“කම්කරුවා” වන වචනය “වැඩකරන ජනයා” විය යුතුයි

වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ඉතා වේගයෙන් අඩුවෙමින් යනවාද?

කම්කරුවන් වෘත්තීය සමිති ව්‍යාපාරය අත්හරින යුගයක තමයි අපි ඉන්නේ. දැන් කම්කරුවන් කියන වචනයටත් බොහෝ අය අකමැතියි. මොකද ඒක අවතක්සේරු කිරීමක් වන නිසා. ඇත්තටම අපි පාවිච්චි කරන්න ඕනෑ ‘වැඩකරන ජනතාව’ වගේ වචනයක්. ඒ ජනතාව වෘත්තීය සමිති වැළඳගන්නේ නැහැ. ලංකාවේ වැඩකරන මිනිසුන් ලක්ෂ 84ක් ඉන්නවා. එහෙත් වෘත්තීය සමිති වටා ගොනුවෙලා ක‍්‍රියාකාරීව ඉන්නෙ ලක්ෂයක වගේ පිරිසක් පමණක් බවයි මගේ තක්සේරුව. ලංකාවේ ප‍්‍රධාන පක්ෂ දෙකට සම්බන්ධ වෘත්තීය සමිතිවල ලක්ෂ 5ක වගේ සාමාජික ඝනත්වයක් පෙන්වනවා.

එහෙත් බොහෝවිට වෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුවට අයිති වෘත්තීය සමිතියකින් වාසි ලබාගැනීම පිණිස යම් පිරිසක් එකතුවෙලා ඉඳීමයි. බොහෝවිට එක් පක්ෂයක ඉන්න සාමාජික ඝනත්වය ආණ්ඩු මාරුවකින් පස්සේ අනෙක් පැත්තට මාරුවෙනවා. ඇත්තටම වෘත්තීය සමිතියකින් කිසිම නරක දෙයක් කරන්නේ නැහැ. රස්සාව නැතිවුණොත් රස්සාව ලබාදෙනවා, නීතිමය පහසුකම් දෙනවා, සුවපහසු සේවා පරිසරයක් හදලා දෙනවා, විවිධාකාර දීමනා ආදිය තහවුරු කරලා දෙනවා. සමස්තයක් විදියට රැුකියාව ඇතුළුව ක්ෂේත‍්‍රය ආරක්ෂා කරලා දීමයි වෘත්තීය සමිතියක කාර්යභාරය වෙන්නේ. ඒත් ඒ වගේ හොඳ දේකට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ නැහැ.

එයට හේතුව ලෙස දකින්නේ මොකක්ද?

එක් පැත්තකින් වෘත්තීය සමිති පටන්ගන්නේ වාමාංශික පදනමකින් වීම එයට බලපානවා. සෝවියට් දේශය කඩාවැටීමෙන් පස්සේ වාමාංශික ව්‍යාපාරය පිළිබඳ උනන්දුව අඩුවෙලා. එහෙත් අදටත් ලංකාවේ වෘත්තීය සමිති පවතින්නේ වාමාංශික ව්‍යාපාරයේ ආස්වාදය වටේට. හැට ගණන්වල ඉඳලා අසූව දශකය දක්වා සාමාන්‍ය සේවකයන් වාමාංශික උනන්දුව නිසා වෘත්තීය සමිති වැළඳගත්තා. අපේ ඉතිහාසයේ සමහර විරෝධතා අද බැලූවොත් පුදුමයි. අන්තර්ජාතික අරගලවලට පවා සහයෝගය දෙමින් ලංකාවේ විරෝධතා පවත්වලා තියෙනවා. උදාහරණයකට අසූවේදී පමණ ආජන්ටිනාවේ ගුරු වෘත්තීය සමිති නායකයෙක්ව රැුකියාවෙන් එළියට දැම්මාම ලංකා ගුරු සංගමය මෙහේ විරෝධතාවයක් පවත්වලා තිබුණා. ලංකා බැංකු සේවක සංගමය ඒකට සහයෝගය දක්වලා තිබුණා.

