කටුනායක ඒටීජී අර්බුදය ජාත්‍යන්තරයට විහිදෙයි

කටුනායක ඒටීජී සිලෝන් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයින් පස්දෙනෙකු අත්තනෝමතික ලෙස සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව මාර්තු  13 වන දින බ්‍රිතාන්‍ය යේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපස දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

මෙම  උද්ඝෝෂණය තුළින් බ්‍රිතාන්‍ය  ප්‍රමුඛ යුරෝපා රටවල අවධානය දිනා ගැනීමට අපේක්ෂා කරන බවත්, මේ සඳහා බ්‍රිතාන්‍යෙය් වෘත්තීය සමිති ගණනාවක සහය හිමිවනු ඇති බවත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ‘වැඩබිම‘ට සඳහන් කළේය.

එසේම ලන්ඩන් නුවර පැවැත්වෙන මෙම විරෝධතාවට සගාමීව ජතික මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කර ඇති බවත්, ඒ සඳහා වෘත්තීය සමිති සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සිලෝන් අත් වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පස් දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීමට එරෙහිව එහි කම්කරුවන් විසින් ජනවාරි 11 දා ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේවන විටත් ක්‍රියාත්මකව ඇති අතර ඊයේ දිනයේද, ආයෝජන මණ්ඩලයේ සභාපති මෙන්ම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සමග දෙපාර්ශවය විසින් සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී සේවයෙන් ඉවත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාධරයින් පස් දෙනාගේ සේවය අවසන් කිරීම ඉවත් කොට එය අනිවාර්ය නිවාඩු යැවීමක් කිරීමට පවත්නා හැකියාව පිළිබඳ සොයා බලන ලෙස  ඒටීජී සමාගමේ  නියෝජිතයින්ට දැනුම් දුන් බවත්, අධ්‍යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡා කොට  නැවත සලකා බලා තීරණයක් දෙන බව ඔවුන් පැවසූ බවත් සඳහන්ය.

එසේ අනිවාර්ය නිවාඩු යැවීමෙන් ඉක්බිතිව මෙම පස් දෙනා සේවයෙන් පහ කිරීමට පවත්නා හැකියාව පිළිබඳ අධිකරණයෙන් කරුණු දැන ගැනීමට ආයතන හාම්පුතුන් විසින් ක්‍රියා කරනු ඇති බව අමතුවෙන් කිව යුතු නොවේ.

එහෙත් අත්තනෝමතික හා නීති විරෝධී ලෙස සේවයෙන් පහ කළ මෙම සේවකයින් පස් දෙනා යළි සේවයේ පිහිටුවන තුරු අඛණ්ඩව අරගල කරන බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා  වැඩිදුරටත් අවධාරණය කළේය.

“කම්හලේ දේපළ අනිසි ලෙස භාවිතා කිරීම” යන ව්‍යාජ චෝදනාවන් ආයතන පරිපාලනය විසින් සේවක දඩයම සඳහා යොදා ගෙන ඇති අතර පරිපාලනයේ අවසරයකින් තොරව, ආයතනය තුළ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සහ ඒ පිළිබඳ නිවේදනයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීම සේවයෙන් පහ කළ සේවකයින්ට එරෙහිව පවත්නා චෝදනාවයි.

ආයතනය තුළ පවතින දරුණු රැකියා කොන්දේසිවලට එරෙහි ව සටන් කිරීමේ අරමුණෙන් පිහිටුවාගත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) ශාඛාවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීම සංවිධානය කොට තිබුණද, ඔවුන්ට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කරමින් පරිපාලනය විසින් මීගමුව උසාවියේ නඩුවක් පවරා ඇත.

එසේ තිබියදී කම්හල් පරිපාලනය විසින් ජනවාරි මස 11 දා සමිති ශාඛාවේ ප්‍රධාන සංවිධායක, සභාපති සහ ලේකම් ඇතුළු හය දෙනෙකු රැකියාවෙන් නෙරපා ඇති අතර   දඩයමට ලක් වී සිටින කම්කරුවන් අවුරුදු 15කද පමණ සේවා කාලයක් සම්පූර්ණ කළවුන්ය.

ඔවුන් රැකියාව පමණක් නොව අනෙකුත් දීමනා ද තර්ජනයට ලක්ව තිබේ.

වර්ජනය ඉදිරියට ඇදී ගිය ද, රැකියා වලින් දොට්ට දැමීමේ තම තීන්දුව ආපසු හරවා නොගන්නා බව පවසන සමාගමේ කළමනාකාරිත්වය, වර්ජනයේ යෙදී සිටින අනෙකුත් කම්කරුවන් ද රැකියාවෙන් නෙරපන බවට තර්ජනය කරමින් සිටියි. මෙම තත්ත්වය හමුවේ අදාළ ආයතනය තුළ පමණක් නොව ජාත්‍යන්තරය දක්වාම සේවක විරෝධය ගෙනයන්නටත්, සාධාරණය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන්නටත් සේවකයින්ට සිදුවී තිබේ.

පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435