කම්කරුවන්ගේ EPF සමාජ ආරක්ෂණයට විදින්නට පිටපොට ගසන ආණ්ඩුව

කොරෝනා රෝගය පැතිර යෑම පාලනය කිරිම සදහා යෙදවූ දුරස්ථකරණයට අදාල ඇදිරි නීති හා ආයතන වසා දැමීමේ ක්‍රියාමාර්ග නිසා ගණන් මිනුම් රහිතව සේවක වෘත්තීන් ඇනහිටීම වැලැක්විය නොහැකි විය. එම සේවකයන්ගේ වැටුප් ආදායම් නොලැබී යෑම නිසා එයට පිලිතුරක් ලෙස ඔවුන් සතු අර්ථසාධක අරමුදලෙන් (EPF) 20% ක් නිදහස් කිරිමට ජනාධිපති ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් හා අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් යෝජනා කර තිබුණි. ඒ සමගම මේ අදහස පිළිබදව සුරැකුම් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා කරුණු දක්වමින් කියා සිටියේ අර්ථ සාධක අරමුදලෙන් 20% ක් කලින් ලබා දීම එම පවුල් වලට නරක ලෙස බල පෑ හැකි බවයි. නමුත් මුදල් සැපයුම ඉහල දැමීමේ උපායක් ලෙස නම් එය නරක නැති බව ද ඔහු කීවේ ය.

එදාවේලට හිගන්නාගේ පාත්තරය 

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ (CFTU) නියෝජ්‍ය ප්‍රධාන ලේකම් U.C. පෙරේරා ගේ අදහස වූයේ මේ යොජනාවේ ඉලක්කය වැටුප් නොලැබීමේ ප්‍රශ්ණයට පිළිතුරක් සැපයීම නොවන බවයි. ”ඒකේ අදහස මේ වසංගත තත්ත්වයත් එක්ක ආර්ථිකයේ ඇති වන පසුබෑමට පොඩි තල්ලුවක් දෙන්න.  EPF මුදල් වලින් 20% ක ප්‍රමාණයක් ඒකේ සාමාජිකයන් අතරේ බෙදල දුන්නහම ඒ මුදල් ටික ක්ෂණිකවම වෙළදපලට පම්ප් වෙනව කියල තමයි එයා කියල තියෙන්නේ” යි ඔහු අපට කියා සිටියේ ය.

පසුගිය පෙබරවාරි 26 වැනිදා මහ බැංකුව නිකුත් කළ සේවක අර්ථ සාධක අරමුදලේ ආදායම් හා වියදම් ප්‍රකාශණය පරිදි අරමුදලේ මුළු ශුද්ධ වටිනාකම රුපියල් ට්‍රිලියන 02 යි බිලියන 66 ක් ලෙස දැක්විනි. එනම් රුපියල් බිලියන 2066 කි. ඒ අනුව බලන කල, මේ යෝජනා කර ඇත්තේ ඉන් 20% ක් හෙවත් රු. බිලියන 413 ක් සමාජයට මුදා හැරීමට ය. මේසේ අවම වැටුප් මත ජීවත් වන ජනතාවගේ ඉතුරුම් වලින් විශාල මුදලක් උදුරාගෙන තම ආර්ථික ගැටලු වලට විසදුම් සෙවීමෙන් පෙනෙන්නේ පාලකයින් සැළසුම් විරහිත බවය.