අද ලංකාවේ නම් ආජන්ටිනාවේ නෙවෙයි, ලංකාවේ ප‍්‍රශ්නයකදී වුණත් ක‍්‍රියාත්මක වීම අඩුයි. අපේ ඔළුව තියෙන්නේ වාමාංශික මූලයේ. එහෙත් අපේ ක‍්‍රමයම පවතින්නේ වෙළඳපොලෙන් අපේ ජීවිත තීන්දු කරන අන්දමේ ලිබරල් ධනවාදී රටාවකට යටවෙලා. වෘත්තීය සමිති ගැන ලංකාවේ මතයක් තියෙනවා. වෘත්තීය සමිතිකාරයන් කියන්නේ හැමදේටම විරුද්ධ වෙන පිරිසක්ය කියන ආකල්පය තියෙනවා. අද රැුකියාවකට යන තරුණයෙක් තමන්ගේ ගෙදරට කීවොත් මම වෘත්තීය සමිතියකට ගියා කියලා, මොනවා වේවිද? අම්මා, පෙම්වතිය ආදි අය අහයි, තමුසෙට පිස්සුද කියලා. සමාජයට අනුව අද වෘත්තීය සමිතියකට බැඳීම පිස්සුවක්ලූ. අද වැඩ කරන මිනිස්සු සංවිධානගත වෙන්නේ නැහැ. පාලකයා විශ්වාසයක් දීලා තියෙනවා ඔයාට ඕනෑ දෙයක් ඇවිල්ලා මගෙන් ඉල්ලන්න කියලා.

දේශපාලන බලවතුන් එක්ක හොරෙන් කතාකරලා තමන්ගේ අයිතීන් විතරක් ලබාගන්න සේවකයන් පෙළඹෙනවා නේද?

ඒ මාර්ගය පාලකයන් හදලා තියෙන්නේ. වෘත්තීය සමිති හරහා ආවොත් කිසි දෙයක් දෙන්නේ නැහැ කියන ස්ථාවරය හදලා තියෙන්නේ. ඒ හින්දා අලූතින් බිහිවෙන ක්ෂේත‍්‍ර ආශ‍්‍රිතව වෘත්තීය සමිති හැදෙන්නේම නැහැ. උදාහරණයක් විදියට අලූතින් බිහිවන පරිගණක ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති බිහිවෙන්නේ නැහැ. ඒ අනුව අපි ඉන්නේ දැවැන්ත අභියෝගාත්මක කාල පරිච්ඡේදයක. අද වෘත්තීය සමිති බොහොමයකට එක්දින වැඩවර්ජනයක් කරන්න බෑ. අපි මෑත කාලයේදී ප‍්‍රංශයේ වෘත්තීය සමිති ක‍්‍රියාවලියක් දැක්කා. ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සමිතියකට දිනකට ප‍්‍රංශය දුර්වල කිරීමේ හැකියාව තියෙනවා. ලංකාවේ එහෙම නැහැ. ඒ තත්වය ජයගන්න අපි කරන්නේ මොනවාද කියන එක ගැන කල්පනා කරන්න ඕනෑ.

ඔබ හිතන හැටියට කළ යුත්තේ මොනවාද?

අපි ඒ සඳහා ආකෘතිමය වෙනසක් කරන්න ඕනෑ. උදාහරණයක් විදියට සාමාජිකයන් රැුස්වීමකට එන්නේ නැත්තේ ඇයිද කියන එක බලන්න ඕනෑ. එක පැත්තකින් නායකයන්ගේ වරු ගණන් ඇදෙන කතා අහන්න සාමාන්‍ය වැඩකරන මනුස්සයෙක් කැමති නැති වෙන්න පුළුවන්. මම දිග කතා පැවැත්වීම විවේචනය කරන්නේ නැහැ. ඒත් දැන් මිනිස්සු එහෙම දිග කතාවක් අහන්න ලෑස්තිවෙච්ච යුගයක නෙවෙයි ඉන්නේ. එදා කම්කරු නායකයන්ට ඒක ගැළපුණත්, අද ගැළපෙන්නේ නැහැ. එදා මිනිස්සු දැනුම ලබාගත්තේ කතාවක් අහලා. එහෙත් අද සන්නිවේදනය තාක්ෂණිකව දියුණු වෙලා. දැන් පණිවුඩයක් සමාජගත කරන්නට අලූත් ක‍්‍රම තියෙනවා.

