කම්කරුවත් ඉවරද ?

රාජ්‍ය අංශය සතු උසම ගොඩනැගිල්ල ලෙස කම්කරු අමාත්‍යාංශය යටතේ නව ගොඩනැගිලි ඉදිකර විවෘත කරන අතරවාරයේ මෙරට කම්කරුවන්ට මෙතෙක් තිබූ අයිතිවාසිකම් ද අහිමි කරන ආකාරයේ කටයුතු සිදුවෙමින් පැවතීම සැබවින්ම හාස්‍යජනකය. ක්‍රියාත්මක වීමේ පරිමාවන් කෙසේ වෙතත් යම් තරමකින් හෝ කම්කරු අයිතිවාසිකම් රැකීමට ද අයිතිවාසිකම් අහිමිවීම් වලදී ඒ වෙනුවෙන් හඬනැගීමට ඉඩකඩ සලසා තිබූ අණපනත් අහෝසි කරමින් කම්කරුවන් කබලෙන් ළිපටම වැටෙන ආකාරයෙන් පනත් සංශෝධනය වීමෙන් සෙත සැලසෙන බව පෙනෙන්නේ නම් කම්කරුවන්ට නොව සේවා යෝජකයන්ටය. නව කම්කරු නීති සංශෝධනය කිරීමේදී මෙතෙක් අනුගමනය කළ ක්‍රියා පටිපාටියට ද සම්පූර්ණ පටහැනි අයුරින් පනත් කෙටුම්පතක් සකස් කරමින් හා ඊට වෘත්තීය සමිතිවල ද අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලියක මේ වන විට ආණ්ඩුව යෙදී සිටින්නේය.

මෙරට වැඩ කරන ජනතාවට බලපාන ප්‍රධාන කම්කරු පනත් ගණනාවක් අහෝසි කර සැකසීමට යන නව පනත සැකසෙන්නේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මතය. මෙහිදී කම්කරු නීති සම්බන්ධයෙන් කටයුතු කරන කම්කරු අමාත්‍යාංශය වෙනුවට සංවර්ධන උපාය මාර්ග සහ විදේශ වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශය විසින් සේවා නියුක්ති පනත නමින් පනත් කෙටුම්පතක් ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කර තිබේ. නව පනත ගෙන ඒමට කටයුතු කරන්නේ මෙතෙක් පැවති පනත් වන 1954 අංක 32 දරන සාප්පු හා කාර්යාල පනත, 1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත, 1956 අංක 47 දරන කාන්තාවන් තරුණයන් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත, 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත යන පනත් ගණනාවක් අහෝසි කිරීමෙන් තනි පනතක් බවට පත් කිරීමෙනි. අණපනත් ගණනාවක් ලෙස වෙන් වෙන්ව තිබෙනවාට වඩා එක් පනතකට ගෙන ඒම යම් ආකාරයකට යහපත් යැයි හැඟුණද ගැටලුව වන්නේ එම පනත් අහෝසි කරමින් නව පනත ගෙන ඒමේදී මෙතෙක් මෙරට කම්කරු ජනතාව වෙනුවෙන් තිබූ අයිතිවාසිකම් ගණනාවක් ද ඒ සමගම අහෝසි වන ආකාරයක් එය නිර්මාණය කිර තිබීමය.

ඒ අනුව එම නව සංශෝධනයෙන් අහිමි වන අයිතිවාසිකම් ලෙස කාන්තාවන්ගෙන් කොන්දේසි විරහිතව රාත්‍රී වැඩ ගැනීමට ඉඩකඩ සැලසීම, සේවකයන් ඕනෑම මොහොතක රැකියාවෙන් ඉවත් කිරීමට හාම්පුතාට ඉඩ ලබාදීම, සති අන්ත නිවාඩු වලට වැටුප් ගෙවනු නොලැබීම, අතිකාල නොමැතිව දිනකට පැය 12ක් අනිවාර්යෙන්ම වැඩ කිරීමට සිදුවීම, සේවය කරන පරිශ්‍රයේම නැවතී සිටින අය පැය 14ක් වැඩ කිරීමට සිදුවීම, දැන් පැයට පැය 2ක් හෝ 3ක් ලෙස ගෙවීම් කරනු ලබන අතිකාල ගෙවීම් පැයට පැය 1 1/2 දක්වා අඩුවීම, ස්ථිර සේවකයන් වෙනුවට මෑන්පවර් සේවකයන් යෙදවීමට පාලකයන්ට ඉඩ සැලසීම හේතුවෙන් ඉදිරියේදී ස්ථිර රැකියා අහෝසිවීමේ ඉඩකඩ නිර්මාණය වීම, මෑන්පවර් හෝ කොන්ත්‍රාත් සේවකයන්ගේ රැකියා කිසිදා ස්ථිර නොවීමේ ඉඩ සැලසීම, විදුලිය ඇනහිටීම අමුද්‍රව්‍ය නොමැතිවීම ආදී කරුණු හේතුවෙන් වැඩ නැති වුවහොත් සේවයට එදින පැමිණ සිටිය ද සේවකයන් වැටුප් ගෙවනු නොලැබීම, හම්පුතාට අවශ්‍ය ඕනෑම කොන්දේසියක් සේවකයාට ලබාදෙන ආකාරයෙන් සේවා ගිවිසුමට ඇතුළු කළ හැකි ආකාරයට ඉඩ සැලසීම සහ රටේ අනෙකුත් නීතිවලට වඩා සේවකයාට ලබාදෙන සේවා ගිවිසුම බලවත් කර තිබීම, කළමනාකරුවන්ට සහ ඇමතිවරයා නියම කරන ශ්‍රේණිවල අයට අතිකාල ගෙවනු නොලැබීම, පොහොය දිනක වැඩ කළහොත් අමතර දින 1 1/2 ක වැටුපක් පමණක් ලබාදීම, භාවිත නොකරන අසනීප නිවාඩු ඉදිරි වසරට ගෙන යා නොහැකි වීම ආදී ලෙස අයිතිවාසිකම් රාශියක් ඒ අනුව අහෝසි වනු ඇත. එමෙන්ම දැනට සේවකයින්ට වැටුප් සහ අනෙක් අයිතිවාසිකම් ලැබෙන්නේ සාමූහික ගිවිසුමකින් නම් එම ගිවිසුම් අවසන් වී වසරකට පසුව ඉහත සඳහන් නව නීති ඔවුන්ට ද ඒ අනුව බලාත්මක වේ. තවත් වැදගත්ම කරුණක් වන්නේ මෙම නව සංශෝධනයට අනුව ආයතනයක දුක් ගැනවිලි ක්‍රමවේදය අවසන් වන තෙක් කම්කරුවෙකුට තම ගැටලුව සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නොහැකි ය. එමෙන්ම ඉහත සඳහන් ආකාරයේ ක්‍රියාවලියකට ඉඩ සැලසුණහොත් එය කම්කරුවන්ගේ දෛනික ආදායමට ද විශාල බලපෑමක් ඇති කරනු ලබන්නේ ය.