ලංකා වෘත්තීය සමිති සම්මේලනය තවත් වෘත්තීය සමිති හා එක්ව මේ වන විටත් අගමැතිට, ජනපතිට හා කම්කරු ඇමැතිට මේ පියවර සම්බන්ධයෙන් විරෝධය පල කර ලිපි යවා තිබේ. එම ලිපි මගින් පෙන්වා දී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල සේවකයකු විශ්‍රාම යෑමෙන් පසු කිසිවකුටත් අත නොපා දිවි ගෙවීමට ශක්තිය සපයන සමාජ ආරක්ෂණ අරමුදලක් බව පාලක පක්ෂයට අමතක වීම කණගාටුවට කරුණක් බවය. ”මේ අරමුදලේ මුඛ්‍ය පරමාර්ථය සමාජ ආරක්ෂණය වී තිබියදී මීට කලිනුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති හා මුදල් ඇමති ලෙස කටයුතු කරන කාලයේ අය වැය යෝජනාවකින් මේ අරමුදලෙන් 30% ක් නිදහස් කළා. නිවාස, දරුවන්ගේ අධ්‍යාපනය, වැනි දේවල් වලට,’ යි යූ.සී.පෙරේරා අපට යලිත් මතක් කර දුන්නේ ය. එකල පැවැති වැටුප් වැඩි නොකිරීමේ ප්‍රතිපත්තියෙන් ඉතාමත් ආර්ථික අසීරු තාවයන්ට මුහුණ දී සිටි සේවක පිරිස් තමන්ගේ ම ඉතුරුම් වලින් එදාවේල සරිකරගන්න තැනට මින් පත් වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. ”බලන්න දැන් මේ 20%  නිදහස් කළ විට සේවකයන් බහුතරයකගේ EPF පාරිතෝෂිකයෙන් 50% ක් අහෝසි වී වෙලා යනවා.” ඔහු අපට මෙසේ පෙන්වා දුන්නේ එදා වේල සරිකර ගැනීමට අනාගතයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් රැක ඇති මුදලක් යොදා ගත් හා යලිත් යොදා ගන්නට වැර දරණ අයුරු ය.

”යට සාක්කුවේ සල්ලි පොකට් ගසා උඩ සාක්කුවට දැමිම”

දැන් අප ඉදිරියේ ප්‍රශ්නය මතු වූයේ කොරෝනා 19 නිසා මතුව ඇති ආපදා තත්ත්වයට මුහුණ දීමට ලංකාණ්ඩුවට ලැබුන ලෙස ප්‍රකාශිත දෙස් විදෙස් අරමුදල්, එමෙන්ම විශේෂයෙන් මාස දෙකකට වැඩි කාලයක් තුළ ලෝක වෙළදපලේ තෙල් මිල අඛණ්ඩව කිහිප ගුණයකින්, බැරලය ඩොලර් 20 කටත් වඩා, පහල වැටීම නිසා ඉතුරුවන මුදල්, මේ මොහොතේ රස්සාවේ නිරත වෙන්න බැරිකමින් වැටුප් ආදායම නැතිව ඉන්න සේවකයන්ට සහන දෙන්න යොදා නොගන්නේ ඇයි ද යන විවේචන ය යි.

සැබැවින්ම මේ අරමුදල් පාලනය පිළිබදව පාර්ලිමේන්තුවට පවතින බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැම පැත්තකින්ම සංකා මතුවන්නට පටන් ගෙන තිබේ. මේ අමාරු අවස්ථාවේ රජයේ ආදායම් හා වියදම් පිළිබදව සොයා බැලීම හා මුදල් නිසි පරිදි අදාල ප්‍රමුඛතා අනුව වැය කිරීම, ආදිය සැලසුම් කිරීම පක්ෂ විපක්ෂ සැමගේ සහභාගිත්වයෙන් කෙරෙන යාන්ත්‍රණයක් ඇති නොකරන්නේ ඇයිද යන්න ගැනද විවෘතවම සාකච්ඡා වෙමින් තිබේ.