අපි මෑත කාලයේ විවිධ සිද්ධ මූලික කරගෙන වෘත්තීය සමිති එකමුතු ගණනාවක් හදලා තියෙනවා. වෘත්තීය සමිති 26ක් පමණ සාමාන්‍යයෙන් එකතුවෙනවා. ඒ එකමුතුවේ රැුස්වීම් පවත්වනකොට නායකයන් ඇවිල්ලා සංගීත සංදර්ශනවලට ගායක ලැයිස්තුව හදනකොට වගේ තමන්ගේ අවස්ථාව කලින් ලබාගන්න උත්සාහ කරනවා. මොකද රැස්වීම ඉවරවෙන තුරු මිනිස්සු ඉන්නේ නැති බව ඔවුන් දන්නවා. එයට පිළියමක් ලෙස ආකෘතිය වෙනස් කරනවා වෙනුවට තමන්ගේ කතාව මුලින් දාගන්න ඔවුන් උත්සාහ කරනවා.

මේකට විසඳුමක් විදියට 2019 මැයි දිනය සංවිධානය කරද්දී අපි අලූත් දෙයක් උත්සාහ කළා. මැයි දිනය තිබුණේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දවස් 11කට පස්සේ. ඒ නිසා මිනිස්සු ස්වයංව මැයි දින වර්ජනය කළා. අපි ආකෘතිමය වෙනස කළා. වෘත්තීය සමිති 25ක් හිටියා. වෙලාව නාස්ති නොකර හැම නායකයෙක්ම සභාවේ කතා කෙරෙව්වා. ඒක කළේ ඩිජිටල් තිරයක් දාලා හැමෝගෙන්ම විනාඩි දෙක ගාණේ කෙටි අදහස් අරගෙන ආකර්ෂණීය වීඩියෝවක් හදලා.

අනෙක් පැත්තෙන් අපි අහන්න ඕනෑ රැස්වීම්වලට අනිවාර්යයෙන් මිනිස්සු එන්න ඕනෑද කියන එක. රැස්වීම් පවත්වන්නේ එක් අතකින් පණිවුඩයක් සමාජගත කරන්න. අනෙක් පැත්තෙන් බලය පෙන්වන්නට. ගොඩක් රැුස්වීම් තියෙන්නේ බලය පෙන්වන්නට. පහුගිය කාලයේ අපි දැක්කා සමහර පක්ෂ ගෝල්ෆේස් පුරවලා විනෝද වෙනවා. ඒත් අපට පුළුවන් රැස්වීම් ඩිජිටල්කරණය කරන්න. අද ෆේස්බුක්වල අපි වෙනම විනෝදයක් ලබනවා. 2010න් පස්සේ අවුරුදු නවයක් ඇතුළත ෆේස්බුක්වලට සමාජයම හුරුවෙලා. ඒ අවකාශයට යන්නේ කොහොමද කියලා වෘත්තීය සමිති කල්පනා කරන්න ඕනෑ. ෆේස්බුක් පිටුවක් තනාගැනීම තමයි සරලම දේ. ඒ කටයුත්ත පවා නොකරපු වෘත්තීය සමිති තමයි අද ලංකාවේ තියෙන්නේ.

වෘත්තීය සමිතිවල එකමුතුවක් ගොඩනගාගැනීම අත්දැකීමක් විදියට දකින්නේ කොහොමද?