මේවාට අමතරව යම්කිසි සේවකයෙකු සේවයෙන් පහ කිරීමේ දී මේ වන විට පවතින නීතිරීති අනුව නම් කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව සේවකයෙකු සේවයෙන් ඉවත් කළ නොහැකි වුවත් මෙම නව පනත් කෙටුම්පතට අනුව හාම්පුතාට කැමති අවස්ථාවක කම්කරු කොමසාරිස්වරයාට දැනුම්දීමක් පමණක් කර සේවකයන් සේවයෙන් ඉවත් කළ හැකිය. සේවකයන් 15ට වැඩි ගණනක් සිටින ආයතනයක සේවකයන් පහ කිරීමකදී කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කිරීමේ අංශයට පැමිණිලි කිරීමට දැනට හැකි වුවත් නව සංශෝධනය අනුව ආයතනයේ සේවක සංඛ්‍යාව 50කට වැඩි නම් පමණක් සේවය අවසන් කිරීමේ අංශයට පැමිණිලි කළ හැකිවේ. එමෙන්ම දැනට වන්දි සූත්‍රයට අනුව මාස 48ක උපරිමයක් දක්වා වන්දි ලබා ගත හැකි වුවත් නව සංශෝධනයෙන් උපරිම වන්දිය මාස 20කට අඩු කර තිබේ. මේ ආදී තවත් ගැටලු රාශියක් මෙම නව පනත ක්‍රියාත්මක වුවහොත් මතුවන බව එහි සංශෝධන කෙටුම්පත අනුව පැහැදිලිය.

මෙම ගැටලු සම්බන්ධයෙන් මේ වන විට මෙරට වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව තම විරෝධය දක්වමින් සිටින අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම වගකිවයුතු අමාත්‍යවරුන්ට ද ඔවුන් මේ සම්බන්ධව ලිඛිතව දන්වා තිබේ, ඒ වෙනුවෙන් සාකච්ඡා අවස්ථා ද ඉල්ලා තිබේ, මෙම පනත් කෙටුම්පත අහෝසි කරගන්නා ලෙස ඉල්ලා තිබේ. නව කම්කරු පනතට එරෙහිව වෘත්තීය සමිති එකමුතුව විසින් සැප්තැම්බර් 22 පෙ.ව 9.30ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේ විරෝධතා රැළියක් ද සංවිධානය කර තිබේ.

කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා නම්, පාලකයන්ට සැබැවින්ම කම්කරුවන් මුහුණ දෙන ගැටලු තේරුම් ගැනීමට හෝ ඊට සවන් දීමට අවශ්‍යතාවක් හෝ හැඟීමක් දැනීමක් නොමැති නම් දැවැන්ත නවීන ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් කම්කරුවන්ට සිදුවන සෙතක් නොමැති බව තේරුම් ගත යුතුය. ගොඩනැගිලි හෝ තවත් නවීන භෞතික දෙයින් පමණක් මෙම ක්‍රමවේදය වෙනස් කළ නොහැකි බව තේරුම් ගත යුතුය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකෙන අයුරින් හා එම අයිතිවාසිකම් තවත් ශක්තිමත් වන අයුරින් නීතිරීති සකස් විය යුතු මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීම ද සිදුවිය යුතුය.

ඉදුනිල් උස්ගොඩ ආරච්චි (රාවය)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435