දිනෙන් දින තීව්ර වෙමින් සමාජය තුළ ගලා යන මෙකී සාකච්ඡාවන්හි නිමග්නව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති කියන්නේ, ”ඕක හරියට ඔයාගේ යට සාක්කුවේ තියෙන සල්ලි පොකට් ගහල උඩ සාක්කුවට දානව වගේ වැඩක්. අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි ඔය විදියට සේවකයන් මෝඩ කරල EPF එකට අත තියන්න යනවට. ආණ්ඩුවට එහෙම දෙන්න අයිතියකුත් නෑ. පාර්ලිමේන්තුව ඕන වෙන්නේ ඔන්න ඕකට තමයි. රාජ්‍ය මූල්‍ය පාලනයේ සම්පූර්ණ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව කැදෙව්වොත් විතරයි සේවකයන්ගේ ආරක්ෂණ අරමුදලට අත තියන්නේ නැතිව ඔවුන්ගේ ආර්ථික අපහසුතා වලට සහන සලසන්නේ කොහොම කියල බලන්න පුළුවන් වෙන්නේ. සල්ලි ආවට ඒව බැසිල්ට හරි මහින්දට හරි ඕන විදයට වියදම් කරන්න බෑ නේ. ව්‍යවස්ථාවක් තියෙන්නේ ඒකට. ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පිටුපාල  පාර්ලිමේන්තුව කැදවන්නේ නැතිව රටේ මූල්‍ය තත්ත්වය වාර්තා කරන්නේ නැතිව වියදම් කරනව නම් ඒක එහෙම පිටින්ම ඒකාධිපති තත්ත්වයක්. එහෙම උනාම තව දුරටත් ආධාර උපකාර ලබා ගන්නත් බැරිවෙන්න පුළුවන්. විශ්වාසයක් නැති නිසා,” යනුවෙනි.

කොරෝනා කාලයේ කුසගින්නට – EPF එකේ 20% ක් 

මේ අතර අර්ථසාධක අරමුදලෙන් 20 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පක්ෂපාතව අදහස් දක්වන අය පෙන්වන්නේ මේ පියවර ගැන සේවකයන්ගේ කැමැත්ත පලවී තිබෙන බවය. මාස දෙකකට ආසන්න කාලයක් අතට මුදලක් නොලැබ සිටින සේවකයන් තමන්ගේ ණය තුරුස් ගෙවාගෙන, හිතේ බරක් නැතිව නැවත රට සාමාන්‍ය තත්වයට එනකල් දරු පවුල් එක්ක ජීවත් වෙන්න සරිලන මුදල් එමගින් ලැබෙන නිසා විරුද්ධත්වයක් පාන්නේ නැති බව එසේ කියැවෙයි. මෙයට පෙර දී EPF අරමුදලෙන් 30% ලබා දීම ගැන හැමෝම සතුටින් සිටි බවත්, ඊට විරුද්ධ සේවකයන් නොව වෘත්තීය සමිති නායකන් බවත් ඔවුන්ගේ අදහසයි.

මේ විවේචනය සම්බන්ධයෙන් කථා කළ යූ.සී.පෙරේරා පෙන්වා දෙන්නේ, මේ සේවකයන්ගේ නායකයන් ලෙසින්, වෘත්තීය සමිති ලෙසින් මේ ප්‍රශ්නයේ සැබෑ තත්වය පෙන්වා දීම වගකීමක් හා යුතුකමක් බවයි.

”මේ වැඩෙන් වෙන්නේ මේ මේ දේ කියල ප්‍රශ්නයේ හැම පැත්තම පෙන්නල සිහිබුද්ධියෙන් යුතු තීන්දුවක් ගන්න පුළුවන් තත්වයකට අපේ සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කිරීමටයි අපි පත් වෙලා ඉන්නේ සමිති නිල වලට. ඇත්තටම ඒක පාලකයන්ගේත් වගකීමක්. කවදාවත් නොකළට.”