යම් ක්ෂේත‍්‍රයක වැඩකරන වෘත්තිකයෙක්ට හිතෙන්න පුළුවන් වෙනත් වෘත්තියකට අයත් අයට සිදුවෙන අසාධාරණයක් තමන්ට අදාළ නැති බව. උදාහරණයක් විදියට ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ට වෙන අසාධාරණය බැංකු සේවකයන්ට හෝ ගුරුවරුන්ට අදාළ නැති බව හිතන්න ඉඩ තියෙනවා. එහෙත් අපි තේරුම් ගන්න ඕනෑ ඒ හැම දෙයක්ම පොදුවේ වැඩකරන ජනතාවට අදාළ බව. ඒ වගේම හැමෝටම පොදු ප‍්‍රශ්න පවා තියෙන බව. මීට කලින් පෞද්ගලික විශ‍්‍රාම වැටුපක් ගෙනාපු රාජපක්ෂ ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලට අත තබන්න උත්සාහ කළා. බැලූ බැල්මට පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක් දීම කියන්නේ හොඳ යෝජනාවක්. ඒත් ඒ යෝජනාව පසුපස තිබුණේ සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමේ වුවමනාවක්. වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට බොහෝ වෘත්තීය සමිති එකතුවෙලා ඒ මොහොතේ අපි සමාජය දැනුවත් කළා. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට මිනිස්සු පෙරට ඇවිල්ලා සටන්කළා. රොෂේන් චානක සහෝදරයා මියගියා. තවත් අය ආබාධිත තත්වයට පත්වුණා. ඒත් සේවක අර්ථසාධක අරමුදල අපි බේරාගත්තා. වින්දිත අයට මුදල් ලබාදීම සඳහා පවා අපට කටයුතු කරන්න හැකිවුණා. ඒ වගේම අසාධාරණ විදියට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන අයට එරෙහිව කටයුතු කළ ආණ්ඩුවට එරෙහිව මතයක් ගොඩනැගුණා.

ඒකෙන් අපි පාඩම් ඉගෙනගන්න ඕනෑ. වෘත්තීය සමිති එකතුවීමේ සහ සමාජය දැනුවත් කිරීමේ වැදගත්කම තේරුම්ගන්න ඕනෑ. 2012 වර්ෂයෙන් පස්සේ බොහෝ සටන්වලදී ලංකාවේ වෘත්තීය සමිති එකමුතුවක් ගොඩනැඟුණා. ඒක දිගටම පැවතුණා.

අද වෙනකොට අපි හදලා තියෙනවා පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය කියලා එකක්. ඒකේ සමිති 26ක් ඉන්නවා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් එකමුතුව වැඩ කරනවා. ඒ අතරේ අපි වැඩ කරන ජනතාවට පක්ෂයක් කියන සංකල්පය පර්යේෂණ මට්ටමෙන් සාකච්ඡාවට ගනිමින් ඉන්නවා. ඒ අදහස ගැන වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිරිසක් අතර සාකච්ඡුාවක් ඇතිවෙද්දී විශාල විරෝධයක් එයට ආවා. අපි පක්ෂ හැදුවාම අපේ ස්වාධීනත්වය නැතිවෙන බව කීවා. ලංකාවේ දේශපාලන පක්ෂයක් ප‍්‍රතික්ෂේප වෙන්නේ තියෙන පක්ෂ පහත් තැනට වැටිලා තියෙන හින්දා. ඒත් අපි කරන්න ඕනෑ වැඩකරන ජනතාවගේ හඬට තැනක් දෙන පක්ෂයක්.

මේ වෙද්දී වෘත්තීය සමිති එකමුතුව අවධානය යොමුකර රටේ පොදු ප‍්‍රශ්න මොනවාද?

