ඕමාන් මහනගර සභාවේ අණින් සියළු ආහාර වෙළෙඳසැල් වෙනස් වෙයි

ඕමානයේ මහනගර සභාව විසින් ගත් තීරණයකට අනුව එරට ආහාර විකුණන සියළුම වෙළඳසැල් තුළ ආරක්ෂිත කැමරා සවිකළයුතු බවට නියෝගකර තිබේ.

එරට තුළ අලුතින් හඳුන්වාදුන් ආහාර සුරක්ෂිතතා නීතියේ කොටසක් ලෙස අදාල නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන අතර වෙළෙඳස් තුල සිදුවෙන අක්‍රමිකතාවයන්, ආහාරවල පිරිසිදුභාවය, ගුණාත්මකභාවය, සෞඛ්‍යාරක්ෂිතව ආහාර අලෙවි කරනවාද යන්න පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹීමේ අරමුණින්ද එම කරුණු කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය කිරීම පහසුකිරීමේ අරමුණින් අදාල නියෝග ක්‍රියාත්මක කිරීමට මස්කට් මහනගර සභාව වෙත බලය පවරා ඇත.

එමෙන්ම යම් වෙළෙඳසැල් හිමියෙකු විසින් අදාල නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ වංචනිකව ආරක්ෂිත කැමරා වසා දැමීම හෝ ක්‍රියාවිරහිත කිරීම, ක්‍රියාකාරි මට්ටමේ නොවෙන කැමරා සවිකරමින් මුලාවේ දැමීමට උත්සාහ කළහොත් ඔවුන්ට විරුද්ධව ඕමාන් රියාල් 100 සිට 3,000ක් දක්වා දඩ මුදලක් ක්‍රියාත්මක කිරීමටත් මහනගට සභාව කටයුතු කරන බව සඳහන්.

තවද, ආහාර සුරක්ෂිතතා නීතියට අනුව අවන්හල්, කැෆේ, ක්ෂණික ආහාර සපයන අවන්හල්, බේකරි, ආහාර සපයන පොදු මුළුතැන්ගෙවල්, ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා, ඇඹරුම්හල්, සත්ව ඝාතකාගාර, ආහාර විකුණන සාප්පු සංකීර්ණ මෙන්ම ආහාර ගබඩා ආදී සියල්ලක්ම නව නීති ක්‍රියාත්මක කරමින් ආරක්ෂිත කැමරා සවි කිරීම අනිවාර්යකර තිබේ.

2018 වර්ෂයේ ආහාර සුරක්ෂිතතා නීතිය කඩකල ආහාර වෙළෙදසැල් 9,916කට අනතුරු හැඟවීම් නිකුත්කර තිබෙන අතර 1,653ක් වසා දැමීමටත් මහනගර සභාව පියවර ගෙන තිබුණි. 2017 වර්ෂයේදී පැමිණිලි 26,306ක් මහනගර සභාවට වර්තා වී තිබූ අතර එම වෙළෙඳසැල්වලටද එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

එබැවින් මේ වසරේදී ආහාර සුරක්ෂිතතා නීතිය සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවත් එම නීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහනගර සභාව නිවේදනය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435