහර අවස්ථාවල වෘත්තිකයින් තම වගකීම හරියට කරලා නෑ. මුලින්ම පළවෙනි වතාවට අපි කීවේ මේ ර‍ට මෙහෙම ගෙනියන්න බෑ. මොන දේශපාලනය තිබුණත් මේ විද්වතුන් ගේ සහය නැතුව ඉස්සරහට යන්න බෑ. හැමදාම සිදුවුණේ ක්ෂේත්‍රය ගැන විෂය ගැන ඒතරම් අවබෝධයක් නැති වගකිවයුත්තන් මෙහෙව් වැඩවලට අතගහනවා. ඊට පස්සේ වෘත්තිකයන්ට/විද්වතුන්ට මේ වැ‍‍ඩේකරගෙන යන්න සහය ඉල්ලනවා. ඒ අයට වැඩේ පවරනවා. පාලකයින් රට වෙනුවෙන් තීරණයක් ගත්තාම විද්වතාට ලැබෙන්නේ කොළවලට අත්සන් කරන්න, කියන වැඩේ ක්‍රියාත්මක කරන වැඩබිමේ මෙහෙයුම් කරන වැඩ ටිකක් විතරයි. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් ඒ අයට තීරණ ගැනීමේ හැකියාව තියෙනවා.‍ යූ.පී.එම් හැටියට අපේ සේවය අත්‍යවශ්‍යයි. ඒක මේ වැඩේදි විතරක් නෙවෙයි. රටේ ඉදිරි වැඩකටයුතු අධ්‍යාපන, කර්මාන්ත, සෞඛ්‍ය රටේ සේවා, වලදී වෙන්න පුළුවන්. මේක ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අදාළව පමණක් නෙවෙයි.

* මීට පෙරාතුවත් රට රටවල් සමග මෙහෙව් ගිවිසුම් අත්සන් කෙරුණා.මේක සුවිශේෂී වෙන්නේ ඇයි?

ඇත්ත.ස්විස්ටර්ලන්තය සමග අත්සන් කරන්න යනවා. බංග්ලාදේශය සමග අත්සන් කරලා තියෙනවා. නමුත් මේ එට්කා ගිවිසුම් තාම ඇත්තේ රාමුව තුළ පමණයි. කොයි කොයි දේවල්ද තෝරාගන්නේ කියලා අපටත් තෝරාගැනීම් තියෙනවා. මෙම ගිවිසුමේ තමයි පළවෙනි වතාවට ශ්‍රමික ක්ෂේත්‍රය ගනුදෙනු කිරීම ආරම්භ කරන්නේ. මෙතනින් පස්සේ ආයෙත් ඒවා එන්න පුළුවන්. ඒ නිසයි පළමු වතාවට ශ්‍රම වෙළඳපළ ගැන අවධානය යොමු කරපු පළමු යෝජිත ගිවිසුම නිසා මේකට අපි මැදිහත් වෙන්නේ.

* ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවගේ වෙයිද?

සැප්තැම්බර් මාසේ 14 වෙනිදා පදනම් ආයතනයෙන් ආරම්භ කරන අවස්ථාවේදී යූපීඑම් ගැන කවුරුවත් දන්නේ නෑ. ඒත් අද වන විට එහෙම නෙවෙයි. වෘත්තීයවේදීන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවේ අපිත් හරි හරියට ඉන්නවා. ඒක එහෙම වෙලා තියෙන්නේ අපි මේ දැනුවත් කිරීම සමාජගත වෙලා තියෙන හින්දා. මෙතන වෙනත් දේශපාලනයක් නෑ. මොන දේශපාලන මතය දැරුවත් රට වෙනුවෙන් සේවය කරන්න බාධාවක් නෑ. අපි වෘත්තීයවේදීන් විදිහට එකතුවුණේ විරුද්ධවීමට නෙවෙයි. ක්‍රියාශීලීව මැදිහත් වෙන්නටයි. අපි ආණ්ඩුවත් එක්ක සංවාදයක ඉන්නවා. අනිත් පැත්තෙන් ජනතාව දැනුවත් කරමින් ඉන්නවා.‍ දැන් මේ දෙකෙන් එකක් බේරාගන්නට සිදුවෙනවා. අදාල තියෙන සැකිලි රාමුව ඉන්දියාව හදාරලා ඉවරයි. ඒත් ඒ ගැන අපිව දැනුවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැති වුණොත් ඒක ඒ අය කරන දේශද්‍රෝහී වැඩක් වෙයි. එතකොට දේශද්‍රෝහීන් එක්ක වැඩකරන විදිහයි,දේශප්‍රේමීන් එක්ක වැඩකරන විදිහයි වෙනස් .ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435