එස්කවෙල් ශ්‍රී ලංකා සේවක කප්පාදුව අරඹයි-සාකච්ඡාවෙන් විසඳුමක් ගන්න බලනවා

කොවිඩ් වසංගත තත්ත්වයට මුවාවී එස්කවෙල් ශ්‍රී ලංකා ඇඟළුම් ආයතනය විසින් සේවකයින් රැකියාවලින් නෙරපා හැරීමට එරෙහිව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව නිදහස් වෙළෙඳ කලාප හා පොදුසේවක සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ‘වැඩබිම‘ හා එක්වෙමින් කියා සිටියේ මේ සම්බන්ධව හෙට දිනයේ ගම්පහ කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවට එක්වී තවදුරටත් ස්වකීය මතය තහවුරු කිරිමට ක්‍රියා කරන බවයි.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් යළිත් කොළඹ කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡා කොට එකඟතාවකට එළඹීමට අපේක්ෂා කරන බවත්, ඊයේ පැවති ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධන බලකායේ පැවති රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, එහිදීද තීරණය වූයේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම බවත් මාකස් මහතා සිහිපත් කළේය.

අප හා එක්වෙමින් වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කළේය.

මෙම ආයතනය සතුව කර්මාන්ත ශාලා 5ක් තියෙනවා. කොවිඩ් 19 වසංගතය නිසා ඇතිවූ බලපෑම හේතුවෙන් එම ආයතනයේ සේවක සංඛ්‍යාව අඩු කළ යුතුයි කියන ස්ථාවරයේ තමා තාමත් ඉන්නෙ. ඒ හේතුව නිසා සමාගම විසින් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණා. නමුත් ඒක ප්‍රායෝගිකව බලද්දී ස්වෙච්ඡාවෙන් නෙවෙයි, සේවකයින්ව බලහත්කාරයෙන් ඉවත්කිරීමක් තමා තියෙන්නෙ. සේවකයින්ට දැඩි බලපෑම් කරලා තමා ඉල්ලා අස්වීම් ලිපි අරන් තියෙන්නෙ. නිදසුනක් විදිහට සමාගම විසින්ම මැයි මාසයේ වැටුප දීමට හැකිවෙයිද නොදන්නා බව දක්වමින් කල්තියාම දැන්වීමක් පළ කර තිබෙනවා. එහෙම වුණාම මැයි මාසෙ වැටුප දෙන්නෙ නැතිනම් වැඩකරලා වැඩක් නෑ කියලා හිතලා ඉල්ලා අස්වීමේ ලිපි දෙන්න සේවකයින් පෙළඹෙනවා. ඒ වගේම ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වෙනව නම් මුදල් ගෙවන්න ඕන නෑනෙ. ඒත් මුදලකුත් ගෙවනවා.

ආයතනයක් විදිහට ඒ අය බලාපොරොත්තු වුණේ සේවකයින් 30%න් අඩු කරන්නට වුණත්, නොයෙක් උපක්‍රම හරහා මේ වෙද්දි ඒක 40% දක්වා වැඩි කරගෙන තියෙනවා. සංඛ්‍යානක් විදිහට 370ක් පමණ සේවකයින් එතැන ඉන්නවා. කොහොම වුණත් දැන් මේ අය යක්කල ආයතනය පවත්වාගෙන යාමට සේවකයින් ප්‍රමාණවත් නෑ කියලා ඒකල තියෙන කර්මාන්තශාලාවට ඒ අයව මාරු කරන්න යනවා. එක පැත්තකින් සිටින සේවකයින් කොටස් දෙකකට බෙදලා කොටසක් ගෙවල්වල තියලා ඒ අයට 50%ක වැටුප් ගෙවීමක් කරනවා. ඉතිරි අය වැඩට ගෙන්වාගෙන මූලික වැටුප පමණක් ලබාදෙනවා. මේ තත්ත්වය තිබියදී තමා හදිසියේම සේවකයින් කප්පාදු කරලා යක්කලින් ඒකලට මාරු කරන්න හදන්නෙ.

පවතින ගැටළු ගැන සාකච්ඡා කිරීමට පහුගිය අප්‍රේල් මාසෙ 28 වන දින අපි හාම්පුුතුන්ගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. ඊයේ තමා හාම්පුතුන් ඒකට දිනය දුන්නෙ. අපේ වෘත්තීය සමිතියේ සාමාජිකයින් මේ ඇඟළුම් ආයතන සේවකයින්ගෙන් 80%ට වැඩිය නියෝජනය කරනවා. ඒත් සාකච්ඡාවක් දුන්නෙ නෑ. ඊට පස්සෙ ඊයේ සාක්චඡාවට ගියාම තමා කීවේ ආයතනය වසා දමා ඒකල කර්මාන්ත ශාලාවට කට්ටිය මාරු කරනවා කියලා. අපි ඒකට විරුද්ධ වුණා. අපි එහෙම කියලා පැය බාගයක් යන්න කලින් ආයතන කළමනාකාරිත්වය විසින් සේවකයින් ඔක්කොම කැන්ටිමට කැඳවලා රැස්වීමක් තියලා, මේ අය මාරු කරන්න යන බවත්, 25 වනදා සිට මේ සියලු දෙනා යා යුතු බවත් දන්වලා තිබුණා. ඒකත් එක්ක සේවකයින් අතර නොසන්සුන්තාවක් ඇතිවෙලා සේවකයින් එළියට බැස්සා. ආයතන භූමියේ සිට උද්ඝෝෂණය කළා. ඒ අයගේ එකම ඉල්ලීම ඒ අය රැකියාවට ආවෙ යක්කල කර්මාන්ත ශාලාවට නිසාත්, සේවයට බැඳෙන අවස්ථාවේ ඒ අයව ඒකලවත්, කොග්ගල වත්, කෑගල්ල වත් මාරු කර යවන බවක් කීවෙ නැති නිසාත් තවදුරටත් යක්කල ආයතනය තුළම සේවය ලබාදිය යුතු බවයි. ඒ අනුව සේවකයින් එතැන රැඳී ඉන්නවා. හෙට කම්කරු දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් පැවැත්වෙනවා.සේවකයින් මාරු කිරීමේ ක්‍රියා මාර්ගය අත්හිටුවා සාකච්ඡා කිරීම සුදුසු බව තමා අපි කීවේ. ඒකට එකඟ වුණේ නෑ. හෙට සාකච්ඡා තියෙන්නෙ ගම්පහ කාර්යාලයේ. ඒවා අසාර්ථක වුණොත් කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේ සාකච්ඡාව ගන්න බලාපොරොත්තු වෙනවා කීවා. ඉතිං අපි කීවේ කොළඹ කාර්යාලයේ සාකච්ඡාවට එද්දි සේවකයින් මාරු කරලා තියෙනව නම් සාකච්ඡා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ කියලා . කොහොම වුණත් අපි හෙට සාකච්ඡාවට ගිහින් බලනවා.“

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435