හාම්පුතුන්ටත් ප්‍රශ්න

සැබැවින්ම පවතින තත්වය තුළ තාවකාලික මොහොතකට පමණක් නොව, දිගුකාලීන වශයෙන් රැකියා අහිමිවීමේ තත්වයක් මතු වී තිබෙන බවට පැහැදිලි තොරතුරු තිබේ. ඇගළුම් කර්මාන්තයේ 30% ක් රැකියා අහෝසි කිරීමට සිදුවන බව පාලකයන් පෙන්වා තිබේ. සේවකයන්ට පමණක් නොව ආයතනවල ස්වාමීන්ගේ ද ගැටලු රාශියකි. විශේෂයෙන් අගය එකතු කිරීමේ අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් එක් උදාහරණයක් මතු කර තිබේ. එනම් මේ එළඹෙන ග්‍රීෂ්ම ඍතුව සදහා මේ වන විටත් සම්පූර්ණ කර ඇති ඇගළුම් ඇනවුම් අපනයනය ඇනහිටීමේ තත්ත්වයක් මතු වී ඇත. එවිට ඊලග යුගයට අවශ්‍ය ඇනවුම් සදහා අමුද්‍රව්‍ය මිල දී ගන්නේ කෙසේ ද? ඒවා අපනයනය කර මුදල් ලැබෙන තෙක් සේවකයන්ට වැටුප් ගෙවන්නේ කෙසේ ද? ආදී ලෙසිනි. මේ අයුරු ප්‍රශ්නය EPF එකෙන් කොටසක් සේවකයන්ට දීමෙන් නිම වන කෙටිකාලීන ප්‍රශ්නයක් නොවන බව පැහැදිලි ය.

කෙසේ වෙතත් වසර 10 – 15 -20 පමණ කලක් තිස්සේ තමන්ගේ ආයතනයේ සේවයේ නිරතව තමන්ගේ ආයතනයේ ලාබ දායී පැවැත්මට උර දුන් සේවකයන් සම්බන්ධයෙන් ඒවායේ හාම්පුතුන් දක්වන ආකල්පයට ඉඩ හැරීමක් ලෙස මේ EPF එක යොදා ගෙන සහන සැලසීමට ආණ්ඩුව අරමුණු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද ඇත්තේ විමතියකි.

නමුත් කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන වෘත්තීය සමිති නායකයන් විසින් කරන ලද විමසීම් වලට පිළිතුරු දෙමින් කියා සිටියේ EPF අරමුදලට අත නොතබන බවයි. එය රජයේ ස්ථාවරය නොවන බවත්, අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුද්ගලික අදහසක් පමණක් බවත් ඔහු කියයි. නමුත් මේ උත්තරය බාරගැනීමේ සූදානම් වෘත්තීය සමිති විසින් පෙන්වා නැත. ඔවුන් කල්පනා කරන්නේ අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයෙක් ලෙස වගේම, කලෙක දී මහ බැංකු අධිපති තනතුර දැරූවෙක් ලෙසින්  කියන දෙයක් ඔහුගේ  පුද්ගලික අදහසක් විදියට බැහැර කළ නොහැකි බවයි.

ඒ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියන්නේ ”මේක කලින් දුන්නම කාල ඉවර වෙනවනේ,” කියාය.

“EPF එක කියන්නේ විශ්‍රාම ගිය නැති බැරි කාලෙදි ප්‍රයෝජනයක් ගන්න තියෙන එකක් නේ. ඒකෙන් 20% ක් මේ පරිහානි කාලෙදි වියදම් කරන්න කිව්වොත් ඒ 20% අයින් වෙනවනේ ඔවුන්ගේ විශ්‍රාම කාලෙන්. ඔය වැඩෙ කරනව නම් අපි ඒකට මුළුමනින්ම විරුද්ධයි.”

දැන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ අදහස් කෙසේ වෙතත් වාසුදේව නානායක්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගේ අදහස් විමසු කල පෙනෙන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ තවත් විරුද්ධවාදීන් සිටින බවය. මීට ඉහතදීද මෙම දේශපාලන සගයන් දෙපලම සේවක අර්ථසාධක අරමුදලට අත තබන්නට ගත්  උත්සාහය තමන් විසින් පසුබස්වන ලද බව මන්ත්‍රීවරයා පවසයි.

“මේ ගොල්ලෝ හැදුව EPF එක දාන්න ස්ටොක් මාර්කට් එකේ. ඒකෙත් හිටියේ බන්දුල – කබ්රාල් දෙන්නා. අපි විරුද්ධ උනා. ඒක ඉල්ලා අස්කරගත්තා.”

රනත් කුමාරසිංහ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435