අපි පහුගිය කාලයේ බැංකු ක්ෂේත‍්‍රයට අදාළ කාරණාවලට අමතරව ජාත්‍යන්තර ගිවිසුම් ගැන අධ්‍යයනය කරමින් ඒ ගැන සංවාද ගොඩනැගුවා. සෝෆා, ඇක්සා ආදි ගිවිසුම් ගැනත් එම්සීසී ගැනත් අපි කතාකළා. සිංගප්පූරුව ආදි රටවල් සමග ඇතිකරගත් ද්විපාර්ශ්වීය ගිවිසුම් ගැනත් කතාකළා. ඒවායේ සැබෑ පසුබිම ගැන සාකච්ඡා කළා. ජාත්‍යන්තර ගිවිසුම්වලට කලින් අපට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් තියෙනවාද කියලා අපි කතාකළා. ලංකාවේ බදු ප‍්‍රතිපත්තිය ගැන අපි කතාකළා. යහපත් බදු ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් අපි කතාකළා. පුද්ගලීකරණයට එරෙහිව අපි කතාකරනවා. එහෙත් පුද්ගලීකරණයට විරුද්ධ වීමෙන් පමණක් තේරුමක් නැහැ. රාජ්‍ය අංශයේ ව්‍යවසායන් තුළ කුමන හෝ වෙනසක් ඕනෑ. රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක වෙන්නේ සේවකයන් නිසා නෙවෙයි. ආයතනයට සේවකයන් බඳවාගැනීම, ඒවායේ ක‍්‍රියාකාරීත්වය පලදායී විදියට වෙනස් කරන්න ඕනෑ. ඒ කාරණාවලට අමතරව අපි අයවැය ගැනත් කතාකරනවා. මේ වගේ ආර්ථික කාරණාවලදී ලංකාවේ බොරු විද්වත් සංවාදයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන විදියට ව්‍යාජ විද්වත් ප‍්‍රවේශයකින් තමයි සියල්ල කතාකරන්නේ. ඒ නිසා සරල බසින් වැඩකරන ජනතාව අතර සංවාදයක් ඇතිකරන්න අපි උත්සාහ කරනවා.

නැවතත් රජය සේවක අර්ථසාධක අරමුදලට තට්ටු කරන තැනට ඇවිල්ලා තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ ලොකුම අරමුදල. කලාපයේ ලොකුම අරමුදලක්. අරමුදලේ ප‍්‍රමාණය අපේ මනසට ගෝචර වෙන්නේ නැහැ. ඒක ටි‍්‍රලියන 2.6ක් විශාලයි. ඒ කියන්නේ බිලියන 2600ක් පමණ. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට ගිය වියදම ඇසුරෙන් මේක සලකා බලමු. හම්බන්තොට වරාය වගේ 26ක් හදන්න පුළුවන්. මත්තල වගේ ගුවන් තොටපුළ 74ක් හදන්න පුළුවන්. සූරියවැව වගේ ක‍්‍රීඩාංගණ 406ක් හදන්න පුළුවන්. ඒ නිසා රජය හැමවිටම බලන්නේ මේ අරමුදල අරගෙන විවිධ කටයුතුවලට යොදවන්න. ඒත් ඒකෙන් සේවකයන්ට අයිති මේ අරමුදල විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේක ආරක්ෂා කරගැනීමට අපි දිගින් දිගටම කටයුතු කරනවා.

මෙලෙස රටේ පොදු ප‍්‍රශ්න ගැන වෘත්තීය සමිති කතාකිරීම සාධාරණය කරන්නේ කොහොමද?

අපි බැංකු වෘත්තීය සමිති විදියට තේරුම් ගන්න ඕනෑ බැංකු ක්ෂේත‍්‍රය හරියට ක‍්‍රියාත්මක වුණේ නැත්නම් අපේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේත් නැති බව. ඒ නිසා අපි නිතරම අපේ ක්ෂේත‍්‍රයේ යහපැවැත්ම වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ. බැංකු පෞද්ගලීකරණය ආදි කාරණාවලදී අපි පෙනී ඉන්නේ ඒ නිසා.

අපි වෙනත් ක්ෂේත‍්‍රයකින් උදාහරණයක් සලකමු. දුම්රිය නිසි වෙලාවට එන්නේ නැත්නම්, සේවයේ අඩුපාඩු තියෙනවා නම් මිනිස්සු කියනවා දුම්රිය විකුණන්න ඕනෑ බව. මිනිස්සු ඒක හිතන්නේ පුද්ගලික අංශයට ගියොත් සේවය ලැබේවි කියලයි. එහෙත් එහෙම වුණොත් දුම්රිය ගාස්තු දරන්න බැරි තරම් ඉහළ යාවි. ඒ නිසා වෙන්න ඕනෑ, රජයේ පාලනය යටතේ තිබියදීම දුම්රිය කාර්යක්ෂම කිරීමයි. ඒ වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී ඉන්න ඕනෑ. අපි තැපැල් සේවය ගැන කල්පනා කරමු. ලංකාවේ විශාල වශයෙන් පෞද්ගලික කුරියර් සේවාවන් තියෙනවා. ඒ හැම සේවාවකින්ම ඉටු කරන්නේ තැපැල් සේවයෙන් නොකරන දේවල්. අපි පුද්ගලීකරණයට එරෙහි වෙනවා නම් දූෂණය, අක‍්‍රමිකතාවය, අකාර්යක්ෂමතාවය, මන්දගාමීත්වය වගේ රාජ්‍ය සේවාවන්ගේ අඩුපාඩු ගැනත් කතාකරන්න ඕනෑ.

