කටුනායක සිරවුණු සේවක පිරිස් ගම්බිම් බලා යාම අරඹයි!

කටුනායක වෙළෙඳ කලාපයේ සේවයේ නියුතුව සිට රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්වීමෙන් පසු ගම්බිම් බලා යාමට නොහැකිව පීඩාවට පත්ව සිටි සේවක/සේවිකාවන් අද (27) අලුයම සිය ගම්බිම් බලා යාම ආරම්භ කර තිබේ.

ඊයේ පස්වරුවේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ආයෝජන මණ්ඩලයේ බලධාරීන් එක්ව කළ සාකච්ඡාවක තීරණයක් අනුව ජනාධිපතිවරයාගේද උපදෙස් අනුව මෙම සේවක සේවිකාවන් ත්‍රිවිධ හමුදාවන්ගේ හා පොලීසියේ සහයෙන් ගම්බිම් වලට යැවීමට ක්‍රියා මාර්ග ගන්නා ලදී.

කෙසේ වෙතත් මෙම සේවක සේවිකාවන් පත්ව සිටි පීඩාව පිළිබඳ නිදහස් වෙළෙඳකලාප හා පොදුසේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ඊයේ දිනයේ ‘වැඩබිමට‘ අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණි.

“කටුනායක, බියගම,සීතාවක නිදහස් වෙළෙඳකලාප සේවිකාවන් 25000ට වැඩි පිරිසක් තමන්ගෙ හොස්ටල්වල, බෝඩිං වල හිරවෙලා ඉන්නවා. රජය විසින් රාජ්‍ය අංශයට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරලා පුද්ගලික අංශයටත් නිවාඩු දෙන ලෙස ඉල්ලා සිටියත් බොහෝ කර්මාන්ත ශාලා නිවාඩු දුන්නෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස ඒ අයට ඇඳිරි නීතිය දාන තෙක්ම ඒ කර්මාන්ත ශාලාවල සේවය කරන්නට සිදුවුණා. සමහර කර්මාන්ත සේවකයින්ට නිවාඩු ඉල්ලා වැඩවර්ජනය කරන්නත් සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස කටුනායක විශාල ලෙස හිරවෙලා. සීතාවකත් එහෙමයි, බියගමත් එහෙමයි. නමුත් කටුනායක සිරවී සිටින පිරිස වැඩියි. මේ සේවකයින්ට වැටුප් ලැබිලත් නෑ. මාර්තු මාසයේ අත්තිකාරම් මුදලක්වත් දීලා නෑ. අනිත් පැත්තෙන් උදේ-දිවා රාත්‍රී ආහාරයට නේවාසිකාගාරවල හදාගන්න බෑ. ඊයේ දිනයේ අපේ සංගමය මැදිහත්වී කටුනායක පොලීසිය අවසරය ඇතිව යම් ප්‍රෙද්ශ කිහිපයක සහන මලු බෙදුවා. එහිදී නේවාසිකාගාරවල සිටින අය දැක්කම අපට පුදුමයි. සමහර නේවාසිකාගාරවල 50ක් 100ක් විතර ඉන්නවා. මේ අය සිටින තදබදය නිසා කොරෝනා වෛරස වැළැක්වීමට දුන්නු උපදෙස් කිසිවක් ක්‍රියාත්මක කරනන්ට හැකියාවක් නෑ. ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය තමා මේ ප්‍රදේශ බාරව ඉන්නෙ. මේ අය නේවාසිකාගාරවල සිටින සෞඛ්‍ය බලධාරීන් හා ආයෝජන මණ්ඩලය එක්ව ආහාර පාන සැපයීම ගැන බැලිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වහාම පියවර ගත යුතුයි. “

දින කිහිපයක් තිස්සේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ඇතැම් දේශපාලන ක්‍රියාධරයින් මෙන්ම මාධ්‍ය විසින් ආහාර පාන සපයා ගත නොහැකිව හා නිවෙස් බලා යාමට නොහැකිව පීඩාවට පත්ව සිටි මෙම සේවක සේවිකාවන් ගැන කරුණු දැක්වීම නිසාම අවසානයේ මෙවන් තීරණයක් කරා යාමට බලධාරීන් කටයුතු කළ බව නොකිව මනාය.

මාර්තු මාසයේ වැටුප තබා අත්තිකාරම් මුදලක් පවා නොලද මෙම බොහෝ පිරිසකගේ ගමනාගමන හා අනෙකුත් වියදම් වෙනුවෙන් රු. ලක්ෂ 5ක මුදලක් ලබාදීමටද කර්මාන්ත හිමියන් අවසානයේ ක්‍රියා කර තිබේ.

කෙසේ වෙතත් මේවන විට ඔවුන් නිවෙස් බලා යාමට පිටත්ව ඇති අතර යුද හමුදාවේ හා පොලීසියේ බස් රථ මගින් ඔවුන්ගේ ගම්බිම් කරා යැවීම ආරම්භ කර ඇත.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435