මිනිස්සු පිරිසක් තමන්ගේ වතුර අයිතිය වෙනුවෙන් සටන් කරද්දී බැංකු සේවකයන් මැදිහත් වෙන්නේ කොහොමද, තවත් පිරිසක් ධීවර අයිතීන් වෙනුවෙන් සටන් කළොත් අපි ඒවාට මැදිහත් වෙන්නේ කොහොමද ආදි වශයෙන් අපි කල්පනා කරන්න ඕනෑ. ධීවරයෙක් කියන්නේ බැංකුවේ ගනුදෙනුකරුවෙක් නිසා අපට එය අදාළයි. ධීවරයන්ගේ දරුවන් පාසල්වලට එන නිසා ගුරුවරුන්ටත් එය අදාළයි. ඒ ආදි වශයෙන් රටේ වැඩ කරන ජනතාවට එකිනෙකාගේ ප‍්‍රශ්න අදාළයි. ඒ අනුව ලංකාවේ හැම ප‍්‍රධාන ප‍්‍රශ්නයකදීම වගේ වෘත්තීය සමිති මැදිහත් වෙන්න ඕනෑ.

මේ වෙද්දී රටේ දැවැන්ත ජාතිවාදී රැල්ලක් හැදෙනවා. ඒක ඉදිරියට ගියොත් එන්න තියෙන්නේ අතිවිශාල ලේ ගංගාවක්. ඒ සියල්ල ගැන වෘත්තීය සමිති මැදිහත් වෙන්න ඕනෑ. ලංකාවේ ගොඩනඟන මුස්ලිම් විරෝධය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෑ. දැන් තියෙන්නේ නවසිය තිස් ගණන්වල ජර්මනියේ තිබුණු යුදෙව් විරෝධය වගේ එකක්. ඒක විශාල මිනිස් බිල්ලක් දක්වා යා හැකියි. වෘත්තීය සමිතිවලට ඒ වගේ මාතෘකා මඟහරින්න බෑ. දේශපාලනික කාරණාවල ගැඹුර වගේම සංස්කෘතික කාරණා ගැනත් වෘත්තීය සමිතිවලට මැදිහත්වීම් කරන්න ඕනෑ. අපට මේවා ගැන කතාකරන්න තියෙන ලොකුම තැනක් තමයි අපි හැමෝම වැඩකරන පන්තියේ බව ඒත්තු ගැන්වීම. අවුරුදු තිහක් පැවති යුද්ධයේ වින්දිතයන් වැඩකරන පන්තිය. දේශපාලනඥයන් නෙවෙයි. ආයුධ වෙනුවෙන් බදු ගෙව්වේ වැඩකරන මිනිස්සු. ඉහත කී දේශපාලන කාරණා ගැන වගේම වෘත්තීය සමිති ව්‍යාපාරය දේශගුණික විපර්යාස ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑ. හෙට වැඩකරන ජනතාවට එන අභියෝගයක් විදියට ඒකටත් මුහුණදෙන්න සිදුවේවි. ඒ ගැනත් අපි ගැඹුරින් අධ්‍යයන හා සංවාද කරමින් ඉන්නවා.

කේසර කෝට්ටේගොඩවිතාන – ලංකා බැංකු සේවක සංගමය (ඔහු ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති අතර සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී ප‍්‍රමුඛව කටයුතු කළ නිලධාරියෙකි. ඉදිරිපෙළ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකි. නූතන යුගයේ ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්වය ගැන ඔහු අදහස් දැක්වීය – අනිද්දා)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435